ගම්පොල යකඩ පාලම ළග හැමදාම එකේක මිනිස්සු පිරිලා! ඒ මිනිස්සු විවිධාකරයි. ඒ අස්සෙ එක දවසක එක මිනිසෙක් මාධවගේ ඇහැට අහුවෙනවා. ඒ දවසේ මාධව දිහා බලපු ඒ මෝඩ තකතීරු මිනිහා පාලමින් බිමට පනිනවා. වේලාව රෑ වෙලා. ගණ අඳුර!
ගල්ගැහුණු මාධව පාලමේ ඇන්දෙන් එබිලා බලනවා.මෙලෝ යකෙක්ට නොපෙනන අපාය වගේ ගැඹුරට පහල පේනවා. මහ සද්දෙන් ගඟ ගලනවා. වටපිට බලපු මාධව මොකෙක්වත් නැති නිසාම පොලීසියට අහු නොවී ඉන්න කියලා බස් නැවතුම දිහාවට දුවනවා. ගම් පලාත කරා යන බස් එකට නගිද්දි මාධවට හොඳටම උණ.
අඳුර මැද්දෙන් මේ බසය ගම් පියස කරා ඇඳුනා. බසයෙන් බැහැපු මාධව අසිහියෙන් වගේ ගෙදර ආවා. තමන්ගේ ඉස්සරහම පාලමෙන් පැන්න ඒ කාළකණ්නියාගේ සන්සුන් මූන අමතක වෙලා යන්න කියලා ඇඳට වැටිලා කොට්ටට මූන ඔබා ගත්තා. දිවි නසා ගන්නේ කාළකණ්නියෝ!
කොට්ටෙට බෙල්ල හිරවෙලා වේදනාවෙන් ඇහැරෙද්දි මාධව කාර්යාලයේ තමන්ගේ අසුන උඩ ඉදගෙන උන්නා. දහඩියෙන් මූන පෙඟිලා.
වෙලාව බැලුවම හතට මිනිත්තු දහයක් ඉතුරුයි. හයයි පනහයි..
කඩිනමින් පියවර මැන්න මාධව කාර්යාලයෙන් බැහැරට පියමැන්නේ ගමට යන්න තියන අවසාන බස් වලින් එකක් අල්ලාගන්න. වැස්ස වැහැලා පාර තෙතයි. ලිස්සන සුලු පාරේ මාධව ඉදිරියට ඇදුනා. පිණි වැටිලා තිබුනා. කෙමෙන් කෙමෙන් ගම්පොල පරණ පාලම ගාවට මාධව ලං වුනා. පාරේ කවුරුත් නෑ. ඈතින් පාලම මැද්දට වෙන්න එකම එක මිනිසෙක් ඉඳගෙන උන්නා.
එතකොටම කවුදෝ කාන්තාවක් දුවගෙන මාධවගේ
ඇඟේ ගෑවීගෙන පහුකරගෙන ගිහින් අර මිනිසා ළගට ඇදුනා. මාධව දිහා එක පාරක් බැලූ ඒ දෙන්නා අත් පටලාගෙන
පාලමේ ඇන්දට නැගෙද්දී මාධව ඒ දිහාට දුවන්න පටන් අරගෙන ඉවරයි. උන් පහලට පනින්න කලින්
ආපහු මාධව දිහා බැලුවා. නිවුන්නු?
මාධව ඒම හිතද්දිම උන් දෙන්නා පාලමෙන් පහලට පැන්නා.
වේලාව රෑ හතත් පහුවෙලා. ගණ අඳුර!
ගල්ගැහුණු මාධව පාලමේ ඇන්දෙන් එබිලා බලනවා. මෙලෝ යකෙක් නොපෙනන අපාය වගේ ගැඹුරට පහල පේනවා. ගග මහ සද්දෙන් ගලනවා!
කලින් පාර මිනිහෙක්! මෙදා පාර මිනිහෙක් එක්ක ගෑනියෙකුත්. උන්ගේ මූනවල් මාධවට මතක තිබුනත් හුරුපුරුදු බවකුත් දැනුනත් වෙනත් දෙයකුත් ඇතිදැයි මාධවට දැනුනා! මොක්කුද මුං! මෙදා පාර මාධව භය උනේ නෑ. කවුද මුං හොල්මන් කරන්නේ මේ පාලම මත්තේම. මාධව එන වෙලාවටම. ඒම කියලා මාධව හැරෙද්දිම මෙන්න මිනිහගෙ සහ කාන්තාවගේ වගේම සමාන මූන තියෙන පොඩි එකෙක් මාධව ඉස්සරහම!
අම්මයි අප්පච්චිවයි ගඟට තල්ලු කරා නේද?
