ලොලිපොප් ආදරය!


 

මහවැලි ගඟ පිහදාගෙන කඳු පාමුලින් ඇදිලා එන මීදුම් හුලං හරි සීතලයි. තාම ඉර පායන්න හිතලාවත් නෑ. උදා අදුර තාමත් පවතින ඒ මීදුම් දුමාරය මැද්දෙන් උදේ පාන්දරම කාර්මිකයෝ දෙන්නා තමන්ගෙ වැඩ පොලට ඇවිදන් එමින් උන්න. පුද්ගලික ජල විදුලි බලාගාරය තිවුනෙ තව පහලින්. ප්‍රධාන පාරේ ඉදන් කිලෝමීටර එක හමාරක් විතර දුරින්. කැලේ මැද්දෙන් ටික ටික කතාබස් මැද්දෙන් ඉදිරියට ඇදෙන කාර්මිකයෝ දෙන්නා අතේ තිවුන විදුලි පන්දම් එලි මීදුම කපාගෙන ඇවිල්ලා දුර ඈත වංගුවේ තියෙන බයිසිකලයක් මත පතිත උනා.  ඒ මෝටර් බයිසිකලේ පාමුල මුනින්තලා වෙලා වැටිලා උන්නා මනුස්සයෙක්. හනික ඒ පැත්තට දුවගෙන ගිය කාර්මික යුවල මේ මනුස්සයා පැත්තකට පරිස්සමින් පෙරලුවා.

කකුලේ තුවාලය තුවාලයක් නොව වනයක් වගේ වෙලා. කලිසම කලුපාටින් පෙඟිලා. බිම පුරාම ලේ කැටි ගැහිලා. නලලේ වම් පැත්තේ ලේ කැටි ඇලුන පොඩි පැලුම් තුවාලයක්. හෙමින් කෙඳිරි ගාන මනුස්සයෙක්. තුවාල බරපතල තත්වයේ උනත් තාම පණ ගැහෙනවා!

“අඩේ  මේ දසකැළුමාගේ මල්ලි මාධව!”

කාර්මිකයින් දෙන්නාගෙන් ඒක්කෙනක් මේ නන්නාඳුනන මනුස්සයව අඳුනා ගත්තා.

ඒ වේලාවේම හැමුව සීතල සුළං ධාරාව  මීදුම තවත් තදම තද කරමින් අවට ගස් මුදුන් සේරම සුදුපාටින් වහගෙන පාවෙලා ගියා.....

 ---------------------------------

අඳුර කපාගෙන කහ එලිය දල්වාගෙන පුංචි මෝටර් රථය ඉස්සරහට ඇදුනා. මාධවගේ කේන්තිය රථයේ වේගය මඳින් මඳ වැඩි කරමින් කඳු කපාගෙන වංගු ටික පසු කෙරුනා. සාමාන්‍යයෙන් පරිස්සම් සහගත රියදුරෙක් වන මාධව එදා නං කෝපයෙන් රථය පදවමින් උන්නා නෙව. අනෙක් පස අසුනේ ඔහුගේ පෙම්වතී මෙච්චර වෙලා මාධවට කන්දොස්කිරියාවක් උන දෝස් මුරය නවතා වීදුරුවෙන් ඉවත බලං උන්නා. ඇගේ නෙත් කෝපයෙන් බර වෙලා  ශෝකයෙන් තෙත්  වෙලා තිබුන.

හුඟ වේලාවකට කලියෙන් දෙන්නා අතර බහින්බස් වීම ඇරඹිලා තිබුනෙ. දෙන්නගේ රණ්ඩු වීම අසාමාන්‍ය දෙයක් නොවුනත් මේ ඇති වුන රණ්ඩුව දැන් ගොඩක් දුර ගිහින්. දෙන්නාට දෙන්නාව නොරුස්සන ගතියට පත් වෙලා දැන් ඇති කියන තරමටමට. කාලයක් තිස්සේ එකට ජීවත් වෙන මේ පෙම්වතුන් දෙන්නා දැන් ප්‍රේමයෙන් තොරව ජීවත් වෙන්න පුරුදු වෙලා. විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් උන්නත් දැන් ඒවා අනවශ්‍ය වෙලා. අතෑරිලා ගිහින්.

ගමන අවසාන වෙන්න ඔන්න මෙන්න තියෙද්දී පාර අයිනට වෙන්න තිබුන බස් නැවතුම්පොල අසලින් මෝටර් රථය නතර කරපු මාධව හෙමින් මිමිනුවා.

“ වෙන්වෙමු!”

ඇය කඳුලු පුරවා ගත්තා.

ඇය විසින් මාධවට කොච්චර හොඳ කලත් මඳි යැයි ඈට ඒ මොහොතේදී  සිතුනා. මේ මෝටර් රථය පවා ඇගේ තෑග්ගක්. සාමාන්‍ය රැකියාවක නිරත වන තාක්ෂණවේදියෙක් වන මාධවට වාහනයක් යනු සිහිනයක්. එහෙව් මනුස්සයෙක්ගේ සිහින සැබෑ කල ඇය වෙත ලැබුනු කල ගුණ නොදන්න ඒ කතාව ඇයට ඔනෑවට වඩා වැඩියි දැන්.

මාධව යතුර ඇයට දීලා කතාවක් නැතිවම  වාහනයෙන් බැස්සා. ඇය රියදුරු අසුනට මාරු උනා. වාහනය පණ ගන්වාගත් ඇය යන්ට ගියා. කඳුළු පිරි දෑසින් ඔහු දෙස ඒකම ඒක වාරයක් බලපු වසර ගණනාවක් ආදරෙන් උන්නු ඇය. අඳුර කපාගෙන දුර ඈත වේගයෙන් ඇදෙන රථය දෙස බලා උන් මාධව දිගු හුස්මක් අරන් බස් නැවතුමට පා නැඟුවේ රථය නොපෙනී ගියාට පසු. පාලු බස්නැවතුමේ අසුනේ හිඳගත් හෙතෙම දෑස් පියාගෙන හිස පිටුපස්සට හේත්තු කරගෙන කල්පනා කරද්දි වාහන හෝන් හඩ ආයෙම ඇසුනා.

“ඔහොම ඉන්න බෑනේ! යං!”

ඇය ආයෙම හරවන් ඇවිල්ලා. තව චුට්ටි වේලාවක් එහෙමම ඈ දෙස බලාන උන්නු මාධව හෙමින් වාහනයට ගොඩ උනේ කිරීමට කිසිවක් නැති තැන. මේ මහ රෑ මොන වාහනද ආයේ.  ඉතින් මාධවව නංවා ගත් ඇය මනාව වාහනය හසුරවමින් නවාතැනට ආවා. දෙදෙනාම නිහඩවම නවාතැන වෙත ඇතුළු උනා.  ඒ සීතල නිහඩ රෑ දෙදෙනාම “මිය ගිය නිදන කාමරයේ” උණුසුමක් නැති එහෙත් කාලයක් උණුසුම තෘප්තිය ආදරය පිරී තිබුන නිදි යහනක දෙපසට වී නන්නාඳුනන අයවලුන් සේ  නින්දට ගියා.

තවත් දවසකට ඉරු උදා උනා.

