තරු වියන යට හිඳ


ඈත අහසේ මහ වලහා තරු රටාව තියනවා..

ඒක පෙන්නලා මාධව එයාට කියනවා..

"ආන් ඒයි මහ වලහා"

ඈ මුහුණ නොරොක් කරගෙන මාධව දිහා බලනව.

ඔයාගෙ දැනුමෙන් මට වැඩක් නෑ. පණ්ඩිත කමෙන් මට එක මාත්‍රයක් එපා.. ඔයාගෙ හැඟීමයි මට වටින්නේ. ඔයාවයි වටින්නේ......

ඒක අලංකාර හැන්දෑවක්. ප්‍රේමය අසලින් හිඳ හෙමින් හෙමින් මිනිත්තුවකට එකක් බැගින් අඩි තියන්නට අකමැති කවුද? 

අත් අල්ලාගෙන ඇවිදින්න අකමැති කවුද?

නිහඬව ඇස් වල ගිලී මියෙන්න අකමැති කවුද? 

මහනුවර නගරයට රාත්‍රිය කියන්නෙ වෙනමම අත්දැකීමක්.ඒක ගිහින්ම ලබන්න ඕනි දෙයක් මිත්‍රවරුණි.

මහ රෑක හඳ නැති දවසක තරු එලිය යටින් ඇවිදන් යන්න පුලුවන් උනාම....

ඒක අපූරුයි.

වචනය වලට අකුරු වලට කියන්න බැරි සීමාවකටත් එහායින් ඒ අපූරුකම, සුන්දරත්වය තියෙන්නෙ....

හඳත් එක්ක අත් අල්ලාගෙන දුර ඈතක යන්නට පෙර මාධවට කතා කරන තාරුකාවි මාධවගේ අත් අල්ලාගෙන මහනුවර සක්මනේ යෙදෙනවා..

ඒ වගේ රැයක් තවත් නං තිබිලා නෑ මිත්‍රවරුණි.  

හැමෝම සඳට ආදරේ නෑ..
අමාවකට ආදරේ කරන ඈයොත් ඉන්නවා...

ඒ අමාවක අහස යට මහනුවර වැව් තලාවේ රල දඟලන හඬ අහගෙන නිහඬව මාධවත් ඇයත් වැව් දියරැල් ගණන් කරපු ආදරණීයම රැයේ කතාව.............
....................................................................................................................

ඒ කෙටි පණිවුඩය එද්දි මාධව උන්නෙ බස් එකේ.. පණිවුඩය දැක්ක ගමන් මාධව තමන් යමින් උන්නු බස් එකෙන් බැස්ස.. පාර අනික් පැත්තට මාරු වෙලා මහනුවර යන බස් එකට නැග්ග.

ඒ පණිවුඩය කෙටියි..
"අද එනව නේද මාත් එක්ක ඇවිදින්න යන්න.."

හුගක් කාලයක් මාධව බලාගෙන උන්නු පණිවුඩයක්, අවුරුදු ගාණක් බලන් ඉදලා ඉදලා ලැබුනම හිත ආනන්දයෙන් පුපුරු ගහනව මිත්‍රවරුණි. පුදුමය දනවනවා. බලාපොරොත්තු එකතු කරනවා. ඒවා අලුත් කරනවා. පුංචි පහේ දුකකුත් එකතු වෙනවා.

අමුතුයි.

"හෙටත් එන්න.. ඊට කලින් අද අනිවාර්යයෙන්ම එන්න.."

ආයෙත් පණිවුඩයක් ලැබුනා..

මාධව එතකොටත්, දෙවෙනි පණිවුඩය ලැබෙද්දිත් මහනුවර නම් වු ප්‍රේමණීය රමණීය නගරෙ පැත්තට ඇදෙන බස් එහෙක කවුලුවක් අසල ඉදන් අතීතය ස්මරණය කරනවා. එහෙව් සමයක්. සැහල්ලුවක්.

කොහේටද එන්න ඕනි....
මාධව ඇහුවම හැරෙන වහාම උත්තර ආවා...

මං කැමතිම තැනට.....

බස් එකෙන් බැස්ස මාධව මාරකැට්ටුව මැද්දෙන් ගිහින් මහනුවර වැව් රවුමේ මහ ගස් පේලිය යට බංකුවේ ගිහින් හිඳ ගත්තා. ඈතින් මාලිගාවයි, වැව මැද දූවයි පේනවා.