තැතිගත්තු මාධව දුවන්න ගත්තා. ඈතින් ආව ගම්පියස කරා ඇදෙන බසය අල්ලාගත්තා.
අඳුර මැද්දෙන් මේ බසය ගම් පියස කරා ඇඳුනා. බසයෙන් බැහැපු මාධව අසිහියෙන් වගේ ගෙදර ආවා. තමන්ගේ ඉස්සරහම පාලමෙන් පැන්න ඒ කාළකණ්නියාගේ සන්සුන් මූන අමතක වෙලා යන්න කියලා ඇඳට වැටිලා කොට්ටට මූන ඔබා ගත්තා.
කොට්ටෙට බෙල්ල හිරවෙලා ඇහැරෙද්දි මාධව කාර්යාලයේ තමන්ගේ අසුන උඩ ඉදගෙන උන්නා. දහඩියෙන් මූන පෙඟිලා.
හිසේ රුදාවත් එක්ක ඇහැරුණ මාධව තමන්ගේ පරිගණකයේ වෙලාව බැලුවා. හුරුපුරුදු වෙලාවක්?
හතට මිනිත්තු දහයක් ඉතුරුයි. හයයි පනහයි..
පරිගණකය නිවා දැමූ මාධව කාර්යාලයෙන් පිටවුනා.
කඩිනමින් පියවර මැන්න මාධව කාර්යාලයෙන් පියමැන්නේ ගමට යන්න තියන අවසාන බස් වලින් එකක් අල්ලාගන්න. වැස්ස වැහැලා පාර තෙතයි. ලිස්සන සුලු පාරේ මාධව ඉදිරියට ඇදුනා. පිණි වැටිලා තිබුනා. කෙමෙන් කෙමෙන් ගම්පොල පරණ පාලම ගාවට මාධව ලං වුනා. පාරේ කවුරුත් නෑ.
මාධව පාලමට පියවර තිබ්බා විතරයි ඈතින් යුවලක් හිටගෙන ඉන්නවා. හුරුපුරුදු යුවලක්. ඔවුන් මාධව දෙස බලා ඉන්න බව පෙනුනා. මාධව ඔවුන්ට හිනා උනා. ඔවුන් හිනා උනා. එවිටම වයස අවුරුදු දහයක පමණ පුංචි කොලු පැටියෙක් මාධවට පිටිපස්සෙන් කොහේදෝ ඉදන් ඇවිල්ලා මාධව ව පහුකරගෙන අර යුවල දිහාට දුවගෙන ගියා. පාරේ තිබුන යමක් පෑගුන කොලුවා ලිස්සා වැටෙද්දි මාධව ඒ දිහාට දිව්වෙ පොඩි උන්දැට උදව් කරන්න.
ඊට කලින් මව්පිය යුවල ඉස්සර උනා. ඔවුන් දාරක ප්‍රේමය උතුරන මුහුණු වලින් දරුවා වඩා ගත්තා. හුරතල් වෙන දරුවත් වඩාගෙන පාලමේ ඇන්දට ගොඩ උන ඔවුන්ගෙන් පිරිමියා දරුවාගේ කුඩා දබර ඇඟිල්ල අතින් අල්ලා මාධවට පෙනෙන සේ අහසට ඔසවා තැබුවා. එවිට මාධව දැක්කේ ඒ දරුවාගේ අතේ කැනියුලා එකක් දවටා තිබුබු බව. තවද නහයෙන් බටයක් දමා තිබුන, අර අසාධ්‍ය රෝගීන්ට ආහාර පෙවීමට භාවිතා කරන ආකාරයේ.
එවිටම දුර ඈත අම්බුලුවාව කන්දේ අම්බුලුවාව පසාරු කොටගෙන මහ හෙනයක් වැදුනා. අම්බුලුවාවේ ඉහල කොටස කඩාන සී සී කඩ විසිරුනා. අහස දම්පාටින් බබලන්නට උනා. හෙන හඩ මහ ශබ්දයෙන් ගම්පොල පුරාම පැතිරෙද්දි තුන්පත් රෑන පාලමෙන් පැන්නා. මාධවගේ ඇස් වලින් කඳුලු පැන්නා. කෑ ගහගෙන පාලමේ ඇන්දට බර වුනු මාධව පහල බැලුවා.
මෙලෝ යකෙක් නෙපෙනන අපාය වගේ ගැඹුරට පහල පේනවා.තුන්පත් රෑනේ කිසිම සලකුණක් නෑ. ගඟ ගලන මහ හඩ ඇහෙනවා. ඇන්දට හේත්තු උන මාධව බිම ඉඳගත්තා. කඳුලු වැක්කෙරෙන කම්බුල් ඒහෙම්ම තිබෙද්දි මාධවගේ දෙනෙත් වැසුනා. සාක්කුවෙන් බිමට වැටිල තිබුන මාධවගේ ජංගම දුරකථනයේ වේලාව දිස් උනා.