ඉරු රැසින් නෑවී උණුසුම දැනෙන වෙලාවේ ඇය නින්දෙන් අවදි වෙද්දී ඔහු යන්නම ගිහින්. කාමරයේ අමතර යතුරත්, වාහනයේ අනෙක් යතුරත් පමණක් මේසය මත ඉතුරු වෙලා තිබුනා. මාධව ඇඳුම් පවා අරන් උදෑසනම යන්නට ගිහින්. මේසය මත තිබුනු මාධවට අයිති  පරණ වීදුරු බෝතලයේ තිබුනු පුංචි ලොලිපොප් පැකට්ටු කීපයක් ඈට ඉතුරු කරලා තියනවා. ඒ්ක අරන් ගිහින් නෑ. ඒ ලොලිපොප් ඇතුලුව  පුංචි කාමරයේ මතක විතරක් හුඟක් ඉතුරු කරලා ඔහු නොකියාම යන්න ගිහින්.

ඇය නිහඩවම තනි වෙද්දී උදා ඉරු රැස් මාවතට වැටිලා ගස් කොලන් වල මල් තුහින වාශ්ප වෙන්න පටන් අරන්.

------------------------------------------------------------------------------------

ඇයට යටත් වෙන්නවත් ඇගේ චෝදනා වලට ලක් වෙන්නවත් මාධවට ඇත්තටම උවමනා උනේ නෑ. ධනවත් පවුලක කුමාරිකාවක් වගේ උන්නු ඇයව මාධවට හමු උන හැටි හරි ලස්සනයි තමා! ඒවා ලස්සනම ලස්සන  මතක උනත් දැන් සේරම කරුමෙ ගෙවන්නැහේ සිද්ධ උන දේවල් කියලා හිතෙන මාධවට ඇයව ඇත්තටම පිළිකුල් වෙලා.

කාලෙකට ඉස්සර මියුරු ලෙස ඇහුනු ඒ ඇගේ ස්වර දැන් වහ කඳුරු වෙලා. ආදරණීය බවක් දැනෙන්නෙම නෑ. මෝටර් බයිසිකලයක් විතරක් තිබුන මාධවට මෝටර් රථයක් අරන් දුන්නේ හැමෝගෙම උවමනාවෙන් දෙන්නාගේ මඟුල තීරණය උනාට පස්සේ. පරිගණක ක්ෂේත්‍රයේ කටයුතු කරපු මාධවගෙන් ඇයගේ ව්‍යාපාර සහ වෙනත් ඉගෙනීමේ කටයුතු වලට ලැබුනේ පුදුම සහයෝගයක්. ඒ කටයුතු මධ්‍යයේ ඔවුන් ආදරෙන් වෙලිලා උන්නා. ඒත් දැන් වෛරයෙන් පිරිලා හදවත් වෙන්වෙලා.

ඇගෙන් වෙන්වෙන්න ඔනි කියලා හිතුනේ පළවෙනි පාර ඇයගේ කෑ ගැහීම නිසා ඇතිවුන ලැජ්ජාව නිසා. මාධව කෝමත් බෙරිහන් දෙන අයට අකමැතියි. හුඟක් අකමැතියි. විනාඩි පහක් පරක්කු උනා කියලා ජනවාරි පළවෙනිදා ඈව හමුවෙන්න ගිය වේලාවේ මුලු ටවුමකටම ඇහෙන්න බෙරිහන් දෙන්න ගත්තම කළකිරීම කියන දේ  ඉස්සෙල්ලම මාධවගේ හිතේ  ඇති උනා.

කඩේකට බඩුවක් ගන්න ගියත්, වෙන කටයුත්තකට ගියක් ඇගේ අධිකාරී බලය ආධිපත්‍ය දැන් දැන් පැතිරෙන්න අරන්. මාධවට ඒම හිතුන වාර අනන්තයි. ස්වාධීන වීම හෝ තනිවම කටයුතු කිරීම හෝ වගකීම ගැනීම හෝ අණ දීම මාධවට ගැටලුවක් නෑ. ඒත් මාධවව පහත් කිරීම දැන් දැන් වැඩියි. ඒම රණ්ඩු    උනාම මාධව නිහඩ වෙන්න පුරුදු උනා. කලින් වගේ කෑ නොගහන තත්වය ඇයට අවබෝධ වෙද්දි කේන්ති නිවුනම ඇය මාධවගේ තුරුලට ඇවිල්ලා හුරතල් වෙන්න පුරුදු උනා. ඒත් ඒ වෙද්දි මාධවට ඈව අප්‍රසන්න වෙන්න අරන් ඉවරයි. කටින් කෑ ගහන දරුණු වචන පිටවුනාට පස්සෙ  ආයෙ ගන්න බෑ. බිඳුන හිත් වල ඉරි තැලුනු කඩතොලු අස්සේ ඒ වචන ඇමිණිලා හැමදාම ආයෙ ආයෙම රිද්දනවා. තුවාල හොඳ වෙන්න නෑ පෑරෙනවා.

මේ වෙද්දි ඔවුන් ඒකම නවාතැනේ යහන බෙදාගෙන කාලයක් වෙලා. කොහොම උනත් මාධව ඒදා රෑ  දැඩි තීරණයක් අරගෙන තමා ගෙයින් එලියට ආවේ!

ආයේ ඒකි ඒක්ක බජනයක් නෑ.

කවදාවත් නෑ! කරුමය අවසන් කරනවා!

ඒම හිතපු ඔහු ඇගේ පාලනයෙන් මිදුනා. යතුරු පැදියේ නැඟුනු මාධව තමන්ගේ නිවෙස වෙත ඇදුනේ සූර්යයාවත් අවදි නොවූ අඳුර මැද්දෙන්.

------------------------------------------------------------------------------------

මාධවට ඒ ඇමතුම ලැබෙද්දි ඔවුන් වෙන් වෙලා මාස කීපයක් ගත වෙලා අවසන් වෙලා තිබුනා. ඔහු ගියා ගියා මිස ඇය ඔහු ගැනවත් ඔහු ඇය ගැනවත් උනන්දුවක් දැක්වූයේ වත්, දුරකථන ඇමතුමක්වත් ගන්න උනන්දු උනේ නෑ. එහෙව් එකේ දවසක් කාර්යාලයේ දුරකථනයකට ඇගෙන් මාධවට ඇමතුමක් ලැබීම පුදුමයක් උනත් මාධව ගිහින් උත්තර බැන්දා.

සංවාදය කෙටි එකක් උනා.

ඇය වෙතින් කාලයකට ඉහතදී ඉල්වා ගත් මුදලක් ඇයට කඩිනමින් උවමනායිලු!

මාධවට අතීතය මතක් උනා. දෙදෙනාගේ මංගල්‍යයට සූදානම් වෙන සමයේ තමන්ගේ නිවසේ තිබුනු අලුත්වැඩියාවන් සඳහා මාධව ඇයගේ මුදල් වගයක් ඉල්ලා ගත්තා. ඒක අංක හයකින් යුතු සංඛ්‍යාවක ලොකු වටිනාකමක් ඇති  මුදලක්! අලුත්වැඩියාව කදිමට සිද්ධ උනත් ඒ මුදල් ඇයට ආපසු දීම ගැන මාධවට වගේ වගක් උනේ නෑ. ඇය මතක් කලෙත් නෑ. මාධවටත් අමතක වෙලාම ගියා ඒ් මුදල ගැන.

