ඇය මගේ රැජිණයි....!

 

 
එයාගෙ නම සුගන්දිකා. 

එයා එහෙමයි නම කිව්වෙ. ඔහු එයා දිහා බලන් ඉද්දි ඔහුට ඇයම නම කිව්ව. බස් එකට නැගපු වෙලාවෙ ඉඳන් ඇයව දැකල පුරුදු ඇයි කියන ප්‍රශ්නෙ ඔහුගෙ හිතේ ඇති වුනේ ආයෙ ආයේ...

"ඔව් මං තමා ඒ සුගන්දිකා. මම තමයි ඒ වීඩියෝ එකේ ඉන්නෙ"  කඳුලට ඉඩක් දෙන ගමන් ඒ ගෑල්ලමයා එක සැරේටම කිව්ව.

ඉතින්...................
ඉතින් ඔහු හවස ඇවිදන් ආවෙ හිස් බැල්මෙන් පාරේ ඒ මේ අත බලමින්. හන්දෑවට මහනුවරට කොහෙන් මිනිස්සු එක්කාසු වෙනවද මන්දා. එක පාරටම කඩි ගුලක් ඇවිස්සිලා වගේ මිනිස්සු මහ හුගක් මුලු මහනුවරම ආක්‍රමණය කරනවා.

හවසට ඔරලෝසු කණුව දිහාට කඩිමුඩියේ ඇදෙන සෙනඟ. හරිම කලබලයි.

ඒ හවස ඉර බහින යාමේ මහනුවර තත්වෙ.

ඒ සෙනඟ අස්සෙන්ම හැපි හැපී ඔහු බස් නැවතුමට එනව. දුර ඈත ගමට යන බස් එකක් තොරොම්බල් එල්ලලා හෙම ඉස්සහින් තියනවා දැක්කම ඔහුට සතුටුයි. ඒකේ හිස් අසුන් තිබුනොත් තව සතුටුයි.  ඒත් අවාසනාවට හුග දවසකට එහෙම හිස් ආසන අහු උනේ නෑ. හැමදාම ගෙදෙට්ට යනකම්ම  දෙපයින්.

හරි වෙහෙසයි. වේතනයට වඩා ඇත්තටම වෙහෙසයි. 

එහෙව් බස් එකේ එකම එක අසුනක් එදා හිස් වෙලා තිවුනා. දුර ඈත මහ රෑ වෙනකම්ම ගමනේ යන්න තියන නිසා ඒ අසුනේ අකමැත්තෙන් උනත් ඉදගන්න ඔහු තීරණය කලා නෙව. මොකද තුන දෙක ආසන තියන තොරොම්බල් බස් වල මැද අසුන් හරිම වේදනාවක් ගෙන දෙනව නෙව. ඔහු මොන බසයේ ගියත් හැම විටම ජනේලය ලඟ ඉදගන්නෙ ඒකයි. 
ඉතින් ඔහු යාබද අසුනේ උන්නු  ඈ අසලින් වාඩි උනේ අකමැත්ත හොඳට ප්‍රකාශ වන මුහුණෙන්.

අන්න එතකොට ජනේලය අසල උන්නු ඇය තවත් ජනේලය ලඟට යද්දි, ඇගේ හිස ඔසවා බලද්දි ඔහු ඈව දැක්කා. 

හරි පුරුදුයි. හරිම පුරුදුයි. ඔහුට සිතෙද්දිම ඒ ඇස් එකිනෙක ගැටුනා. ඇය අපහසුවෙන් ඉවත බලාගද්දී ඔහු ඈ අසලින් වාඩි උනා. ඒ වාරයේදී හුඟක් කැමැත්තෙන්..

එවිටම බස් රථය මහ හඬ නගමින් පිටත් උනා. සන්ද්‍යාවේ මහනුවර අහස යටින් දුර ඈත දක්වා.

.............................................................................................................