වෙලාව හවස පහයි තිස් හතරයි.
අමුත්තී තාම නෑ..

කාලෙකට ඉස්සර හිතේ අරක් ගෙන උන්නු අමුත්තියක් නොවුනු අමුත්තිය තවමත් නෑ.....

මාධව ඈ එනකම් මඟ බලන්න කල් මැරුවේ නෑ. ඒ වෙනුවට දිය රල පෙල දෙස බලාන උන්නා. සුලඟ ඇවිල්ලා හිටං මාධවගේ මූනේ දැවටුනා. හරියට එක දවසක වගේම...

මේ වගේම, මේ බංකුවේ ඉඳන් උන්නු දා වගේම...

හුලඟ වෙනස් වෙලා නෑ.. නුවර ආධ්‍යාත්මයේ කිසිම වෙනසක් නෑ. ඒත් මාධවත් ඇයත් හුගක් වෙනස් වෙලා. මාධව හිතුවා.

ලඟින් එයා ඉඳගෙන ඉන්න බවවත් මාධවට දැනුනෙ නෑ. ඒ තරම්ම සමවැදිලා උන්නු අතීතයේ සිතුම් බලවත් මිත්‍රවරුණි. 

එයා ඇවිත් මාධව අසලින්ම වාඩි වෙලා. අවුරුදු හතකට පස්සෙ... ආයෙමත්, එදා වාගෙම, ඒ වාගේම හවසක, ඒ වාගේම හැඟුම් එක්ක. වෙනස මාධවත් ඇයත් අවුරුදු හතක් නාකි වෙලා. එච්චරයි!

හිත ගැහෙනවා විතරයි. වදන් ගොලු වෙලා මිත්‍රවරුණි. ඇය ඇත්තටම ඇවිල්ලා.

මේං........... මෙතන.. මේම හිඳගෙන. කකුල් පද්ද පද්ද...

....................................................................................................................

"ඔයා ඇවිල්ලා"  මාධව එහෙම කිව්වම එයා හිනා උනා...එදා හවස වගේ නම් නෙමෙයි. ඒ සන්ධ්‍යාවේ තිබුනේ කඳුලු විතරයි. සමුගැනීමේ දුක විතරයි. ආයාසයෙන් මවාගත්තු සිනාපොදවල්  ඉඳහිට මතූ උනත්, අත් නොහැර අල්ලන් උන්නු අතැඟිලි සහ රතු වෙලා තිබුනු ඒ නෙත් වල කතාව වෙනස්ම එකක් උනා මිත්‍රවරුණි. ප්‍රභල මිත්‍රත්වයේ පතුලේ තිවුන ප්‍රේමය ප්‍රකාශ නොවී විසිර යෑම අසම්පූර්ණ දෙයක් උනා. ඒත් එහි බලාපොරොත්තු තිබිලා තියනවා. එයාගෙත් මාධවගේත් හිත් වල.

අද කතාව වෙනස්. ඇය දීප්තිමත්ව ඉන්නවා. කොන්ඩෙ කඩලා දාලා ඉන්නවා. කොන්ඩෙ මැද්දෑවට කොන්ඩ කටුවක් ගහලා. ඉස්සර කොන්ඩ මෝස්තරේමයි. එදාට වඩා සුදු වෙලා.පැහැපත් වෙලා. හිනාව නම් ඒකමයි. ඇත්ත නෙව,

කාලයකට ඉහතදී එයාට හුගාක්ම ප්‍රිය කරපු පිස්සු මාධව එක්ක.

මාධව නැගිට්ටා. ඉස්සරහට ඇවිදලා පඩිපෙල බැහැලා ගිහින්  දළදාවේ කිරි පාට වැව් බැම්මට බර වෙලා වැට අල්ලගත්තා. ඔහුට අවශ්‍ය උනා උගුරේ හිර වෙලා තිවුන ගුලියක්වගේ දැනෙන ඒ කියාගන්න බැරි දේ අමුතු දේ ගිලගන්න.

හරි අපූරුවට ඒ ගිලුම ඇදිලා ගිහින් ස්වාස නාලෙන් පෙනහලු වලට ඇතුලු වෙලා රුධිරයට කලවම් වෙලා ආපහු තිබුන තැනම තැන්පත් උනා. ඒ කියන්නෙ හදවත ඇතුලේ.