වෙන් වී කාලෙකෙට පසු ඈට මෙන්න ඒවා මතක් වෙලා. අපූරු ගෑනු!

ඒම හිතුව මාධව ඒ මුදල් ආයෙම දෙන්න ක්‍රමයක් හිතුවා. ඇත්තටම එවැනි ගාණක් මාධවට වාරික වශයෙන් ගෙව්වත් බර කාලයක් ගත වේවි. කුමක් කරන්නද මාධවට සිතුනා. විකුණන්න දෙයක්වත් නැති හැටියක්. ඇයව හමුවෙලා කතාබස් කොට කුමක් හෝ විසඳුමකට ඒම මැනවැයි මාධවට හිතුනේ ආන්න ඒම කල්පනාවෙන් ඉන්නකොට සහ කරන්නම දෙයක් ඉතිරි වෙලා නැති බවත්  තේරුණාම.

ඉතින් තීරණයක් ගත්තු මාධව ඇයව හමුවීමට ඇගේ කාර්යාලය වෙත ඇදුනා.

කාර්යාලයේ මුරකරුවන් ඔහුව හඳුනන නිසා ඇතුල් වීම අපහසුවක් උනේ නෑ. ඇගේ කැබින් කාමරය වෙත ඇදුනු මාධව වෙත ඇගෙන ලැබුනේ සුපුරුදු ආදරණීය සංග්‍රහය වෙනුවට නපුරු  වචන රැසක් එක්ක නින්දා අපහාස විතරයි. ඈ ඇගේ හිතේ තෙරපුනු පීඩනය නිදහසේ මුදා හැරියා. වෙනදාට කාර්යාලයම ගෞරවයෙන් සලකන මාධවට එදා ලැබුනේ ලැජ්ජාවම විතරයි. නින්දා සහගත සිනහවන් මධ්‍යයේ තෙතමනයක් නැති ගැහැණියක් ලඟ මාධව ඇත්තටම අසරණ වෙලා බාල්දු වෙලා. ඇගේ  ගිනි විදින දෑස් දෙස නොබලා නිහඩව උන් මාධව  ආපසු හැරුනා.

ඔහු ආපසු ඇවිදින්  නැවතුනේ නිවසේ තමන්ගේ කාමරයේ. කොහොම ආවාද මන්දා! අසිහියෙන් වාගේ මෝටර් බයිසිකලයේ නැඟුනු ඔහු කොහොම හෝ නිවෙසට ඇවිල්ලා කාමරයට වැදී දොර වසා ගත්තා. නිදි නොපැමිණෙන විට කාමරයේ සිවිලිම දෙස බලා උන්  ඔහු තවමත්  තීරණයක් ගත නොහැකිව අසරණව දෑස් පියාගත්තා.

ආයෙමත් දුරකථනය නාද වෙද්දී ඔහු අවදි උනා. ඒ වෙද්දී වේලාව පසුවදා  දහවල් වෙලා.

ඇමතුමට පිලිතුරු දුන් මාධවට දුරබනුව ඔස්සේ  කතා කලේ ඇය! ඇගේ ආඩම්බරකාර  ස්වරය මාධවව ආයෙමත් කෝපයෙන් අවධිකලා. කේන්තියෙන් ඇමතුම විසන්ධි කල මාධව තමාගේ යතුරුපැදිය ගෙන ඔහේ පාර දිගේ ඉදිරියට ඇදුනා. එකවරම සිතට පැමිණි සිතුවිල්ල මත ඔහු යතුරුපැදිය ඔහුගේ ගමේ ඇති පුද්ගලික ජල විදුබලාගාරය දෙසට හැරෙව්වා. කොන්ක්‍රීට් පාර දෙපස ඉදි කර ඇති ගෙවල්  පසු කරමින් ඉදිරියට ඇදුනු මාධව මහ වන මැදට ඇතුලු උනා. අවට පිහිටි පරිසරයේ අපූරු කොල පාට මාධව ගේ සිත නිවා දමන්නට සමත් උනා. මාධව හැමදාම කොල පාටට ආසයි. ඒ පාට ඔහුගේ හිත නිවනවා.

පුද්ගලික ජල විදුලි බලාගාරයට අයිතිවන   මුරකරුවෙක් නොමැති මුර කුටිය  පසු කර මාධව කැලය මැද ඇති කොන්ක්‍රීට් පා‌රේ නිදහසේ  ඉදිරියට ඇදුනා. විශාල වියපත් මාර ගස් මාධවට හෙවන දුන්නා. බයිසිකලයේ හඩ පරදා ඈතින් ගඟ ගලන හඩ ඇසෙන්නට තිවුනා. ඒකෙන් මාධවට තේරුනා තමන් දැන් ඉන්නේ මහවැලි ගඟේ නොදුටු පැත්තකට ලං වෙමින් කියලා. පුද්ගලික විදුලි බලාගාරය පහලින් පෙනෙන්ට උනා. ඒ ආසන්නයේ ඉහල වංගුවේ යතුරුපැදිය නවතා තැබූ මාධව වටපිට බැලුවා.

මාධවට ඉහලින් මාර ගස් වල කොට පාටත් පහලින් ගංගාවේ කිරි පාට පෙන නංගාවගෙන ගලන කොල පාට ගැඹුරු දියපහරත් තිබුනා.

සිතුවිලි ඒකිනෙක මැවෙද්දී, පළමුවැනි පාරට ඒ ඉස්ව්වේ ගඟ ලඟට ආව මාධව පරිසරයේ ලතාවෙන් කලාවෙන් මත් වෙලා ගඟට බැහැල සිරි නරඹමින් ගඟ දිගේ ඉවුර දිගේ හුඟක් ඉහලට ඇවිල්ලා. අන්තිමට ගැඹුරු වළක් අසලට ඇව්ල්ලා නතරව ඉන්නවා. ඔහුට පැත්තෙන් නාග පෙනයක් වගේ මහ ගලක් තියනවා. එතනින් එහාට පීනන්න  බැරි කෙනෙක්ට යන්න බැරි විදියට කොලම කොල පාට වතුර පිරිලා ගැඹුරු වලක් හැදිලා.

ගඟ ඉහලින් වතුර වේගයෙන් ගලාන ඇවිල්ලා ලොකු ගැඹුරු වලක් හැදිලා තිවුනා. ඒ වටේට ඉහලින් වතුර ආවරණය කරමින් තුරු වළල්ලක් හැදිලා තියනවා. වටේට පුංචි පුංචි ගල් එක්කාසු වෙලා ඉවුර හැදිලා තියනවා. අභිරහස් ගුප්ත තැනක් වගේ ලස්සන සොඳුරු තැනක් ඒක. ඉවුරේ එක පැත්තටක වෙන්න අර නාග හිස පිහිටලා තිබුනා. ඒ තැන ලස්සන නිසාම මාධව ඇත්තටම නිවුනා. ඈත් ඒක්කම ඇවිත් මේ සොඳුරු තැනට වෙලා පෙම් කෙලින්නට තිබුනා නම්! හිත හීනිවට කෙඳිරි ගෑවා.

