මාධව පොඩි කාලයේ ඉඳලාම මාලුවොන්ට ආසා කරන්නේය. උන් අපූරුය.
වරල් නලවා දිය කපාන ඒහෙ මෙහෙ පිහිනන හැටි බලා ඉන්න මාධව ආසාය.
පුංචි කාලයේ සිටම ඔහුගේ අප්පච්චීගේ මාලු ටැංකි කන්දරාව මැද්දෑවේ සැරි සැරූ මාධව ජංගි කොල්ලාගේ පටන් අද දක්වාම හැමදාම මින් මැදුරක් දුටු මනතම පිනා යන්නේ ය. ඒක මානසික පිස්සුවක් ය.
මාලු පිස්සුව ඇත්තටම පිස්සුවක් ය.
මාධව පුංචි කාලයේදී නිවසේ නාන කාමරයක් තිබුන් නැත්තේය. විසාල දර ලිපක් සහිතව කලු ගැහුනු කුස්සියේ තිබුනු, පිඟන් ගඩොල් ඇල්ලීමට නියමිතව තිබූ සිමෙන්ති ටැංකිය මාධවගේ කුඩා කාලයේ නාන කාමරය විය. හෙලුවැල්ලෙන් ඉන්නා කොලුවා උස්සාගෙන ඇවිල්ලා මේ ටැංකියේ ඔබා මුහුණ කට නාවන කාලය මාධවට ජායාවක් සේ මතක පොතේ ඇත්තේය. සීතල දරා ගත නොහැකිය හූ තියන කම්මැලි මාධවයා ගැන වියපත් මාධවට මතක ඇත්තේය. මූන නොසෝදා කම්මැලිකමට පාසල් නොයා ඉන්න වැඩ සිද්ධ උනේ ආං ඒ කාලයේ ය. පුංචි කාලයේ මතක ගොන්න රැඳි ආන්න ඒ ටැංකියට නොකඩවා සීතල වතුර ලැබුනේ කුරුඳුගොල්ල ගම්මානයේ සීතල උල්පතෙන් ය.
අධික සීතලද නැති අධික උණුසුම ද නැති මේ කුරුඳුගොල්ලේ ජල කඳ කදිමය. මාධව සෙනසුරාදාට “හේනයා” සේ රෙදි පොට්ටනිය කරෙන් උස්සාගෙන ගිහිං තඩි ගහන්නේද මේ උල්පතෙං ලැබෙන ජලය ගලාන එන පීල්ලෙන් ය. ගිනි ගහන දහවලක නාන්ට කදිම දිය කඳ ඇත්තේ මාධවලාගේ මේ පීල්ලේමය. ඉතිං මේ කියලා උල්පතෙන් ලැබෙනා ජල කඳ මාධවලාව අද දක්වාම පෝෂණය කරන්නේය.
එක්තරා දවසක ඉරු පායා තිබුනේය. සති අන්තයේ කම්මැලිකමේම උන් මාධව දත් මැද මැද උන් කොලුවා, "තුක්" කියා කාරා කෙල ගසා කට සෝදන්නට මේ කුස්සි කෑල්ලේ ටැංකියේ ජල කරාමය ඇරියේය. වතූර පිරවන්නා වූ බඳුනට ඒ තුලින් ඇද ටැවුනේ අඟල් බාගයක් පමණ පුංචිම පුංචි ඇලි පාට ගප්පි පැටියෙක් ය.හෙතෙම මේ පුංචි බඳුනේ දිලිසෙමින් ඔබ මොබ පීන පීන උන්නා නෙව, මේ අලුත් ලෝකය කුමක්දෝ නොදැන.
මාධව පුදුම වී දෙනෙත් අයා හෙතම ලෙස බැලුවේය. පිරිසිදු ජලයේ කෙලි සෙල්ලම් පාන මාලුවාගේ නෙත් හා ගැටී මාධවගේ ද නෙත් බැබලුනේය. කදිම සුදු ගප්පියෙක්! බලාපොරොත්තු නොවූ!
සීයාගේ කඩෙන් ගෙනැවිත් තිබූ විසාල වීදුරු බඳුනක් ගෙන හනික පිරිසිදු කල මාධව එයට පිරිසිදු ජලය පුරවා මේ සුදු ගප්පි උන්නාන්සේට එහි ආදරයෙන් ඉන්ට කියන්නට අවකාශ සලසා දුන්නේය. මේ කාලයේ මාධව යන්තමින් දෙක වසරේ විය යුතුය. පස්සේ කුඹුරින් ගලවං ආ ජල ගස් වැල් වලින් අලංකාර කරනු ලැබූ මේ පරණ හුලං විස්කෝතු බෝතලය තුල මේ කියූ ගප්පි උන්නාන්සේ ඔබ මොබ ආඩම්බරයෙන් පීනමින් ඉඳ, ඉක්බිති මුල්ලේ පැලපදියම් විය.