"ගොනා!"

එදා ගිලගත්තා වගේම අදත් අපූරුවට ගිලගත්තේ ඔය. මාධවට හිතුනා.

ආපහු හැරිලා බලද්දි එයා ඒ විදියටම බලන් ඉන්නවා. පුදුම නිවුන හැඟීමක් දෙන්නෙ මොකද මේ වගේ මුහුණකින්.
මාධව දැකපු, ආලේ කරපු කෙල්ලොන්ගෙන් මේ වගේ නිවුන සන්සුන්, හැඟුම්බර චාම් මූනක් මාධවට ආස්සරේ කරන්න හම්බුනාමයි. ඒකමයි දරාගන්න අපහසුත්.

කල්පයක් උනත් බලන් ඉන්නවානම් ඇසිපිය නොගහා බලන් ඉන්න පුලුවන් මුහුණක්. සිත්තමක් වගේ.

මාධව හිනා උනා..
ටයි ගැටය බුරුල් කරගත්තා. ඊට පස්සෙ අත් දෙක නවාගත්තා.. වැලමිටට ටිකක් පහලට වෙන්නට.

ඇයට අත දික් කලාම ඒ දිහා බලන් ඉඳපු ඈ ඇවිල්ල ඒ අතින් අල්ලගත්තා......

එදා වගේමයි අදත්, මාධවට දැනුනා. වසර හතකට පස්සෙත් ඒ ස්පර්ශයේ මතකය මාධව ලඟ තිවුනා..උණුසුම තියනවා. නොවෙනස්ව.

"පැනල යමුද?"

ඒ වචනෙ මාධවගෙන් එලියට ආවෙ නෑ.. හිතෙන් ඇහුනා. ඒත් ඒක එයාට ඇහුන වගේ මාධව දිහා බලපුවම මාධව තමන්ගෙ දකුණතේ දබරඇගිල්ල  එයාගෙ කම්බුලට තියලා ඒ මූන හැරෙව්වා මාධවගෙන් ඉවතට. 

"ඔහොම බලන්නෙපා මනුස්සයෝ"

එයා හිනා උනා. ඒ හිනාව නැමති ගීතයට සංගීතය එකතුකලේ වැව් රල නඟන හඬ විතරයි. අඳුර වැටීගෙන එන මොහොතෙ අවට කලුවර වෙනවා. මාධවත් ඈත් ඉස්සරහට ඇදෙනවා. කතා නෑ.

දෙන්නාම කතා නැතුව වැව රවුමෙන් ඇවිදගෙන මල්වත්ත විහාරය පහු කරලා තව ඉස්සරහට ආවා.. ඒ එද්දි හම්බෙන පලවෙනි බංකුවේ හිඳ ගත්තා. 

හෙට සේරම ලෑස්තිද.?

මාධව ඇහැව්වම ඒ හඬ අවදි උනා.

 "ඒව හෙට දේවල්. මම ආවේ අද ජීවත් වෙලා යන්න"

මද හිනාව ආයෙම මතු උනා.. එන්න මාත් එක්ක ගමනක් යන්න. එයා මාධවගේ අතින් ඇදගෙන ඉස්සරහට දුවගෙන වාගේ ඇවිදන් ගියා.. ‍ටික දුරක් ඔය විදියට මහනුවර වැව රවුම වටේ පාරේ පදික වේදිකාවේ ඇවිදගෙන ගියාම වැව හරහා දාල තියන පාලම් කෑල්ල හම්බෙනව. ඒක උඩට එයා කඩිනමින් දුවගෙන පඩි ටික බැහැගෙන යද්දි මාධවගේ අත අතෑරුනා.

දුවගෙන ගිහින් ඈ පාලම මැද නතර උනා. මාධවට පිටුපාලා ඉදපු ඈ මාධව දිහාට හැරුන.

අපූරුයි නෙව, කොන්ඩෙ හුලඟට දඟ කරනවා. එයා මද සිනා පානවා. ඒ පාලම දෙපැත්තේම සුදු මල් පිපිලා.

ඒ මල් මැද්දෙ ඉන්න මල් කුමාරි ඔයා..

මාධව ඇත්තටම ඒක එයාට කිව්ව.