විදුලි කණු එකිනෙක වේගයෙන් පහු උනා. නගරයේ සෙවණැලි මැකිලා ටික ටික මග දෙපස නිවුනා. හුරු පුරුදු මේ ලස්සන කෙලි පොඩිත්තී දිහා ඔහු ආයෙ ආයෙම බැලුවේ, ඈ සමඟ වචනයක් හුවමාරු කරගන්නා ආසාවෙන්. දින ගණනාවක් ඈ බසයට නගිනවා දැක්කට ඇස් ගැටුනට කතා කරල නෑ. ඒත් හිත ආසයි.

ඇය ඔහුගේ බැල්ම හමුවේ අපහසුවෙන් ඇඹරුනා. ඕනෑම නන්නාදුනන ආගන්තුක බැල්මක අවදානමකදී එයින් මිදෙනු ලැබීම නෙව කෙල්ලොන්ගේ අභිලාෂය. 

හිතට දිරිමත් බව ගත් ඔහු ඇයට පලවෙනි පාරට කතා කලා...

"ඔයාව මං දැකල තියනවා! වීඩියෝ එකක් මං ගාව තියනවා. අර.. අර....."

ඔහු තතනමින් මතකය අවදි කරන්න වගේ කතා කරද්දී ඈ ඔහු දෙසට හැරුනා. කේන්තියක් ද දුකක්ද කියලා කිව නොහැකි නාසික ස්වරයකින් ඇය මෙහෙම කිව්වා.

"ඔව් මං තමා ඒ සුගන්දිකා. මම තමයි ඒ ක්ලිප් එකේ ඉන්නෙ"  හිත පාරාගෙන නෙත පොඟවාගෙන ගලන කඳුලට ඉඩක් දෙන ගමන් ඒ ගෑල්ලමයා එක සැරේටම කිව්ව.

ආයෙමත් ඈ දෙස දෑස් යොමු කරගත් ඔහු "ඉතින්" කියලා නිහඬ උනා.

ඒ ප්‍රතිචාරය කඳුලු කතාවක ඇරඹුම වෙයි කියල ඔහු ඇත්තටම  හිතුවෙ නෑ. නන්නාඳුනන මිනිහෙක් ගාව දිගහැරුණු කතාවක්....
 
..................................................................................................


සුගන්දිකා හරි ලස්සන යුවතියක්. ඉස්කොලේ කාලේ යන්තම් පීදීගෙන එන මල් කැකුළක් කාලේ ඉදන්ම එයාට තරුණ ආකර්ශනය නොඅඩුව තිවුන. ආඩම්බරයක් නැති පුංචි කෙල්ල දුප්පත්කමින් මිරිකුණ එකියක් නෙමෙයි. සාමාන්‍ය වත් පොහොසත්කම් මැද ලොකු උන කෙල්ලෙක්.

ඇත්තටම ඇගේ හමේ පාට පෝසත්කම නිරූපණය කලා වෙන්නැති. රන්වන්පාට සුගන්දිකා. ඇය ගුණ සුවඳ හමන ස්වර්ණමාලියක්.

අධ්‍යාපනය සාමාන්‍ය මට්ටමින් කරගත්තු ඇය ඉස්සෙල්ලාම ප්‍රේමය කියල අඳුනගන්නෙ උසස් අධ්‍යාපන ආයතනයේ අලෙවි විධායක කෙනෙක්ව. ඇත්තටම ඔහු ඇය කෙරෙහි දැක්වූ ප්‍රතිචාර වලින් ඇය ඔහුට බැඳුනා.

කෙටි කලක කෙටි පණිවුඩත්, සමාජ ජාලාත් අතරේ ගෙවුනු ඔවුන්ගේ මිතුදම ප්‍රේමයක් උනේ නොදැනීම. අවසානයේ අලෙවි විධායක තරුණයාගේ රථයෙන්ම ඈ උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන තත්වයක් හැමගේ අවසරයෙන්ම ඉබෙම ඇති වුනා.

ප්‍රේමය ස්ථීර උනා. හැම හදවතක්ම මල් පිපෙද්දී එකම එක හදවතක වෛරයේ ගිනි දැල් ඇවිලුනා.

................................................................................................................