ඒ සැනින්ම සිතුවිලි බිඳගෙන කැලේ මැද්දෑවට දුරකථන ඇමතුම ලැබෙද්දී නිවිලා තිබුන හිත ආයෙම ඇවිස්සුනා. ආවේගයෙන්ම දුරකථනය නිවා දැමූ මාධව මේ කිව්ව නයි ඔලුවට අත තියාගෙන දත්මිටි කෑවා. ඒ හාම ඔහුට ඔහුගේම සිත පතුලෙන් තීරණයක් ලැබුනා.

මරණය! ඇයට උරුම මරණය! මේ සා වූ වදකාරියකට, අවුරුදු ගාණක් වද දුන්නට උරුම මරණය! තමන්ව නැටෙව්වට, මැඩෙව්වට දඩුවම ඒක!   මෙතන අපූරු තෝතැන්නක් ඇයව කැන්දන් ඇවිත් සදහටම හංගන්න!!

------------------------------------------------------------------------------------

තරුණයා වේගයෙන් ඇවිදිමින් උන්නේ සම්මුඛ පරීක්ෂණයට යන්න පරක්කු වෙලා නිසා. මහනුවර වීදි අතර පාරවල් නං  දැනගෙන ඉඳීම අති උතුම්. ඒම හිතමින්ම එහෙන් මෙහෙන් ඇවිදිමින් ආයතනයක් වෙත සම්මුඛ පරීක්ෂණයට දිව යන ඔහුගේ ඇඟ උඩට මේං  ඇය කඩන් වැටුනේ අසල කඩයක් ඇතුලේ ඉඳන්. ඇත්තටම ඇය කඩෙන් එලියට බැස්සෙ පාරට නෙමෙයි ඔහුගේ ඇඟ උඩට!

අනපේක්ෂිත සිදුවීමට කෑ ගැහුනු රෝසපාට තොල් ආලේපන රහිත ඇගේ දෙතොල් අතර  තිබූ රතුපාට ලොලිපොප් එක පාරට වැටිලා කැබැලි කැඩිලා ගියා. ඇගේ අතේ තිබුන ලිපිගොනුව පාරේ විසිරුනා.  දෙදෙනා  ගැටුනු වේගයට ඔහු ඇයට ඉස්සරහින් පෙරලිලා ගිහින් ඉන්දවුනා! ඇය මූන නොරොක් කරන් සෙල්ලක්කාර විදියට ඔහු දිහා බලලා බිම ඉඳගත්තා! භවනා කරන්න වාඩිවෙනවා වගේම. ඒම බලාන ඉන්න ගමන් අහල තිබුන ගොනු කවරය ළගට අරන් ඔඩොක්කුවේ තියාගත්තා.

මාධවත් ක්ෂණකව ආව කේන්තිය පාලනය කරන් සැහැල්ලු මූනෙන් ඇය ඉස්සරහ ඉඳගත්තා! ඒ විදියටම. දාම් බෝඩ් ඒකක් බිම තියාන වාඩි වෙලා වගේ ඒ දෙන්නා ඒම ඉන්නවා. වටේ මිනිස්සු බයිස්කෝප්පුවක් නරඹනවා.අනික් අවට පරිසරය ගැන වගේ වගක් නැති ඇයටත් මාධවටත්  මැද්දෑවෙන් ඒ බිඳුනු රතු සුදු ලොලි පොප් ටොෆී කැබලි විසිරිලා තියනවා. මාධව හෙමින් ඒ මූන දිහා බැලුවාම බැංකු කාරියක් වගේ නවීන පන්නෙට සම්පූර්ණ කාන්තා යුරෝපීය ඇඳුමකින් සැරසිලා උන්නු ඇගේ  ඒ පුංචි දිගටි මූනේ තිබුනු ආකර්ශනය ඔහුට දැනුනා. ලස්සන කෙල්ලක නෙව! හරිම ලස්සනයි.

එකවරම බිදුනු ලොලිපොප් එක දිහා කණගාටුවෙන් බැලූ ඇය ඇගේ නීල නෙත් වලින් ඒක මාධවට පෙන්නුවා.

ඒක දිහා බලන් උන්නු මාධව තත්පර කීපයක් නාස්ති කරමින් තමන් උන්නු ඉරියව්ව මඳක් වෙනස් කරලා සාක්කුවට අත දාලා ගුලි කරගත් අත ඈට පෑවා. මොහොතකට කලින් ඇය රස බලමින් උන්නා වූ ඒ ලොලිපොප්  වර්ගයයෙන්ම එකක් මාධව මේං  ඇයට දික් කරන් ඇගේ මූන දිහා බලන් ඉන්නවා.

අපූරු ගැලපීමක් නෙව........... ඒ පාටම! ඒ රසින්ම! ඒ වර්ගයෙන්ම!

සිත කළඹන මංන්දස්මින්තයක් අපූරුවට මාධවට තිළිණ කරපු  ඇය ආසාවෙන් ඒක ඩැහැගත්තා. ඉක්බිති හනික නැගිට්ට ඇය දනි පනි ගාලා ඇඳුම් හදාගෙන මාධවට අත දික්කලා. ඇගේ අත අල්ලාගෙන හෙමින් නැගිටපු මාධව ඇඳුම් පිසදාගනිමින් අපහසුවෙන් සිනහා පාද්දි ඇය ලොලි පොප්පුව කටේ ඔබාගෙන කඩිනමින්  වීදියේ අනික් පසට ගිහිල්ලත් ඉවරයි. ඉත්බිති එයා තව වතාවක් මාධව උන්නු දිහාවේ බලලා අත වනලා සමු දීලා යන්න ගියා. ඒ ආපසු බැල්මට මාධවගේ හිතේ ප්‍රේම වීණා වැයුනා. මහනුවර දළදා වීදිය සිපගෙන පැමිණි සුළං රැලි ඇයගේ කෙහෙරැලි නලවමින් ඈව තවත් සිත් කළඹන සුලුව පෙන්නුම් කරන්නට උත්සුක උනා.

ඈ නොපෙනීම යන්න ගිය සැනින්  පියවි සිහියට පැමිණි මාධව තමන්වම යලිත් පරීක්සා කලා. සම්මුඛ පරීක්ෂණයට හෙන ගහලා ඉවරයි. පොඩි උන මඩ ගෑවුන සුදු කමිසය ඇඳන් ගියොත් උන් ගහලා පන්න ගනීවී. ඒම හිතපු මාධව ආපහු හැරෙද්දී බිම තිබුනු කාඩ් එක දැක්කා.

ගෙදර ගිහින් එහි තිබුනු අංකයට දුරකථන ඇමතුමක් ගත් මාධව කෙටි කාලයකින් ධනවත් කුමාරයෙක් එක්ක තිබුනු පැරණි පෙම් පළහිලව්ව නිසා සිත් බිඳිලා කඳුලින්ම කල් ගෙවූ විධායක නිලධාරිනියගේ දුක නිවූ හිතවතා බවටත් තවත් ටික කාලෙකින් ඇයගේ රසවතා බවටත් පත් උනා.