"ඔයා තමා මෙතන මල් කුමාරි"

ඒ මොහොතෙ ඇය පුදුමයට පත් උනා. මාධව ඇවිදින් ඇවිල්ල පාලමේ වැටට බර වෙලා ඈත මාලිඟාවේ එලිය දිහා බලාන ඉද්දි එයත් මාධව ලඟට ඇවිල්ල මාධවගේ වම් අතේ බාහුවට ඇගේ බාහුව තියන විදියට හේත්තු උනා..

එයාගෙ කෙහෙ රැලි නටනවා..ඉස්සර වගේ කොන්ඩ කට්ට ගලෝල අරගෙන වීසි කරන්න හිතුනා. එතකොට තමා මතක් උනේ කෙහෙම්මල් වැල් පටවල් පැටලුනු සපත්තු දෙක. ඒක මතක් වෙලා කකුල් දිහා බලපුවම ඈ වික්ශිප්ත උනා.

කොහෙද ඔය බලන්නෙ....
එයා ඇදන් උන්නු සාය මදක් කොටයි වගේ නෙව. දනිස්ස දිහා බැලුවා කියලා හිතන්නැති..

මාධව කෙල්ලොන්ගෙ දනිස් වලට ආසයි කියලා ඈ දන්නවා.

ඔයාගෙ අර වැල් පටවල් දෙක කෝ.....?

මාධව ඇහුවම එයා හිනා උනා. අපූරුයි අප්ප..ලෝබයි. අදුර වැටෙද්දි උනත් ඒ හිනාව මැවිල පේනව..

ඒ කාලේ ඒ වැල් පටවල් වලට අදාලව වෙනමම කියන්ට කතාන්දර ගොඩාක් තියනවා නෙව.....

ඒක ඒ කාලෙන් පස්සෙ ආයෙ දැම්මෙ නෑ. එයා කිව්වම මාධවට මතක් උනේ ඇයට විහිලු කල අයුරු නෙව. වැල් පටවල්.

ඇය සෙරෙප්පු ගලෝලා පසෙකින් තියලා පාලමේ බිම හිඳගත්තා. ඒ පුන්චි දෙපා දියේ යන්තමින් ගෑවෙන සේ පද්දන්න උනා. ඒ කරලා බෙල්ල හරවලා ඉහල බැලුවා..

මෙතනින් ඉඳගන්නවකෝ.... අතින් අණ දෙන ගමන්ම ඕන්..

මාධව එයාගෙ සපත්තු ගලවලා දාලා කකුල් වැව් දියේ ගිලෙන්නම දීලා පාලමේ හිඳගත්තා.

ඈත හරි ලස්සනයි. එයා කියවනව. මගේ හිත හදාගන්න හුගක් මට පිහිට උනේ මාලිඟාව. අදත් මට එන්න ඕනි උනේ එතනට. ඔයා තාමත් මාව දන්නවා නේද? ඒකනේ මෙතනටම ආවේ. මම වෙන දිහාක යයි කියලා නොසිතා බලන් උන්නෙ..

එයා කියවද්දි මාධව අහන් උන්නා විතරයි. උගුරට හැගුම්ගුලි එනවා යනවා හෙමීට ගිලගන්නවා..

එයා එකින් එක කියද්දි මාධවට අතීතය මතක් උනා. කෙටි පණිවුඩයක් යවන්න ජංගම දුරකතනය අතට ගද්දිම එයාගෙන් මැසේජ් එකක් ආව හැටි, ලෙක්චර කෙනෙක් එයාගෙ සුරතල් පූස් පැටව් ගැන කියද්දි මාධවගෙත් ඇගේත් ඇස් එකට ගැටිලා හිනාවෙන් පිරෙන හැටි. තව සමානාත්මතාවය පිරුණු අවස්ථාවන් හුගක් මාධවට මතක් උනා.

ඒත් ඒවා ජීවිතේ ජය ගන්න උදව්වක් නෑ නෙව. 

ඇය මාධවට වඩා හුගක් මිටියි. ඒත් ඉදගත්තාම දෙන්නගෙම උරහිස් එක මට්ටමේ වගේ තිබුනා. එකිනෙකාගේ අතැඟිලි වලට එකිනෙකාව අල්ලාගෙන ඉන්නට දැඩි උවමනාව තිබුනා.