"එකම එක හදවත"ට පුංචි කාලේ ඉදන්ම සුගන්ධි ගැන තිවුනෙ එකම එක හැඟීමක්. වැලි මිදුලෙ එකට සෙල්ලම් කරද්දි හිත කිති කැවෙන ගතිය වැඩි කරමින් එකම එක හදවතත් සුගන්දිත් වයසින් වැඩුනා. එකම එක හදවත ඉස්කෝලෙ ගිහින් දවසක්දා ගෙදර එද්දි සුගන්දිව කාමරේට දාල වහලා හිර කරලා.

හුග දවසකින් පස්සෙ මහ ගිතවත් දවසක උදේම එකම එක හදවත දැක්කෙ ඉස්සර වැලි කෙලියෙ උන්නු සුගන්ධිව නං නෙමෙයි. සුරංගනා ලෝකෙකින් ආව හරිම ලස්සන පිබිදෙන සුගන්ධි කෙනෙක්ව. 

එදා ඉදන් එකම එක හදවත ඇයට තවත් ලෙංගතු උනා. ඒත් අවාසනාවට සුගන්දිට ඒක එහෙම උනේ නෑ. එක්තරා දවසක ගෙදර කවුරුත් නැතිව තනි පංගලමෙ උන්නු සාමාන්‍ය පෙල පන්තියේ  වයසේ කෙල්ලව බලෙන් තුරුල් කරගත්තු දවසෙ ඇයට එකම එක හදවත ගැන ආත්ම ගණනාවකට සරිලන වෛරය ඉපදුනා. දිරි ගත්තු ඈ කුස්සියේ දොර පොල්ලෙන් එක පිට එක "එකම එක හදවත" ට පහර දෙද්දි එකම එක හදවත ලැජ්ජාවෙන් පලා ගියා.

පලිගැනීමේ චේතනාව එකම එක හදවත ලඟ ඇති දැඩි උනා.
................................................................................................................

විධායක නිලධාරී තරුණයා එක්ක රථයෙන් ගෙදර එන සුගන්ධිගේ කටයුතු සේරම එකලාසියක් වෙලා පිලිවෙලක් වෙන්න තියෙද්දි තමා හෙණ වැදුනේ. 

එක දවසක හවසක සුගන්දිකා ගෙදර ඇවිදින් කලන්තයක් හැදි ඇද වැටෙද්දී සියල්ල සිදු වෙලා. සිහියක් කටක් ලද පසු කාමරයේ ගුලි උනු ඈ මවට පමණක් මුහුණ දුන්නා. කාලෙකින් ගම පුරාම ඇගේ කතාව පැතිරුණා. රටක් පුරා රස කරමින් බෙදා ගනිමින් නරඹන නරඹන්නෝ පිරිසක් අතරේ ඇගේ නිරුවත් වීඩියෝ පටය ප්‍රචාරය වෙත්දී ඇය ගාව උන්නේ මව් පිය දෙපළ පමණයි.

"එකම එක හදවත" ඇයගෙන් අපූරුවට පලිගත්තා. නාන කාමරයේ සහ නිදන කාමරයේ සැඟවූ කැමරාවලින් ඇයගේ නිරුවත රූ ගත කල වරදට හෙතෙම නීතිය හමුවේ ඇයට වන්දියක් ගෙවමින් සුලු දඬුවමකින් පසු නිදහස් උනා.
 
එදායින් පසු "එකම එක හදවත" රටින් පිටව ගියා. කුරුල්ලෙක් වගේ ලෝකය දකින්නට. 

ඒත් සුගන්ධිකාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට වඩා නින්දාසහගතව සියල්ල අහිමි වී හුදකලාව විතරක් ඉතුරුවෙලා. නොකල වරදකට. නිරුවත කොහෙත්ම වරදක් නොවිය යුතු කාලෙක.

.....................................................................................................................
ඇගේ මිමිණුම් ස්වරයේ කතාව ඉවර වෙද්දි ඔහුගෙ ගමනාන්තය ලං වෙලා. ඇයගේ කඳුලු වියලිලා. ඒ අසරණ කම ඔහුට දැනුනා අපූරුවට. ඔහුගේ උණුසුම් වන පපුව ඇතුලටම.