බටමාලුවා මාධව සතු වූයේ ඒමය…
……………………………………………………………………………………………..
කාලය ගෙවුනු පසු මාධව වැඩිමල් විය. මිදුලේ ලොකු මාලු පොකුණක් සාදාගැනීම මාධවගේ සිහිනය විය. සිහිනය සැබෑ කර ගැනීම සඳහා හෙතෙම මහන්සි වී වැඩ කලේය. කාල ගෙවී යන විට හෙතෙම අපූරු පොකුණක හිමිකරුවෙක් විය. ලංකාවේ උන්ට "ජෑම්" ගූරාමියා වුවද ලෝකයේ උන් "ජයන්ට්" (giant) ගුරාමියා හෙවත් යෝධ ගුරාමි පවුලකම සාඩම්බර හිමිකාරයෙක් විය.
කංකුං වලින් සහ මස් කැබලි වලින් පෝෂණය කරන මේ යෝද සුන්දර මාලූන් හිමි කරගැනීමට කාලයක් තිස්සේ හීන බල බල උන් මාධව සතුව රෝස පාට උන් හතරක් සහ කලු උන් දෙදෙනක් බලා ඉද්දී ඉක්මණින් මහ විසාලව වැඩුනේය.
හැමදාම උන්ට කෑම දමා යාම, අතින් කෑම කැවීම පුරුද්දක් විය. උහු බල්ලෝ මෙන්ම හීලෑ වන අපූරු මහ විසාල එව්වෝ විය. මාධවගේ සෙවනැල්ල පවා හඳුනාගන්නා තරමට උනුන් මාධවට ලං විය. අහල පහල කොල්ලෝ කුරුට්ටෝ පවා මාධවගේ මේ යෝධ ගුරාමි බැලීමට ආවා ගියෝය. ඒ තරම් උන් කදිම සුරතලුන් ය.
රන්වන් සහ වර්ණිත කාප් මාලු රෑනක් ද පසුව මේ රැලට එක්කාසු විය. උන්ද තරඟෙට මෙන් මහා විසාල විය. ඒ අතුරට පාකු රැලක් ද පසුව එක්කාසු වූ අතර පසු දිනෙක දසකැලුමා සමග ගොස් මහ යෝද වන බිළාල මාලු (කැට් ෆිස්) පස් දෙනෙක්ද ගෙනවිත් දැමූ අතර උන්ගෙන් ඒකෙක් හැරෙන්නට අනික් උන් පොකුණෙන් පැන ගිය ආකාරය අදටත් අභිරහසක් ය.
මේ සියලු මාළු රාජධානියේ මාධව තූටින් උන්නේය. ඒත් කාලය හැමදාම සතුට ලබා දෙන්නේ නැත. මාළුන් හොරකං කිරීමට පැමිණි අයෙක් එය සිදු කර ගැනීමට නොහැකි වීම සහ ඊරිසියාව සහ කෝපය නිසාවෙන් පොකුණේ අභ්‍යන්තරට පිරිසිදු කරල ජල නලය හැර දමා ගොස් තිබුනේය.
වේගයෙන් අඩුවෙන ජල මට්ටම ගැන අහිංසකයෝ කිසිත් නොදැන රාත්‍රිය පහන් කරමින් උන් අතර පොකුණ ඉදිරියෙන් ඇති කාමරයේ මාධව සිය නව බිරිඳ සමඟ උණුහුමින් වෙලී නිදමින් උන්නේය.
මාධවගේ අප්පච්ඡීගේ කෑ ගැසීමට අවදි වී පොකුණ ලඟට ගිය මාධව දැක්කේ, මැණික් කැට මෙන් දිලිසෙමින් එකා මත ඒකා වැටී උන් මියදී ඇති බවය. සිහි එලවා ගත් මාධව හනික වතුර කරාමය හැර පතුලේ ඇබය වසා ජලය පිරවීමට කටයුතු කලද සියලූම උන් යන්නටම ගොස් ය. ඉත්බිති විසාල වලක් කපා වැලලීමට සූදානම් කර මාලු සියල්ල පරිස්සමින් අතුරා තිබූ විට සම්පූර්ණ වලම මිණිකැට සහ දියමන්ති රැසක් ඇති ට්‍රන්ක පෙට්ටියක් මෙන් දිලිසී තිබුනේය. ඒ දිලිසීම පරයා මාධවගේ හිතේ මේ මාලුන් ගැන උපන් කණගාටුවේ කඳුලු බිඳු දිලිසුනේය. මාධව අවසානයට අඩි එක හමාරක් පමණ වූ මාධවගේ ප්‍රියතම ගුරාමි මිතුරා, කිලෝ දෙකක් පමණ බරැතිව උන්, ඒහි පරිස්සමින් තැන්පත් කලේය.