එය එසේම සිදු උනා. මාධව ඇගේ ඇඟිලි අතර සෙමෙන් තමාගේ අතැඟිලි පටලෝගත්තා.

ඔවුන්ට පිටුපසින් මහ පාරේ මෝටර් රථ වාහන වල යන අයට පෙනුනේ පෙම්වතුන් දෙදෙනෙක් සන්ධ්‍යාවේ මාලිගාව දිහා බලන් ඉන්න සිතුවමක් විතරයි. ඇතුලාන්තයේ කතාන්දරය කිසිවෙක් දන්නෑ.

දැනගන්න එහෙකුත් නෑ.

එක් වරම වැසි පොදක් ඇද හැලුන. ඔවුන් දෙදෙනාම නැගිට්ටා. 
හුලඟට අවුල් උන ඇගේ කෙහෙ රැලි නලලට ඇලිලා.. තෙත බරියම් නොවුනද තෙමුණු ඔවුන් දෙන්නා පාලම මත සිටගෙන එකිනෙකා දිහා බලමින් විමසනවා...

මොකද දැන් කරන්නේ? යනවද?

උත්තර නොදුන් මාධව එයාගෙ උරහිස් වලින් අල්ලාගෙන ඇයව මාධවට පිටුපා සිටින සේ හැරෙව්වා.. ඇය හැරුනා..
ඉක්බිති ඕනෙ එකක් කියලා මාධව එයාගෙ කොන්ඩ කට්ට ගලෝගත්තා. එයා ඒකට ඉඩ දුන්නා. එදා වාගේම. ඈ බිම බලාන උන්නා. හැබැයි මාධව, එහෙම කරන මොහොතේ ඈගේ නෙත් බැබලුනා. මාධව වැව් දිය පිස හමන සුලඟට නටනා ඇගේ  කෙහෙරැලි දිහා ආසාවෙන් ආදරෙන් බලාන උන්නා.  

හැබැයි එදා වාගේ මාධව ඒ ගලවාගත් කොන්ඩ කට්ට වීසි කලේ නම් නෑ. තමන්ගෙ දෙතොලින් එයාගෙ කොන්ඩ කටුව රඳවාගත් මාධව එයාගෙ සියුම් කෙස් වැටිය හරිම පරෙස්සමින් එක්කාසු කලා. විසිරුණු කෙහෙරැලි සියල්ල මල් පෙති එකතු කරනවා වාගේ  එක්කාසු කරලා යලි අවුල් නොවන සේ එකට කලා. 

මහනුවර වැවෙන්ම නෙලුම් මල් නෙලාගෙන ප්‍රවේසමට මල් පොකුරක් හදනවා වාගේ. නොරිදෙන්න, නොතැලෙන්න,

කොන්ඩ කටුව  අරන් කොණ්ඩෙට ගැහුවා.. දැන් හරි. පිලිවෙලයි.

ජීවිතේ පලවෙනි පාරට මාධව ඇගේ කොණ්ඩ කට්ටෙන් ඇගේ කොණ්ඩය පිලිවෙලක් කලා. එහි තිබුනා ආදරය, ආරක්ශාව සහ ඇය ගැන සැලකිලිමත්වන බව.

එදා මෙන් සෙල්ලක්කාරකම, කවටකම වෙනුවට අද තිබුනේ සෙනෙහස, ආදරය, ආරක්ශාව, සැලකිලිමත් වන බව...

මිත්‍රවරුණි. ඒ කොණ්ඩ කටුව දෙතොලේ රඳවාගත් මොහොතේ මාධවට ඇගේ පෙරමෝනය හෙවත් ස්ත්‍රී සුවඳ දැනුනා. කාන්තාවකගේ පෙරමෝනය හෙවත් ආකර්ශණීය සුවඳ හටගන්නේ ඇගේ කෙහෙ රැලි තුල. එය විද්‍යාත්මකව තහවුරු වූ දෙයක්.

අද වැනි දිනක කිසි විටක නොකල යුතු දෙයක් සිදුකල මාධව අයෙමත් උගුරේ හැඟුම් ගුලියක් හිරකරගත්තා. එදා දැනුනු සුවඳ කොන්ඩ කට්ටේ තිබුනා. ඒක නම් අපූරුයි. ඇයව අතාරින්නට බැරි කම ඒ සුවඳට ප්‍රිය කරන මාධවගේ හිත තදින් කියා පෑවා..