------------------------------------------------------------------------------------

සිතුවිලි මතු වෙලා නැති වෙලා යද්දී ඈත අහස අඳුරු කරමින් හිරු බැස යන්න පටන් අරන්. මාධව ආපසු ගමන ඉක්මන් කලා. ඈව කෙසේ හෝ මෙතනට කැන්දන් ආ යුතුයි. මාධව සමඟ මේ ආකාරයට කැලයක් මැද්දට එන්න තරම් ඈ මෝඩ නෑ. ඒත් දෙදෙනා එක්ව ගිය අසීරු ගමනාන්ත එක්ක බලද්දි මේක සුලු ගමනක්. මාධවට මිනියක් මරන්න තරම් ආවේගයක් ඇතැයි ඈ නොසිතුවක් මේ වලිබර කාලයේ ඔහු සමඟ තනිවෙන්න කලින් ඇය සිය දහස් වාරයක් හිතාවි. ඉතා අඩු කාලයකින් අඩු වයසකින් පවුලේ ව්‍යාපාරයක වුවද  විධායක තත්වයේ කාන්තාවක් වෙන්න නම් බුද්ධිමත් වෙන්න එපෑ. කාලෙකින් මාධවට ඇගේ බුද්ධිය ගැන හොඳක් හිතුනා. පුංචිවට හරි.

සීතල අවට අරක් අරන්. අඳුර ගලන වෙලාවේ ගං ඉවුර දිගේ මාධව ඉදිරියට ඇදුනා. හිතුවට වඩා දුරක් ඇවිල්ලා කියලා මාධවට හිතුනේ විදුලිබලාගාරය පේන්නවත් නැති නිසා. අඩුම සිතුවිලි මැද කිලෝමීටර දෙක තුනක්වත් ගග දිගේ උඩට එන්නැති. හිතට යන්තම් පාලුවක් දැනුනා. රෑ බෝ උනා නෙව ඉක්මනින්ම. ගං ඉවුර අඳුරුයි හොඳටෝම. වන සත්තුන්ගේ හඩ එකිනෙක පරයා දැන් ඇසෙනවා. වවුල්ලු කලුවරේම ඇවිස්සිලා අහසේ වගේම පාතින් ඔබමොබ පියඹනවා. අඳුරේම වේගයෙන් ඉදිරියට පියනඟන මාධවට ගංගාවේ හඩ පැත්තෙන් ඇසෙනවා.

බැරිම තැන අතේ තිවුන ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වාගත්තා. දිගටම වේගයෙන් ඉදිරියට ඇදුනා. එකපාරටම අවට පරිසරය අවුල් ජාලවක් කරමින් කුණු රොඩු සහ තණකොල ගලවාගෙන මාධව ඉස්සරහට ඇදගෙන වැටුනෙ මහ විසාල බාහු පිරුණ කලුම කලු මවිල් වලින් වැසුනු ගිනි විදින ඇස් වලින් බලන් ඉන්න  මහසෝනා!

මාධවට මීටර පහක්  විතර ඈතින්!

තනි ඌරා නොහොත් මහසෝන් අවතාරය දැන් මාධව ඉදිරියේ පිඹිමින් ඉන්නවා. මාධව නිසොල්මනේ එලිය දල්වාගෙන ඉන්නවා. ඒ එලියට ගිනිකන වැටුන ඌරු තඩියා ඒකවරම මාධව දෙසට ඒන්න පටන්ගද්දීම මාධව දුවන්නත් පටන් අරන් ඉවරයි.  ඒත් තත්පර කීපයක් ගිය තැනදී වම් කකුලේ කලවා වලින් ගිනි විදින අන්දමේ වේදනාවක් දැනෙද්දී, නොසිතාම වනය දෙදරවමින් වේදනාවේ විලාපය පිටවෙද්දී පඳුරු පෙරලාගෙන  විසිවුනු මාධව ගලා යන ගං වතුරට වැටුනා. ඇබින්දක්වත් පීනන්න බැරි මාධවට මතකයි මාධවගේ නලලේ වම් කෙලෝර වතුර පතුලේ ගලක වදිනවාත්, තමන්ගේ කකුල පණ නැති බවත්, කට නහය පුරාම වතුර පිරී බුබුලු දමන බවත්.

ඒත් කෝම කෝම හරි හනික හනිකට දඟලාපු මාධව දෙපයින් හිටගන්න උත්සහ කරනවා. අත පය ගගහා උක්කුටියෙන් ඉඳගන්න  තරම් ගොඩට ආවත් සම්පූර්ණයෙන් ගොඩට නොගිහින් බලද්දියි   ඈතින් ඉන්න උරෝ රංචුව හොඳටම දැක්කේ. උන් කල්පයක් තිබහේ උන්නා වගේ වතුර බොනවා. කරූලේ උන්ගේ ඇස් භයංකර විදියට කොලපාටින් දිලිසෙනවා. වතුරට නොවැටුන දුරකථනයේ  විදුලි පන්දම උන්ට ඒහායින් දැල්වෙනවා මාධව දැක්කා. ඒක ගන්නත් උරෝ ඉන්න හරිය පසු කරන් යන්න උවමනයි. වතුර හුඟක් සීතලයි. ඒ සිතලට ඌරා ගැහුව පාර වැදුන කකුල හිරිවැටිලා පුපුරු ගහනවා. නලලෙන් ගලන ලේ සීතලට කැටි ගැහිලා! ගලාන ඇවිත් තොල් වල ගෑවුන ලේ වලට උගුරත් ඒක්ක ලේ රහයි. වතුර පෙවුන නිසා නහය දනවා. මේ සියලු වේදනාවත් ඒක්ක මාධව නිර්භයව වතුරේ බැහැගෙන ඉන්නවා.

වම් පැත්තේ නයි පෙනය ඉවුර කොටගත් කලු කොල පාට ගැඹුරු වල! ඉක්මණින් ඇයට විවේකයෙන් සැඟවීමට නියමිතව තියෙන! අනෙක් පැත්තේ, දකුණු පැත්තේ ඉමක් යමක් නොපෙනෙන අදුරු ගංගාව ගලා යනවා බලාගාරය දෙසට!

වම් පැත්ත බැලුව මාධව දැක්කා ඈත අඳුරේ නයි පෙනය තමන් දිහා කන්ඩ වගේ බලන් ඉන්නවා. ඒ අවට සීතල සුලං පතුරවමින් තුරු හිස් සිලි සිලි හඩින් නැලවෙනවා.

