ඉමං භික්ඛං සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම

 


මිත්‍රවරුණි,

කාට කාටත් පින් පමුණුවන්න කලින් මිත්‍රවරුණි මාධව කැමති කතාන්දරය කියන්නට. සත්‍ය කතාවක් ගීතයක් වුනු පසු සමාජ මාධ්‍යය හරහා දෙසවනට වැටුනු පසු දැඩිව කම්පනය වන මාධවට මේ කතාන්දරය ඔබටත් කියන්නට උවමනා වෙනවා. මේ ආකාරයට කම්පනය දැනෙන ලාංකික කලා නිර්මාණ මාධවට හමු වෙලා තියෙන්නේ හරිම අතලොස්සයි. “උසාවිය නිහඩයි” කියන්නෙත් ආන්න එහෙම මාධවට සංවේදී උන තවත් කතාන්දරයක්. නිර්මාණයක්. “සහෝදරයා” කියන්නෙත් ආන්න ඒ වගේ සංවේදී කතාන්දරයක් ඇතුලත් ටෙලියක්! මේකත් ආන්න ඒ වගේ ගීතයක කතාන්දරයක්. අපූරු සංගීතයක්, වචන ටිකක්, සහ කටහඩක් සහ වෙනස්ම ආරයක්!

සිරි ලංකාවේ දේශපාලනය සහ අලි මිනිස් ගැටුමේ නොදකින පැතිකඩක කතාන්දරයක් අඩංගු ගීතයක් ගැන  මෙහෙම අකුරු කරන්නට මාධව උත්සහ කරනවා. ගීතයට අනුව අදහස මාධව විසින් උකහා ගන්නේ මුල් නිර්මාණකරුවන්ගේ දක්ෂතාවයට හිස නමමින්. මේ කතාවේ සම්පූර්ණ අයිතීන් සියලූම නිර්මාණ ශක්තීන් මුල් මිහිකරුවන්ගේම බවත් මාධව ආදරෙන් කියනවා. මේ කතාව ගැන මාධව මාධවගේ ගෙතීම පමණක් මේ ආකාරයට කියන්නට මාධව කැමතියි. ගෙත්තම් කල කතාන්දරය අවසානයේදී මාධවගේ “අදහසත්” කියන්නට බලාපොරොත්තුවෙන් මේ කතාව පටන් ගන්නවා.

ජීවිතේ පුදුමාකාරයි. බැඳීම් හරිම අපූරුයි. මාධව හැමදාම ඒ බව විශ්වාස කරනවා. මේ කතාවත් ආන්න එහෙම බැඳීම් සමූහයක් ගැන කතාවක්. දුර ඈත අරංගවිල ප්‍රදේශයේ ජීවත් වුනු සිරිල් උපාසක මහත්තයාගේ කතාව ආන්න ඒම මනුස්සකං බැඳීම් වල කතාවක්.

පොළොන්නරුව ප්‍රදේශයේ අරංගවිල ගම්මානගේ විසූ සිරිල් උපාසක මහත්තයා තමන්ගේ බිරිඳ එක්ක බොහොම වීරිය මහන්සියෙන් ජීවිකාව කරගෙන යනවා. උතුරුමැද දිස්ත්‍රික්කය පුරාම වකුගඩු රෝගය වසංගතයක් සේ පැතිරිලා. දරුවත් උස් මහත් කරගෙන උගන්නාගෙන උන්නා. කාටවත් කරදයක් නොමැතිව ජීවත් වූ යුවල කාලයත් සමඟ වියපත් උනා. ආන්න එහෙම ඉන්න කාලය තුල මේ අරංගවිල සුලග මැද්දෑවේ ආදරයෙන් ජීවත් වූ සිරිල්ගේ තනි නොතනියට උන්  ඔහුගේ ආදරණීය බිරිඳ රණ්මැණිකා හදිසියේම මියයනවා. ඒ වකුගඩු රෝගයෙන්. වකුගඩු රෝගයෙන් බිරිඳ මිය ගිය පසු දියණියද උසස් අධ්‍යාපනය සඳහා නගරයට ගොස් ඇති බැවින් සිරිල් අරංගවිල ගම්මානගේ ඔහුගේ කුඩා ගෙදර තනි වෙනවා.