මේ ජරමර අස්සේ එයාගෙ කම්බුල් වල පැහැය නම් අනිවාර්යයෙන්ම රතු වෙලා ඇති. මාධව හිතුවා. කිසිදාක සිප නොගත් ඒ මෘදු (අනිවාර්යයෙන්ම මෘදුයි. සියුමැලියි.)කම්බුල් නොපෙනෙන එකත් හොඳයි. මාධව හිතුවා.

කොන්ඩෙ පිලිවෙලක් කලාට පස්සෙ මාධව එයා දිහා බැලුවා. එයා මාධව දිහාවට හැරුනා. ඒ ඇස් වල හැඟීම කියවගන්න මාධවට අමාරු නෑ එදත්, අදත් ඒක එහෙම්මයි.

ඒ බැල්ම දරාගන්න මාධවට බැරි උනා.....

ඒකෙන් මිදෙන්න මාර්ගයක් හිතද්දි මාධවට අහස දිහා බැලුනා

ඈත අහසේ මහ වලහාගේ තරු රටාව තියනවා..

ඒක පෙන්නලා මාධව එයාට කියනවා..

ආන් ඒයි මහ වලහා.....

ඈ මුහුණ නොරොක් කරගෙන මාධව දිහා බලනව.

ඔයාගෙ දැනුමෙන් මට වැඩක් නෑ. පණ්ඩිත කමෙන් මට එක මාත්‍රයක් එපා.. ඔයාගෙ හැඟීමයි මට වටින්නේ.ඔයාවයි වටින්නේ......

ඒ ඇස් වල, ඒ නෝක්කඩු බැල්ම කිව්වේ එහෙම කතාවක්. හැමදාම එයා ගාව ඉඳගෙන එයාට එකේක ඒවා කියලා දුන්නු පරිගණක ඇතුලෙ කරණම් ගහපු උගත් කොල්ලාව තවත් ඇයට ඕනෑ නෑ.. 

මෝඩ, බොලඳ, කවටකම් කරන කොල්ලාව තමයි අවශ්‍ය උනේ ඇයට. මාධවට තේරුණා. අදට විතරක් වත්....

මහනුවර තරු වියන යට මාධවත් ඇයත් දෙන්නෙක් විදියට තනි වෙලා උන්නා. 
.....................................................................................................................

හෙට තමා දිනය. එයාගේ ජීවිතේ ලස්සනම දවස!

උදෑසනින්ම පෝරුවක නැගලා මහනුවර කන්ද උඩරට විදියට මනමාලියක් වෙන්න ඉන්න සොඳුරු කෙල්ල මේ. එයාගෙ තනිකඩ ජීවිතේ අවසාන දවසේ එයා කැමතිම විදියට තවත් මොහොතක් විඳගන්න ආයෙම ඇවිල්ලා.

දින කීපෙකට කලින් මාධවට ආව කෙටි පණිවුඩයක් තිබුනා. ඒකෙන් කියවුනේ වෙඩින් එකට කලින් මට ඔයාව හම්බෙන්න ඕනි කියලා වගේ එකක්. මම කියන දවසේ එන්න. මම කියන්නම්....

ආරාධනා පත්‍රය ලැබුනමත් මාධව කල්පනාවට වැටුනා. රාජකාරී පවා මදක් අතපසු උනා කියලා මාධවට හිතුනා. ඇයගේ සතුට මාධව හැමදාම ප්‍රාර්ථනා කලා නෙව. ඒ දිරියවන්ත කමට ගෞරව කලා නෙව.ඉතින් ඇගේ ඒ ප්‍රාර්ථනා එකින් එක ඉටු වෙද්දි, ඇයගෙ හැමදේම හොද මගට එද්දි මාධව උඹ රිංගන්න උවමනා නෑ නෙව ඒ අස්සට.

උඹ කාබාසිනියා කාරයෙක් නෙව...

ඒත් ඇය ඉල්ලන්නේ හමුවීමක් නම්, ඒ ඇගේ සතුට නම් මාධව එය කල යුතුයි.

බලන් ඉදපන්. ඒකත් ආදරයක් තමයි.. අයිති කරගන්නවා කියන්නෙ ආදරය නෙමෙයි..අයිති වෙනවා කියන්නේ වෙන කාරණාවක්.