------------------------------------------------------------------------------------

හඳක් වත් නොපෑයු කලුවර රාත්‍රියක මාධව තට්ට තනියම අබ්බගාත වෙලා අසරණ වෙලා ඒත් බිය නොමැති සිතින් යුතුව ජලකඳ තුල බැහැගෙන ඉන්නවා. උරෝ යන පාටක් නෑ. තව මොකුන් මේ කැලේ ඉන්නවද දන්නෑ. මොක  උනත්  උන්ගේ රාජධානිය නෙව මේක. තවත් උන්නොත් සීතලට මිය යන්න සිදුවෙන බව දැනුන මාධව අමාරුවෙන් වතුර මත හිටගත්තා අසල තිබ්බ උස් ගලකට වාරු දෙමින්. කකුල පණ නෑ. වැටෙන්න යද්දි ගලට ආයෙම හේත්තු උනා. වතුරෙන් අත පත ගා ඇහිඳගත් පොඩි ගල් කැටය ඌරන් උන් දෙසට දමා ගැසූ මාධව දැක්කේ උන් වනය පෙරලාගෙන දුවපු විත්තිය. ගලින් ගල අතගාමින් ඒවාට වාරුවෙමින් මාධව ගොඩට ආවා. තමන්ගේ කකුලෙන් ආයෙම ලේ ගලන බව දැනෙද්දී කෝම හරි හිතට වීරිය ගත් මාධව ඇදි ඇදී ගොස් ජංගම දුරකථනය අතට ගත්තා. තිරය නොදැල්වෙන නමුත් දුරකථනය ක්‍රියාත්මක වෙනවා විදුලි පන්දම දැල්වෙමින්. තිරය බිම වැටෙද්දී පුපුරලා විනාශ වෙලා වෙන්ටෝනි.

තව දුර යන්ට තියනවා! යතුරු පැදිය පැදගන්න පණ නැති උනත් බලාගාරයේ කෙනෙක් උදව් කරාවි කියන බලාපොරොත්තුව මාධවට තිබුනා. දසකැලුමා නොහොත් මාධවගේ සහෝදරයා ඉතාලි  යන්ට පෙර සේවය කල මෙම විදුලි බලාගාරේ උන්ට මාධවව මතක ඇති! කිසිදාක මෙහෙ ඇවිල්ලා නැතත් ඒ සේවක මහත්වරුන් සමඟ අඩි පුඩි ගහන්ට මාධව සම්බන්ධ වෙලා තිබුනා විවිද අවස්ථා වලදි. උන්ට මාධව ව මතක ඇති ඒ හින්දම.  මාධව ඒම හිතලා මිනිත්තුව එකක් බැගින් අඩිය අඩිය පෙරට තියමින් ගල් තලාවේ, ගං ඉවුරේ ඉස්සරයට ඇදෙන්ට උත්සුක උනා.

කරුවලේම ජංගම දුරකථන එලිය මැද්දෙන් අතුරු ආන්තරාවක් නොවී බලාගාරෙට වතුර ගෙනියන මහ විසාල බටේ ලඟට එන්න ලැබුනු මාධව ඒ බටයට පාදමක් වෙච්ච කුලුණක් පාමුල හිඳගත්තා. ඉහලින් සෝ හඩින් වතුර පාර ලොකු බටේ  ඇතුලෙන් බලාගාරේ ජෙනරේටරේ දිහාට  ගලන හඩ ඇහෙනවා. අන්තිමට තමන් ක්ෂණික  කේන්තියෙන් ආව ගමනේ ප්‍රතිඵලය මේක නෙව. මාධවට  ඒම හිතුනා. දැන් උන්නත් එකයි මලත් ඒකයි. පණ නැති කකුල දිහා බලනා මාධව තවත්  හිතන්ට උනා.

ඔලුව හොඳටම කැරකෙන්නැහේ තව ටිකයිනේ කියලා ඉවසමින් අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිත් බයික්කේ පේන මානෙදි මාධවට සැනසුමක් දැනුනා. බයික්කෙට නැගලා හෝන් කරලා මිනිස්සු ගෙන්නගන්ට උවමනයි. මාධව ඒම හිතුවේ කෑ ගහන්ට පණක් සරීර කූඩුවේ තවත් නං නැති නිසා. කකුල දැවිල්ලයි. අඩිය තියන්න බෑ පණ නෑ. ඒත් පුපුරු ගහනවා. හිස පුපුරන්නැහේ  කැක්කුමයි.  පඩිපෙල ඉහලට නගිද්දි, ඒක නැඟීමකට වඩා බඩගෑමක් වගේ පෙනුනේ, ඒම අඩියෙන් අඩිය බඩගෑව ඔහු බයික්කේ ගාවට එද්දි හිමිදිරි මීදුම පාත් වෙලා  සීතල උතුරන පරිසරයක් නිර්මාණය වෙලා තිබුනා. වෙන වෙලාවට කදිම නමුත් දැන් නම් අමාරු පරිසර තත්වයක්. බයිසිකලයේ හැඩලය අල්ලාගෙන නැඟිටින්න උත්සහ කරන මාධවව වාරු නැතිව බිම ඇද වැටෙද්දී බයිසිකලයේ දුම් බටයට හිස පිටුපස්ස වැදෙනවා වාගේ වේදනාවක් මාධවට  යන්තමින් දැනුනා. කැරකිලා මුහුණ බිම වැදෙද්දී ඔහු නෙත් පියා ගත්තේ වේදනාවන් වලට තිත තියමින්!

මහවැලි ගඟ පිහදාගෙන කඳු පාමුලින් ඇදිලා එන මීදුම් හුලං හරි සීතලයි. තාම ඉර පායන්න හිතලාවත් නෑ. උදා අදුර තාමත් පවතින ඒ මීදුම් දුමාරය මැද්දෙන් උදේ පාන්දරම කාර්මිකයෝ දෙන්නා තමන්ගෙ වැඩ පොලට ඇවිදන් එමින් උන්න. පුද්ගලික ජල විදුලි බලාගාරය තිවුනෙ තව පහලින්. ප්‍රධාන පාරේ ඉදන් කිලෝමීටර එක හමාරක් විතර දුරින්. කැලේ මැද්දෙන් ටික ටික කතාබස් මැද්දෙන් ඉදිරියට ඇදෙන කාර්මිකයෝ දෙන්නා අතේ තිවුන විදුලි පන්දම් එලි මීදුම කපාගෙන ඇවිල්ලා දුර ඈත වංගුවේ තියෙන බයිසිකලයක් මත පතිත උනා.  ඒ මෝටර් බයිසිකලේ පාමුල මුනින්තලා වෙලා වැටිලා උන්නා මනුස්සයෙක්. හනික ඒ පැත්තට දුවගෙන ගිය කාර්මික යුවල මේ මනුස්සයා පැත්තකට පරිස්සමින් පෙරලුවා.

කකුලේ තුවාලය තුවාලයක් නොව වනයක් වගේ වෙලා. කලිසම කලුපාටින් පෙඟිලා. බිම පුරාම ලේ කැටි ගැහිලා. නලලේ වම් පැත්තේ ලේ කැටි ඇලුන පොඩි පැලුම් තුවාලයක්. හෙමින් කෙඳිරි ගාන මනුස්සයෙක්. තුවාල බරපතල තත්වයේ උනත් තාම පණ ගැහෙනවා!

“අඩේ මේ දසකැළුමාගේ මල්ලි මාධව!

කාර්මිකයින් දෙන්නාගෙන් ඒක්කෙනක් මේ නන්නාඳුනන මනුස්සයව අඳුනා ගත්තා.

ඒ වේලාවේම හැමුව සීතල සුළං ධාරාව  මීදුම තවත් තදම තද කරමින් අවට ගස් මුදුන් සේරම සුදුපාටින් වහගෙන  පාවෙලා ගියා.....