පීඩාවට පත් සුගන්දිකාගේ විලාප නගන සිතුවිලි. ඇත්තටම ඇය අසරණයි. 

ඉතින් නිහඬව කතාවට සවන් දුන් ඔහු මඳ සිනහ පෑව. ඒ් හිනාවෙ තිබුනෙ ඇය ගැන ගෞරවයක්.

"නෑ ඔය විදියේ කිසිම දෙයක් මම දැකල නෑ! ඒම එකක් මම කිසිම වෙලාවක හීනෙන් වත් අදහස් කලේ නෑ. මට ඒ්වා වැඩකුත් නෑ. මං ඔයාව දැක්කෙ වෙන තැනක."

ඒම කිව්ව ඇයට ඔහු ඔහුගේ දුරකථනයේ තිරය පෑව. ඇය දෑස් තදින් පියාගත්ත. බියට. එදා පටන් අද වෙනකම් ඈට දුරබනුවක් නෑග ඇය බයයි.

කරුණාකර මෙය බලන්න. ඔහු කිව්වාම ඈ පරිස්සමින් හෙමින් දෑස් විවර කලා.

එහි තිරයේ දිස්වුනේ වෙන කතාවක්.
.....................................................................................................................

ඒ අසරණ පවුල එදා උන්නේ කිසිත් කර කියාගන්න බැරුව. පුංචි උන් දෙන්නාම වැහැරුණු මවගේ ඇකයේ හඬනවා. සැමියා විසින් අත්හැරීම නිසා අනාථ වූ දෙදරු මව කුසගින්නේම පදික වේදිකාවේ ඇද වැටෙද්දී ඒ දිහාවට ලස්සන මලක් පා වෙලා ඇවිල්ල බිම දණ ගහගෙන ඒ අම්මාට උවටැන් කරනවා.

හඬන දරුවන් මේ තරුණියගේ ඇඟේ එල්ලිලා. 

අසරණ වූ යුවතියක් අසරණ මවකට සහ දරු දෙන්නාට පිහිට වීමට උපකාර යදිද්දි හිස්වූ හදවත් ඇත්තෝ නොදුටු දසුන් ඇතිව එහෙ මෙහෙ යනවා. කුරිරු ලෝකයේ ඉන්න තවෙකෙක් මේ සියල්ල රූ ගත කරනවා.

අසරණ අම්මාට සත්කාර කල පසු, කර මල්ලේ තිබූ කෑම පැකට්ටුව ගෙන ඔවුනට දී දරුවන් සිඹ සනසන ඇය එතනින් පිටත් වී මද වේලාවකින් යලි එන්නේ ඇඳුම් මල්ලක් දෝතින් අරන්.

මල් සිනා පාන අසරණ දරු දෙදෙනාට ඇඳුම් අන්දවා මවට යමක් අත මිට මෙලවූ ඇය ඔවුන්ගෙන් සමුගන්නවා.

එතැන් පටන් දිනපතා ඇය බත් පැකට්ටුව සමඟ එතන පෙනී ඉන්නවා. දරුවන් සමඟ සුරතල් වී යන්න යනවා. මේ පුංචි රටේ ඇයට කල හැකි උපරිමය ඒක නෙව.

ඉතින් මේ සියල්ල හැමදාම නොවුනත් ඉඳ හිට හෝ එකම එක දුරබනුවක ‍රූගත වෙනවා. ඒ දුරබනුවේ හිමිකාරයා  ඇයට සැබැවින්ම පෙම් බඳිනවා. හුඟක්. නිහඩ පෙම්වතෙක්.
......................................................................................................

ඔහු රූප ගැලරිය පෙන්වද්දී ඇගේ නෙත් විසල් උනා. ගැලරියේ එවැනි වීඩියෝ රූප කීපයක්ම තිබුනා. 

"කල හොඳ පස්සෙන් ඒවි සුගන්දිකා. මේ සමාජය හුගක්ම අකාරුණික නැහැ" ගෞරවනීය හැඟීමෙන් සහ සුපුරුදු නිවුනු ස්වරයකින් ඔහු ඇයට පවසමින් මඳ සිනහ පෑවා. 
 