ඈ දිහා බලපන්. ඈ හරිම සතුටින්...............
.....................................................................................................................

ඔයාට දෙන්න මන් ගාව තියනවා බඩ්ඩ්ක්.

මාධව එහෙම කියලා අතට ගත්ත දේ දැක්කම ඇගේ නෙත් විසල් උනා.

ඒ එදා ඇයගේ සමුගැනීමේ තෑග්ග. ඒ අනර්ඝ තීන්ත පෑන.
ඒදා වගේම අදත් ඒ පෑන අලුත් පෙනුමට තියනවා.ඇය හෙමින් ඒක අතගෑවා ඇගේ ඇඟිලි තුඩගින්. ඇයට හරිම සතුටුයි.

ඔයා මේකෙන් ඔයාගෙ කසාද කොලේ අත්සන් කරන්න. මේක ශක්තිමත් පෑනක් නෙව.

එහෙම කියලා මාධව ඒ පෑන ඇයගේ සුරතට කරලා මිට මෙලෙව්වා..

එදා මාධවට ඈ තිලිණ කල ඒ සමරුව හෙට ඇගේ නව දිවියට මාධවගෙන් තිලිණයක් උනා.

මාධව මද සිනහා පෑව. ඒ තුල තියන හැඟූම් ඈ අදුන ගත්තා..
පහසු නෑ අද සන්ද්‍යාව. හැබැයි සුන්දරයි. 

මාධව ඔහුහේ පාවහන් අතට ගත්තා. ඒ අනුව යමින් ඇයත් ඇගේ සෙරෙප්පු අතට ගත්තා. දෙදෙනාම පාලමෙන් පදික වේදිකාවට ආවා. අත් පැටලිලාම තිවුනා. සත් වසරකට පෙර සන්ධ්‍යාවේ අවසන් පැයේදීත් බැඳී තිබූ ආකාරයෙන්ම.

තරු ඈතට ඈතට පාවෙලා යද්දි මාධවත් ඇයත් තුන් සක් රියකට නැඟලා ආපහු පිටත් වෙන්න තීරණය කලා. මාධවත් ඈත් බොහෝ දුර යා යුතුයි. ඇයට සිය උත්සවයේ පහසුව සඳහා නතර වී උන් තානායම කරා ඇයව ඇරලන්න මාධව එන්නම් කිව්වම ඈ එකඟ උනා.

දෙදෙනාම කතාවකින් තොරව ඇවිදන් එද්දි ආපු දෙවෙනි තුන්සක රියට නැඟුනා. ඉස්සෙල්ලම ආව රථය දෙන්නාම විසින් හිතා මතා අතෑරියා.

ඒකට කියන්නෙ තව මොහොතක් රැඳෙමු කියන එක මිත්‍රවරුණි. කෙසේ යන්නද හැරදා මේ වාගේ රම්‍ය රමණීය ප්‍රේමණීය මොහොතක්.......

වැව රවුමේ රූස්ස ගස් විතරක් එකිනේකාට රහස් කියාගත්තා. මාධවලාගේ සිත් තුල රහස් ලෝකයාට රහසක් වුවද, වාචිකව ප්‍රකාශ නොවුනද, ඔවුන් දෙදෙනාට ඔවුන් නොවුන් ගැන හැඟුම් තවදුරටත් රහසක් උනේ නෑ.

ප්‍රේමය ප්‍රකාශ වී අවසන්........

තුන්සකරියේ පිටුපස උන් යුවලගේ දෑස් තෙමී දිලිසුනා. කඩිමුඩියේ පහුවන සෑම විදුලි පහනකින්ම ඒ කඳුලු ආලෝකවත් උනා. 

ඒ හැන්දෑවේදීත් පෙරදා සන්ද්‍යාවේදී වාගේම මාධවගේ පපුව ඇගේ කඳුලින් තෙමුනා. අතැඟිලි තදින් වෙලුනා. නලලත සිප ගැනුනා.

ඉකිබිඳුම් හඬක් හීනියට ඇසෙන මොහොතක අවට සියල්ල අඳුරු වී යද්දී මාධවගේ නෙත් තදින් පියවුනා.

....................................................................................................................