------------------------------------------------------------------------------------

අන්ධකාර දූවිලි පිරුණු පාලු කාමරයේ හිටගෙන උන්නු මාධවගේ අතේ තිබුනා මිට අඩි දෙකක් විතර දිගට සවි කරපු පුංචි කුළු ගෙඩියක්! මුවේ රසවත් ලොලි පොප් ටොපියක්. තමන්ගේ නිවසේ කාලාන්තරයක් තිස්සේ තිබුනු මේ කුළු ගෙඩියේ ගල් ගෙඩිය තනි කලු පාටයි. යකඩ ද මංදා! සැහැල්ලුයි! හරිම සැහැල්ලුයි. ඔනෑම ගල් ගෙඩියක් තනි  පහරකින් දෙබෑ කල හැකි ජවයක් ඇති ඒ කුලු ගෙඩියට ගෑනු ඔලුවක් කියන්නේ කොච්චර සැහැල්ලුද?

ඈ උන්නේ බිම හිඳගෙන දණ ගහගෙන! සුදු කොට ගවුමක් හැඳි ඇගේ දනහිස් නිරාවරණය වෙලා තිබුනා. ඒ ඇගේ ආසම ගවුම් වලින් එකක්. ඈ දන්නෑ ඈ ඉන්නේ කොහේද කා ගාවද කියලා. ඇගේ හිස ආවරණය වෙලා තිබුනේ දුඹුරු පාට හාල් බෑගයකින්. අඳුරු බෑගයක් තුල හිස හොවාන ඈ බිමට හිස පාත් කරන් උන්නා. ඇගේ අත් අප්‍රාණිකව තිබුනා. ඈව මත් කරලා වගේ.  ඒ නිසා අත පය බඳින්න උවමනාවක් තිවුනෙ නෑ. ඈ මත් බවින් වෙන්නැති ලාවට කෙඳිරි ගානවා සහ පැද්දෙනවා. මාධව කුලුගෙඩිය බිම දිගේ ඇදගෙන එද්දීත් ඈ ඒ විදියටම ඉඳියා. ඔහුගේ අතේ මාංශ පේශි කුළුගෙඩියේ බරට පිම්බිලා ශක්තිමත්ව සහ  දාඩියෙන් පෙඟිලා බැබලෙනවා . කලු පාට  බැනියමක් සහ ඩෙනිම් කලිසමක් හැඳ නිරුවත් දෙපා වලින් උන්නු මාධව දත් හිරි වට්ටන රලු හඩක් නංවන කුළු ගෙඩිය ඇදගෙන ඉස්සරහට යමින් ඈට ලංවුනා

මාධවගේ ශක්තිමත් දෑතින් අල්ලා ගත් හෙමින් කුළු ගෙඩිය ඉහලට එසවුනා. ඔහුගේ පිටේ මස් පිඩු ඉලිප්පිලා ඒකට අවැසි ශක්තිය ලබා දුන්නා. ඉක්බිති වේගයෙන් ඇගේ හිස මතට පතිත උනා.මත් වෙලා වගේ උන්නු  ඈ හනික නැගිට අත ඔසවා කුළු ගෙඩියෙන් එල්ල වූ පහර වලකා දැම්මා! ඊලගට ක්ෂණිකව හැරී ඔහුගේ පපුවට දැඩි පහරක් එල්ල කලා. ඒ ඈ විසින්  උදුරාගත් කුලුගෙඩියේ මිට පැත්තෙන්. පපුව අල්ලාගෙන ඉහලට විසිවූ මාධව  සුදු ඇතැරිලි පිරවූ ඇඳක් මතට ඇද වැටුනා. අමාරුවෙන් දෑස් අරින ඔහු දෙස මුව වැසුම් වලින් ආවරණය වූ පිරිසක් බලා උන්නා.  බීප් හඩ නඟන යන්ත්‍ර උපකරණ ගොඩකට මැදිව මාධව වැතිරිලා උන්නා. මාධවට වම් පසින් උන් පුද්ගලයා  අතේ විශාල සිරින්ජරයක් තිබුනා. ඔහු අවධානයෙන් මාධව දිහා බලාන උන්නා. මාධවට තමන්ගේ පපුවෙන් දැඩි වේදනාවක් දැනුනා. මුළු ඇඟම තලා දාලා!

ඔහු වේදනාවෙන් ආයෙම නෙත් පියාගත්තා. ආයෙම ඇස් අරිද්දී දින කීපයක් ගත වෙලා. ඔහුව වෙනමම කාමරයක සුපිරි තත්වයෙන් ඇඳක් මත උන්නා. ඔහුට ඉදිරියෙන් කැඩපතක් සහිත මේසයක් තිබුනා. කාමරේ ආලෝකවත් කරන ලොකු ජනේලයක් දකුණු පැත්තෙන් තිබුනා. ඒ ජනේලය ගාව සැප පහසු ගිලෙන කුෂන් පුටුවක ඇය වාඩිවෙලා උන්නා. ආදරණීය ව කල් ගෙවූ ඈ.......

තුවාල ලැබූ මාධවගේ තනියට! තරහා මරහා අමතක කොට. ඇත්තටම ඇයට පලිගැනීමේ චේතනාවක් තිබුනේ නෑ. ඇයට ඔනි උනේ ඔහුව රිද්දා හෝ ආයෙම ලඟට ගන්න. දැන් කෝමත් අවස්ථාවක් ඇවිල්ලා. පරණ කෝන්තර අමතක කොට ආදරෙන් ලංවී ඉන්න මේ හොඳ මිනිහා සමඟ! ඈ ඒකට කැමැත්තෙන් මේන් ඔහුට සත්කාර කරමින් ආරෝග්‍යශාලාවේ!

ඈට සිනහ වෙන්නට වෙර දැරූ මාධව වෙතට ඈ සුළගක් වගේ පාවෙලා ඒද්දී මාධව ආයෙම ඇස් පියාගත්තේ සැහැල්ලුවෙන්! ආයෙම ඇස් අරිද්දී කිසිවෙක් කාමරයේ නෑ.

කාමරයේ දුර්වල ආලෝකයක් දැල්වෙනවා. කවුදෝ කණ ළගට කරලා මාධවට කියනවා.

“නැගිටින්න! අපි හමුවේවි! අපි එකතු වෙලා වැඩේ සම්පූර්ණ කරමු!”

මාධව ආයෙම නින්දට වැටුනා. නිදිබර රාත්‍රීන් ගණනාවකට පසු මාධව ඇඳෙන් බැස්සා. ඇය ආදරයෙන් ඔහුට උවටැන් කලා. ඔහුගේ සුවවීම අපේක්ෂාවෙන් ආදරයෙන් ඔහු ලඟ රැඳුනා.

ඒත් මාධවගේ හිතේ ඇය ගැන කිසිදු හැඟීමක් නැති බව ඇය දන්නෙ නෑ. ඒක තාම රහසක්!

රෝහලෙන් නික්ම යන දිනය උදා උනා. මාධව සැහැල්ලු ඇඳුමින් සැරසුනා. කොට සැහැල්ලු කලිසමක් සහ සැහැල්ලු බොත්තං දැමූ කමිසයකින්. තාම දිග කලිසම් අඳින්න බෑ. තුවාල ලැබූ කකුල තාම වේදනයි. ඌරාගේ පහර කෑ කකුල අස්ථි පුපුරා ගොස් මස් වැදලි ගැලවී තිබුනා. ඩෙනිම් කලිසමක් ඇඳ සිටීම නිසාම මාධවගේ කකුල මඳක් ආරක්සා උනා කිව්වොත් හරි. ඒ වේදනාකාරී තුවාල සුව වීම කඩිනම් වන්නට අවශ්‍ය ප්‍රතිකාර කර තිබුනත් ඔහුට අත් වාරුවක් භාවිතා කරන්න උපදෙස් ලැබිලා තිබුනා.