උතුරුමැද පලාතේ වකුගඩු රෝගය විකුණාගෙන කා ජන්ද ගත් උන්දලා යහතින් උපන් රට කාබාසිනියා කරද්දී තවමත් බොහෝ වැසියන් “ඩයලයිසීස්” කරන්නට උදෑසනම දුක්බරව රෝහල් කරා ඇදෙන බව නොරහසක්. මාධවගේ සමීපතමයින්ගේ පියවරුන් දෙදෙනෙක්ම මේ කාළකණ්නි ව්‍යසනයේ ගොදුරු වෙලා හුඟ කාලයක් ගත වෙලා නෑ මිත්‍රවරුණි. හැබැයි මේකට ලැබුන විසඳුමකුත් නෑ. ගැටළුවේ වර්තමානය ගැන රට තුල ඇති හඩ නිහඩ වෙලා හෝ නිහඩ කරලා!

උන් ජන්දය විතරක් දිනුවා! මහජනතාව තවමත් පරදිනවා!

ලංකාවේ අලි මිනිස් ගැටුම ඇති කලේම දේශපාලනය විසින්.  වන ජීවීන්ට උරුම වනාන්තර වල එදා ඉඳන්ම මිනිසුන් ව සැලසුමකින් තොරව පදිංචි කරලා නිසි අවශ්‍යතා නොමැතිව කැලේට අතෑරලා දාලා ගොවි ජනපද නිර්මාණය කරනවා යැයි පවසා ජන්ද හිඟා කාපු අතීතයක් ලංකාවේ තියනවා. එහෙව් සමාජයක තමන්ගේ වගාවන් වනසන වන අලියාට ආදරය කරන මේ උතුම් මනුස්සයාගේ කතාන්දරයත් ආදරණීය මිනිසෙකුට ආදරය කරනා වන අලියෙකුගේ කතාවත් එකිනෙකට සමාන්තරව ගලාගෙන යනවා. පොදු සාධකය වන සිරිල් සමාන්තර කතාන්දර දෙකෙහිම දායකත්වය ලබා දෙද්දී රණ්මැණිකාගේ අභාවයත් සමගම නොසිතන පැත්තකට මෙම කතාන්දරය සංවේදී විදියට දිගහැරෙනවා.

රණ්මැණිකා නම් වූ වන ඇතින්න සිරිල්ගේ නිවෙස් අසලට දිනපතා පැමිණ කොමඩු වගාවේ අස්වැන්න ආහාරයට ගැනීමට පුරුදු වෙනවා. බිඳුනු අලි වැට අස්සෙන් පැමිණ සිරිල්ගේ ගෙවත්තේ ඇති තෙත සීතල පැණි කොමඩු ගෙඩි ආහාරයට ගන්නා මේ රන්මැණිකා ඇතින්නියගේ කුංචනාදය සිරිල් කලක පටන් හඳුනනවා. තමන්ගේ නැතිවූ බිරිඳගේ අඩුව මකා ගැනීමට ඔහු මෙම ඇතින්නට ආදරය කරන්නට වෙනවා.

බිදුනු අලි වැට දෙපැත්තේ ඇතින්නිය සහ සිරිල් ඉන්නවා. අදුර වැටිලා තියනවා.  කුංචනාදය කරන ඇතින්නී එක්තරා දවසක කවදාවත් නොඑන ලෙස මහ ඇලේ ගිලී සිරවී මිය යනවා. දෙවන වරටත් සිරිල්ගේ ආදරණීය රන්මැණිකා යන්නම යනවා.

අලි වැටට සම්බන්දව දැනුවත් කිරීම් නිතරම සිදු කරන්නා වූ සිරිල්ලා විසින් කලෙක දැනගන්නේ මේ අලි වැටට අදාලව මහ මුදල් වංචාවක් පිලිබදව ආරංචි වෙනවා. අලි වැට අලුත්වැඩියා කරන්නට රජයෙන් දීපු සල්ලි හොරා කාපු නිලධාරියා ගැන දැනගන්නා සිරිල් නැමති වයෝවෘද්ධ පෙම්වතා ගේ හදවත කීරි ගැහෙනවා.