හිරු රැස් මුහුණට දැනී අවදි උන මාධව උන්නේ නිවසේ යහන මත. සිදු වූවායැයි සිතෙන සියලු දේ ආවර්ජනය වන්නට උන නමුත් මාධව සිතුව්ලි ගොන්නේ අතරමං උනා. හැබෑවක්ද?  සිහිනයක්ද නැතිද මාධවට හිතාගන්න බෑ. වටපිට බැලීමේදී ඇඳ පාමුල මාධව පෙරදා හැඳි කමිසය තිබුනා. මාධව තවමත් හැඳ සිටින්නේ පෙරදා කාර්‍යාලයට හැඳි කලිසමමයි. වැස්සට තෙමුණු කලු කලිසමමයි. 

විශේෂ කරුණකට පෙනීමට තිබුනේ සත්තකින්ම මාධවගේ පපු පෙදෙස තෙමී තිවුන බව. ඒ කෙසේ සිදු වුනිද මාධවට අංශු මාත්‍රයක අදහසක් නෑ. 

ව්‍යාකූල මනසින් මාධව කල්පනා කලා.

ඇත්තටම මාධවත් ඇයත් පෙරදා හමු වූවාද? වැව රවුමේ අත් අල්ලාගෙන පියනැඟීම සැබෑවක්ද?  සිහිනයක්ද? මායාවක්ද?

ඒ සුන්දරම හැන්දෑව සහ වේදනාබර සමුගැනීම ඇත්තටම සිද්ද උනාද?

ජංගම දුරකතනය අතට ගත් මාධව පණිවුඩ පරීක්ශා කලා. එහි ඈ විසින් එවූ කිසිදු පණිවුඩයක් අඩංගු නෑ..

ආරාධනා පත පමණක් තිබුනා.

උදෑසන 10කුත් ගාණකට පෝරුවේ කටයුතු සිදු වන බව එහි සඳහන් වෙලා තිබුනා. 

මාධව කඩිනමින් යහනෙන් බැස සූදානම් උනා.ජීවිතේ අමාරුම මොහොතක් ගෙවාදාන්නට සූදානම් උනා. 

කලු කලිසම, කලු කමිසය, රෝස පාට කර පටිය සහ කලු කෝට් බෑයෙන් සැරසී හෙතෙම මහනුවර කරා යන්නට සූදානම් උනා.

ක්ෂණිකව මතක් උනා මිත්‍රවරුණි මාධවට එක දෙයක්..

"පෑන"

ඇය තිලිණ දුන් සහ මාධව යලි ඈට දුන් රන් බඳැති කලුතීන්ත පෑන.

මාධව හෙමෙන් වෙවුලන දෑතින් අල්මාරියේ ලාච්චුව විවෘත කලා.......

"පෑන.................?

.....................................................................................................................

පසු කතාන්දර -

01 මෙහි ඉතිරිය හෙවත් මංගල උත්සවයට අදාල කතාව ඔබ දැනටමත් කියවා ඇත. තෙප්පිලියාගේ කතාන්දරයට මෙහි කොටසක්මය.

02 කතාව සත්‍යක්ද අසත්‍යක් ද යන්න අදාල නැත. සත්‍ය වන්නේ රචකයාගේ හැඟුම් ය. කියවන්‌නාට දැනෙන දේමය!

03 ජීවිතය පහසු නොවන්නේ බැඳීම් නිසාමය.

04 තෙප්පිලියාගේ කතාව මෙහි තෙවන කොටස වූ නමුදු ඉස්සෙල්ලාම පල කෙරුනේ ආන්න ඒ කතාව වන්නේය.

05 කැමති කියවන ගමන්,  මර්වින් පෙරේරා මහතාගේ "මේ නගරය" ගීතය අහන්නත් පුලුවන්.. 

06 - පෑන...........?


4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. එක හුස්මටම කියෙව්වා ඒක❤️

    ReplyDelete
  2. මෙික මම කියවන්නෙ ඒ වගෙම ආදරයක් මුළුලෝකෙන්ම සමු.අරන් පැය ගානකට පස්සේ .. තැන වෙනස් උනත් මාත් ඉඳිවි එහෙම දවසක් හකම එක පාරක් ආයෙත් එනවනම් විතරක් කියාන...

    ReplyDelete
Previous Post Next Post

Contact Form