හතට මිනිත්තු පහක් ඉතුරුයි. හයයි පනස් පහයි.
ඊලඟ අකුණු පහර සැරටම වැදුනා
මාධවට ඇහැරුණා
මාධව කාර්යාලයේ තමන්ගේ අසුන උඩ ඉදගෙන උන්නා. දහඩියෙන් මූන පෙඟිලා.
හිසේ රුදාවත් එක්ක ඇහැරුණ මාධව තමන්ගේ පරිගණකයේ වෙලාව බැලුවා. හුරුපුරුදු වෙලාවක්?
හතට මිනිත්තු දහයක් ඉතුරුයි. හයයි පනහයි..
වෙලාව බැලූ මාධව පරිගණකයේ තිරය දිහා බැලුවම සිතට වේදනා ගෙනෙන කාරණාවක් ඒ මත්තේ පලවෙලා තිබුනා
පිලිකාවකින් පෙලෙන දරුවාට දෙන්න බේත් නැතුව ආයාචනා කරන අම්මෙක් සහ තාත්තෙක්ගේ අසරණ ආයාචනාවක්.
ඒ් ආයාචනාව ෂෙයා කරන අපේ රම්‍ය බූමියේ ඇත්තියක් ඒ දරුවට බුදු සරණ දෙවි පිහිට සහ අනෙකුත් කෙහෙම්මල් ප්‍රාර්ථනා කරලා තිබ්බ. අම්මගෙ රෙද්ද සරණ!
බෙහෙත් නැතිව වේලෙන රටක අසරණ වෙන දෙමාපියෝ ගැන මාධවට මාර දුකක් දැනුන. ඒ අස්සෙ ඇයි උඹලා ළමයි හදන්නැත්තෙ කියලා මාධවගෙන් අහන උන්ට මාධව දෙන සුපුරුදු උත්තරේ ආයෙම මතක් උනා!
"මේක ළමයෙකුට තියා තිරිසනෙකුට වත් ජීවත් වෙන්න සුදුසු රටක් නෙමෙයි මිත්‍රයා"
එම හිතපු මාධව ඊළගට දැක්කෙ අපුල දනවන ප්‍රවෘත්තියක්!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සෞඛ්‍ය රක්ෂණය 200% කින් ඉහලට
කාර්යාලයෙන් බැහැර උන මාධව පුරුදු පාරේ ඉස්සරහට ඇදුනා.
කලකිරීම ඔහුගේ හිත පුරාවටම පුපුරු ගහමින් තිවුන!
පාලම කරා ඇවිද ගිය මාධව නැමති කාළකණ්නියා පාලමේ යකඩ ඇන්දට ගොඩ උනා...............................!
ඒ හවස හතට මිනිත්තු පහකට පෙර!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
පසු කතාන්දරය - අර්බුධය කඩතුරාවෙන්
වැඩී ඇත. මිනිසුන් අර්බුධයට හුරු වෙමින් ඇත. අර්බුධය විසදී නොමැත!!!
ජේවීපී එක භීෂණ සමයේ බස්, ෆැක්ටරි ගිනි තියලා මිනි මරලා මේ රට විනාශ කරේ නැත්තන් අද මේ වගේ නිවුස් අහන්න ලැබෙන්නේ නැහැ මිත්‍රයා.
ReplyDeleteරටට මේ විනාශේ කරේ ජෙවිපේ සහ පෙරටුගාමී.
ඔබේ අදහස ගැන ස්තූතියි
Deleteනමුත් අසූ අටෙන් පසු දරුණු යුද්ධයක් පවා තිබූ සමයේද නොතිබූ අසහනකාරී තත්වයක් දැන් පවතින්නේ ජෙප්පෝ සහ පෙරෙට්ටෝ නිසා යැයි පැවසීම අමූලික අඥාන කතාන්දරයක්!
ක්‍රමයේ වැරැද්ද අපි විසින් දැකිය යුතු සේම එය නිවැරදි කල යුතු වන්නේද අපිමයි!
ලංකාව නැති කලේ දේශපාලකයෝ, එත් චන්ද දායකයොත් වගකියන්න ඕනේ.
ReplyDeleteඅනිවාර්යයෙන්ම මේ වින්නැහියට පාර්ශවයක් වශයෙන් ජන්දදායකයා වග කිව යුතුයි!
Deleteහත්වලාමෙ වෙච්ච දේට මක් කරන්නද!!!
ReplyDeleteහත්වලාමේ නෙමෙයි හැත්තෑ අවුරුද්දක් තිස්සේ උන දෙයක්!
Delete