ඇයගේ දෑස් යළි කඳුලින් පෙඟුනා. අපහාස මැද උන්නා වූ ඇය පිටස්තරයෙකුගෙන් ප්‍රසාදයක් ලද්දේ කාලයකට පස්සෙ නෙව. ඇත්තටම ඇය ඔහු ගැන පැහැදුනා. නියම මහත්මයෙක්. ඇයට ඒම හිතුනනං ඒකෙ වැරැද්දක් නැහැ.

එසේ කී පසු මඳ වේලාවක් ඇය දෙස බලා හිඳි ඔහු ආයෙමත් හිස නමා ආචාර කරමින් ඇයගෙන් සමුගෙන නැවතුම්පළ හමුවේ නතර කළ බසයෙන් බැස ගියා.

ඉක්බිති ඇය රැගත් බසය කඳු මැඳ අඳුරේ පහන් ආලෝකය දල්වාගෙන ඉදිරියට ඇදුනා.

ආදරණීය ඇය.
සුන්දරත්වය පිරුණු,

තනිව සීතල මැද මහ පාරේ තනිව හිඳින ඔහුට සිතුවිලි මැවුනේ ඉබේම. විවිධාකාරයේ සිතුවිලි ගොන්නක්.....

අසූචි තලු මරණ සමාජයේ ඉක්මණින් ඇගේ නිරුවත පැතිර ගිහින්. නිරුවතට යටින් ඇති ඒ ගැහෙන උණු හදවතේ මනුස්සකමට තැනක් නැහැ. තමා මුහුණු පොතේ උඩුගත කල මෙම "මව් සත්කාරක" වීඩියෝව සියදෙනෙක්වත් නරඹලා නැහැ. ආශිර්වාද කරලා කොමෙන්ටු තිබුනෙත් දහයකටවත් අඩු සංඛ්‍යාවක්. ඒත් පාප ක්‍රියාවක ප්‍රථිපලය අහිංසක මලක් තලා පෙලා දාලා. සිය දහස් ගණනාවක් අතරේ ඒ්ක බෙදා හරින්න ඇති. කිසිදාක නොදුටු එම නිරුවත් වීඩියෝව ගැන ඔහුට හිතුනේ එච්චරයි.

සුගන්දී තවමත් සුවඳවත් මලක්....

ඔහු තවත් සිතුවා...
 
වෙනකෙක් කල වරදට දඬුවමක් ඇයට ලැබිලා. හැමෝම ඇයව මඬවනවා. පාගනවා. ඇගේ නිරුවත තලු මරනවා. එහෙත් ඇය දැන් නිර්භිතව ඉන්නවා. අඳුරේ ගුලි වුනු පුංචි යුවතිය වෙනුවට දැන් ඉන්නේ නිර්භීත එහෙත් තවමත් බිඳක් විතර සැලෙන සුලු කෙල්ලක්.

ඊලඟටත් ඔහුට හිතෙනවා....
 
මනුස්සකම හමුවේ තමා ඇතුලු මුලු සමාජයම අමු හෙලුවෙන්. ඈ පමණක් ගුණ ධර්ම ඇති මනුස්සකම නැමැති රාජ සළුපිලි වලින් සැරසිලා. එවැනි යුවතියක් බිමට ඇද දාන්න දෙන්න අවශ්‍ය නෑ. කවමදාකවත්...

මඳ සිනහවෙන් සුගන්දිකා ගිය මග දෙස බලා උන්  ඔහු  හදවතින්,  බුද්ධිමත් ලෙස තීරණයක් ගත්තා.

"ඇය මගේ රැජිණයි....!"

අන්න ඒ උතුම් නිර්භීත තීරණය හමුවේ රෑ අඳුර පවා ඔහුට ආසිරි ගෙනෙමින් සීතල මල් පිණි බිඳු වෑහෙන්නාක් වැනි පුංචි වැස්සකින් සංග්‍රහ කලා.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form