උඹලා යන තැනකදී ද මේ ලොකු සුද්දා උඹලාව බලා ගනු ඇතැයි මාධව සිත පතු්ලෙන් අනිකුත් මියගිය උන්ට කොඳුරා කීවේය. මාලු-මරු කොකා පැමිණි විට සෑම මාලුවෙක්ගේම ආරක්ෂාව පිණිස වලිගයෙන් වතුර කළඹා මේ අහිංසකයින්ව බේරාගත් නායක මාලුවා ඌ ය. කදිම ලෙස සිනාසෙන මාලුවා ඌ ය. වලි බේරන්නේ ඌය. කොටින්ම කීවොත් මාලු පුරවරයේ සිටි රජු ඔහු ය.
පාපතර ක්‍රියාවල ගොදුර වූ අහිංසකයින්ගේ හුස්ම යන මොහොතේ මොනවා සිතන්නට ඇතිදැයි මාධවට සිතුනේය. කෑම දෙන උස කලු කොණ්ඩ වැවූ කැත මිනිසා ඇවිත් බේරා ගනු ඇතැයි බලාපොරොත්තු වන්නට ඇතැයි මාධව සිතුවේය. අවුරුදු පහක් පමණ වියපත් වී උන් ඇත්තටම දරුවෝ නොවේද? ඒ බැඳීම ඒමය ය! ඒ ආදරයම වන්නේය!
එදායින් පසු ඒ පොකුණූ වලට කවදාවත් ජලය පිරවුනේ නැත. සදා කල් මාධවගේ හිත මෙන්ම හිස්ව පවතින්නේය. නැවත, මාලු සුරතලයට ඇති කිරීම සිදු නොකල යුත්තේ ඒ පාපතරයින් තවමත් මේ ගමේම ජීවත් ව ඉන්නා නිසාය. කිවයුත්තේ ඒ තක්කඩින්ව උදේ හවා දකින මාධවට උන් ගැන ඇත්තේ අනුකම්පාවක් මිස වෛරයක් නොවන බවය. උන්ගේ දරුවන් පවා ඇත්තටම අනුකම්පා කල යුතු අයවලුන් ය.
……………………………………………………………………………………………..
ඉතිං හය හතර නොතේරෙන ඒ පුංචි කාලයේදීම පුංචි කෑම පැකට්ටුවක් ගෙන්වාගෙන “බටමාලුවා” පෝෂණය කරන්නට බලාපොරොත්තුවෙන් උන් මාධව පසුදා උදයේ නැගිට බෝතලය දෙස බැලුවේය. මාධවට දුක පහදා දෙමින් බටමාලුවා පාවෙමින් උන්නේය. මියගොස්! මාධවට දුක සිතුනේය. ඒ ඇලි ගප්පියා ඇත්තටම මාධවගේ සිත පැහැරගෙන තිබුනේය. පොඩි දරුවන් වන මාධවලා වැන්නවුන්ට මේ සත්තු ගැන අවබෝධය ලැබෙන්නේ කාලයත් එක්කම ය. දිනපතා වතුර මාරු කලේ නම්, අනවශ්‍ය ලෙස බත් ඇට දැමීම සිදු නොකලේ නම් වතුර දූෂ්‍ය නොවී මාලුවා මිය නොයනු ඇති බව කාලයත් සමඟ මාධවට අවබෝධ විය.
ඒදා පටන් අද දක්වාම සහ දිනෙක මියෙනා තුරුම මේ බටමාලු උන්නාන්සේ මාධවගේ සිතේ ඉඳිනු ඇත. මාධව දැන් ජීවිතයේ හුඟක් වයස්ගතය. හැබැයි කුරුඳුගොල්ල උල්පත විසින් ලබා දෙන සීතල වතුර අරං ගෙදරට එන වතුර නලය සවි කර ඇති, පුංචි කාලයේ මතක හුඟක් රැඳී, කුස්සියේ ටැංකියේ වතුර කරාමය අරිනා හැම මොහොතේම බට මාලුවෙක් දැන් දැන් ඇදී ඒ දැයි බලාපොරොත්තුව තවමත් සිත තුල ඇත්තේය.
Hari apooru ,duka hithena kathawak.Oya kiyana yoda hulan wiskothu bothaluth mata hondata mathakayi.
ReplyDeleteමාධව මස් මාළු කන්නේ නැද්ද?
ReplyDeleteමලු හදන එක මමත් පොඩි කලේ ඉදලාමයි පටන් ගත්තේ...
ReplyDelete