කණ්නාඩිය ඉදිරියේ අත්වාරුවට වාරු දීගෙන උන්නු මාධවට හිසේ පිටුපස වේදනාව දැනෙන්න ගද්දී හවස් වෙලා තිවුනා. එදා රෑ බයිසිකලයේ දුම් බටයේ හිස වැදුන මොහොතේ සේම වේදනාව හිස පිටුපසින්ම. මාධව වේදනාවෙන් හිස අත ගාද්දී කණ්නාඩියේ උන්නු මාධව ඒම කලේ නෑ.

ඒ වෙනුවට කන්නාඩියේ උන් ඔහු අත්වාරුවට බර දී සිනහා පාමින් මාධව දෙස බලා උන්නා. ඒ සැනින්ම සිහිනෙන් මෙන් පෙරදාක ඇසුනු කණ ගාව කට හඩ මාධවට ආයෙම ඇසුනා.

 “අපි නැගිටිටා! අපි හමුවුනා ! අපි දැන් වැඩේ සම්පූර්ණ කරමු!”

ඒ සැනෙහිම ආදරණීය ඇය කාමරයට ඇවිත් මාධවගේ කම්බුල තෙතබරිතව  ලෙස සිප ගෙන ඔහුගේ මුවේ රසවත් ලොලිපොප්පුවක් ඔබද්දීත් කණ්ණාඩි මාධව නොසෙල්වී උන්නා. ඇයට ඒ වගක් පෙනුනාද සැබෑ මාධව දන්නෑ. සැබෑ මාධව තුෂ්නිම්භූත වෙලා ආදරණීය ඇය දෙස බැලුවා. ඇය ඔහුව අල්ලාගෙන කාමරයෙන් පිටව යද්දී කණ්නාඩි මාධව තමාට හෙවත් තමා ගිලී ඉන්නා කණ්ණාඩියට ඉදිරියෙන් ඇති හිස් ඇඳ දෙස වෛරය මුසු මුහුනෙන් බලා උන්නා.

------------------------------------------------------------------------------------

මහ රෑ සඳ පායලා ඈත විදුලි බලාගාරයේ වහලය දිලිසෙනවා පේනවා. ගංගාවේ ජල මට්ටම පහල බැහැලා නිසා නයි පෙනය ඉහලට පෑදිලා ඇවිල්ලා තවත්. හඳ එලියට අපූරුවට විශාලව පේන නයි පෙනය ලග කලු ඇඳගත්තු මිනිහෙක් අත්වාරුවක් පැලඳ හිටගෙන ඉන්නවා. ඔහුගේ සෙවනැල්ල වතුරට වැටිලා නිසල දිය මත කලුවට. උරහිස මත දිගු පොලිතීන් උරයක දැමූ දිගු පොදියක් රැඳී තියනවා ඔහුගේ. ඒ දිගු පොදිය මත සැහැල්ලු කුළු ගෙඩියකුත් තියලා සම්පූර්ණ පොදියම එකට තදින් ගැටගහලා.

හඳ එලියේ සීතල සුළග හමා යන්නේ ඇඟ හිරිගඩු පිපෙමින්. ඒත් මෘත ශරීරය කරින් ගත් මිනිසාගේ ශරීරය දහඩියෙන් උණුසුම් වෙලා.ඒ පොඩි පට්ටං උනු  මෘත ශරීරය පරිස්සමින් බිම තිබූ හෙතෙම අහල පහල ඇති ලොකු ගල් දෙකක් ගෙන කඹයකින් ගැට ගසා එහි කෙලවර කුළුගෙඩිය සහිත පොදියට ගැට ගසා කුළු ගෙඩිය පමණක් පොදියෙන් ඉවතට ගෙන පැත්තකින් තබන්නේ පරිස්සමින්.

ඉන්පසු ජරාස් හඩ නඟමින් ගල් කැට දෙක වතුරට වීසි කල ඔහු කලේබරය ගැස්සී ගැස්සී වතුර තුලට යනු ආඩම්බරයෙන් බලා ඉන්නවා. දිය බුබුලු නැතිවී වතුර වල සන්සුන් උනා.

 “අපි නැගිටිටා! අපි හමුවුනා ! දැන් වැඩේ සම්පූර්ණ කලා!”

නිහඩ බව පරයාගෙන ඒ නපුරු හඩ කණ ගාවින් ඇසෙද්දී සැබෑ මාධව ඇයට එහායින් නැඟිට්ටේ දහඩිය පෙරාගෙන. නිදියහන මතින් පහලට කකුල් දමා හෙතෙම හිඳගත්තේ විඩාවෙන්. මෙවැනි නිදි බිඳෙන නිදි වර්ජිත රාත්‍රීන් නිමක් නෑ. රෝහලෙන් ඇවිල්ලත් දැන් ටික දවසක්.

හිසේ කැක්කුම එනවාත් එක්කම පුරුදු උනු ආකාරයට නිදන කාමරයේ කණ්නාඩි මේසය දිහා “කෘතීම” ලෙස හැරී බැලූ මාධවට පෙනෙන්නට “කණ්නාඩි මාධව” කණ්ණාඩිය තුල පෙනී ඉන්නවා. ඔහුගේ  වෛරී සිනාවට අවනත වූ සැබෑ මාධව පරිස්සමින් ඇය නින්දෙන් අවදි නොවන සේ යහනින් බැස ඇඳ යටින් කූළු ගෙඩිය අරන් පරෙස්සමින් ඔසවා ශක්තිමත්ව අල්ලා ගෙන ඇය ඉන්නා පෙදෙසට ඇවිද ගියා.

------------------------------------------------------------------------------------

 

එදා රෑ අපූරු හඳක් පායලා ආකාසේ නිල් පාටින් බැබලුනා. නයි පෙනය ඒ හඳ එලියට අපූරුවට දිස් උනා. පරිසරය ලතාවට නැලවුනාග සංගීතවත් රාත්‍රියක් වගේ. නයි පෙනය අසල නිසලව තිබූ ගැඹුරු දිය නිසල බව පරදා කැලතුනා. දිය බුබුලු කීපයක් දිය මතට විත් ඉක්බිති දිය නිසල උනා. ඒ මොහොතේදීම කණ්ණාඩියේ උන් මිනිසා පරාජිතව කණ්ණාඩිය තුලම දැවී අලුවී ගියා.

සියල්ල සිදු වී මඳ වේලාවක් ගත වූ පසු හිසේ තුවාල පටියක් බැඳි, මුවේ ලොලිපොප්පුවක් රුවාගත් ලාලිත්‍යවත් රූපයක් තනිවම නයි පෙනයට පිටුපා නිර්භයව සඳ එලියේ ඈතට ඈතට ඈතට ඇවිද ගියා.......

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form