අලි වැට ගැන වසර ගාණක් නිතරම ජන්ද පොරොන්දු දුන් දෙවිවරු කවදාවත් ආයෙම ගමේ ආවේ නෑ. නිලධාරීන් සහ ගම්වාසීන් අතර ගැටුම් පමණක් ඇති උනා. ප්‍රථිපල රහිත ගැටුම්.

අලි වැට නියමාකාරව ඉදි කර තිබුනේ නම් තමන්ගේ වගාව පාලු කිරීමට පැමිණි සද්ධන්ත ඇතින්නිය නිකරුනේ වගා ඇලේ වැටෙන්නේ නෑ! වසර ගණනාවක් තමාගේ වගාවන් විනාශ වෙන්නෑ. තමන්ගේ සහෝදර ගොවී මහත්තුරුන්ගේ වෙහෙස මහන්සිය දියවිලා යන්නෙ නෑ. කොටින්ම කිව්වොත් මුදල් නියමාකාරයෙන් නොයෙදවීම නිසාම සිදු වුන මහ විනාශයන් වලකා ගන්නම තිබුනා.

වසර ගණනාවක් සිදු කල දැනුවත් කිරීම් වලින් පලක් නොවූ තැන කලකිරුණු සිරිල් අතින් අදාල නිලධාරියාව ඝාතනය වෙද්දී සිරිල්ගේ වයස වසය අවුරුදු 74ක් වූ මහල්ලෙක්.

මහ තැන් වල කවදාවත්  ප්‍රතිපත්තිමය තීන්දු නොමැති කමින්, පහතින් වතුර ගලා යන්නා සේ, මහජනතාව සහ බිම්මට්ටමේ නිලධාරීන් හැමදාම ගැටුනා. වායුසමනය කල මහ පුටු ඇති කාමර වල ගත් තීරණ වලින් බහුතරයක් රටට ගැලපුනේම නෑ. එක් ජීවිතයක් “ඔහු” සිදු කල වරදට නිමාම වෙලා ගියා. මිනී මැරුම් නඩුව යසට කතා කෙරුණා. සිරිල් සිර දඩුවම් විඳින අතරතුර හැත්තෑපස් වියේදි මිය යනවා.  නිසි ප්‍රතිපත්තීන් රටක ඇත්තේ නම් සොරකමට නිසි දඩුවම් ලැබෙනු ඇති. ජීවිත වලට සුභසාධනය ඉටු වනු ඇති. වන සතුන්ට පවා සාධාරණය ඉටු වනු ඇති. නීතිය අතට නොගන්නා පුරවැසියන් බිහිවනු ඇති. සොරකමට අපරාධයට බිය පුරවැසියන් නිර්මාණය වනු ඇති.

මාධව හැමදාම පෙනී ඉන්නේ ආන්න ඒ වෙනුවෙයි මිත්‍රවරුණි.

 

කාලය ‌ගෙවුනා.

මේ වෙද්දි ඒ කතාවට අදාල රූප රාමු සහ සාක්ෂි සහිතව පිටු අටක විද්‍යුත් ලිපියක් කලාකරුවෙක් වන චරිත අතලගේ මහතාට ලැබෙනවා. පින්තූර හැට අටකින් සමන්විත මෙම පිටු අටක කතාන්දරය ඔහු අතින් මෙලෙස ගීතවත් වෙනවා. සංගීතයේ හැඟුම්බර බාවය මනාව කවමින් වචන වලට ජීවය දෙන්න චරිත අතලගේ මහතා ඇතුළු කණ්ඩායම අපූරුවට සමත් වෙනවා.

මේ ඒ ගීතයේ පද පෙල....

 

කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා

උන් රෑ මගෙ තනිකම මකනවා

නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

 

රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා

උඹ කකුලෙන් අදිනවා දැනෙනවා

මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

 

ඒත් අසලින් ඇවිදින් ඉන්නවා

මට ඒ බව ඉඳහිට දැනෙනවා

නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

 

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා

නුඹ කෙනිත්තුවා මට දැනුනා

රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

 

සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා

සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා

පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා

මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා

 

ගේ මැද පාළුයි මතකය පෑරෙයි

යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි

ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා

මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා

 

හතර පෝයට නුඹ සිල් ගන්නවා

උරබන්දිය විස්තර අහනවා

නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

 

වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා

නුඹ මඟහැරලා උන් ඉන්නවා

මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

 

හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා

මම දෑස් වසාගෙන අහනවා

නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

 

වැරදිකාරයෝ මුනිවත රකිනවා

දඬුවම් නැති බව උන් දන්නවා

නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා

 

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා

නුඹ කෙනිත්තුවා මට දැනුනා

රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

 

"ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම...."‍

පාලි පාඨයෙහි සිංහල අර්ථය : මේ මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කරනු ලැබේ.

 Link to Song -  https://www.youtube.com/watch?v=2D83YdOKM_E

 

ඉතිං මේ දුක්බර කතාන්දරය අවසාන කරන්නට කලියෙන් මාධවගේ අදහස මේ විදියට කියන්නට මාධව කැමතියි.

සිරිල්ලා අදටත් ඇස් කන් නැති ව හිඟන්නන්ව අරංගවිල වැනි පැති වල ජීවත් වෙනවා. ටකරම් ටිකකට ආත්මය පාවා දෙන්නට උන්ට වැඩ සිද්ධ කරන්නට පාලන තන්නත්‍රයන් ලස්සනට ගෙදර වැඩ ටික කරලා තියනවා. හැමදාම දෙවිවරු වගේ උන් ජන්දෙ කාලෙට වැඩලා ලොකු මාලිගා වගේ වාහන වලින් බැහැලා බඩේ බත් නැති සිරිල්ලාව අන්දනවා. හිත් පිත් නැති කාළකණ්නි. සිරිල්ලා හැමදාම රැවටෙනවා. සිරිල් වැනි උන්ගේ ජන්දයෙන් ගොඩ යන උන් ආයෙම ඊලග ජන්දයට වෙන තෙක් ගමට එන්නෑ!

හැබැයි දැන් සේරම වෙනස් වේගන යන බව මාධවට දැනෙනවා.

නාකි සිරිල්ලා ඒකා දෙන්නා ඉක්මණින් මිය පරලොව යාවි. උන්ගේ ජන්දයට වලංගු බවක් තවදුරටත් නැති වේවි. තරුණයින්ගේ කර මතින් අලුත් රටක් ඉක්මණින් බිහි වන්නට නියමිතයි.

අවශ්‍ය ප්‍රතිපත්තීන් එදාට වත් හැදුනොත්,

    "   සිරිල්ලාව, රංමැණිකලාව තවදුරටත් අන්දන්න

        රස්සාවට, ටකරමට, කක්කුස්සි පෝච්චියට, සමෘද්ධියට ආත්මය විකුණන්න

        රණ්මැණිකා වගේ වන සතුන්‌ගේ ජීවිත ද වනසන්න "

                                                                                             බැරිවෙයි මිත්‍රවරුණි!

මාධව දැඩිව ඒ හීනය දකිනවා.............

2023 මාධවගේ ප්‍රාර්ථනාව ආන්න ඒකයි.................

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ටිල්වින් සිල්වා තරුණයාට ජයවේවා

    ReplyDelete
  2. 'තරුණයින්ගේ කර මතින් අලුත් රටක් ඉක්මණින් බිහි වන්නට නියමිතයි.'

    ඔබතුමා නාමල් රාජපක්ෂ මැතිතුමා ගේ මාධ්‍ය එකකයේද වැඩ කරන්නේ

    ReplyDelete
  3. ඒ වගේ එකෙක් ගාව වැඩ කිරීමට සිදු වීම පාපයක්!

    ReplyDelete
Previous Post Next Post

Contact Form