කළු අත්තා

 


විජයව මැරුවෙ නන්නාදුනන තුවක්කුකරුවෝ විසින්.

ඒක බැර උනේ ජෙප්පොන්ගේ ගිණුමට. මාධව අහල තියෙන්නෙත් ඒ්මයි.

කාලය ගෙවුන. කාලයත් එක්ක මාර දේවල් හුඟක් සිද්ද උනා.

මේ සිදුවුන කලබගෑනි අස්සෙම ඒ මිනීමරපු වරදට සමාව දුන්නේ චන්ද්‍රිකා. 2004 දි ජෙප්පො එක්කලා සන්ධානය හදල. ඒ් කියන්නෙ බුලත් කොලේ! මලගිය සැමියට වඩා බලය උවමනා උන වෙලාව නෙව! පස්සෙ මාලිගාවට බෝම්බ තියපු උන්ව පක්ෂෙ ලේකම් කෙනෙක් කලෙත් ආන්න එහෙම බලය උවමනා උන නිසා! ඒක නම් චන්ද්‍රිකා නෝනගෙ වැඩක් නෙමෙයි නෙව! කෝම හරි ඒ්කෙන් ජෙප්පොන්ට කෘතීම බලයක් විදියට මාධවට මතක හැටියට ආසන 13ක් වගේ ගාණක් අල්ලගන්න පුලුවන් උනා පාර්ලිමේන්තුවේ.

කෝම උනත් විජයව මැරුවෙ ජපේපො නෙමෙයි කියලා ඊට පස්සෙ කතාව හැදුනා!

ඉතින් ජෙප්පොන්‌ගෙ ඒ අඳුරු අතීතය වල දාලා ඉතිහාසය අමතක කරෝලා නව ආකාරයකට රටේ ඉතිහාසය ලියන්න තවත් අඩිතාලමක් දැම්මේ අපේ මහින්ද මහත්තයා. මොකද එතුමව කරේ තියාන දිව්වෙ දිනෙව්වෙ ජෙප්පො. චන්ද්‍රිකා නෝන අදිමදි කරද්දි ජෙප්පො බර ඇදපු එකට මහින්ද මාත්තයා දුන්නා කලගුණ සලකලා ඇමතිකම්. අනුරයියා ඇතුලු කාණ්ඩයක් ගිහින් කාලයක් ඇමතිකම් කරලා ආවේ ඒම!

දැන් කාලය ගෙවිලා ගිහින් ජෙප්පෝ මහින්ද මහත්තයට දේශපාලනිකව පහර දෙද්දි විජයගෙ ඇටකටුත් නැති මිනී වල ආයෙම හාරන බවයි පෙනී යන්නෙ. ඒ ජෙප්පො ඔලුව උස්සන බව පේන නිසා. ඉතින් තමන්ගෙ අම්මට අප්පටවත් නැති විදියට විජය ගැන පුදුම අනුකම්පාවක් තියෙන්නෙ සමහර මිනිස්සුන්ට.  විජයගෙ බිරින්දෑටත් නැති කැක්කුමක් පෝට්ටු බයියොන්ට තියන බව පේනවා. මාධව ඒම කියන්නේ මූනු පොතේ බයි පුරුක් කීපයක් විසින් විජය ඝාතනය ගැන ලියපු කතාන්දර දැකපු නිසා.

දැක්ක වගේ ලියලා තියෙන්නෙ ආයුබෝවංඩ, හැබැහිං දැක්ක වගේ!

කුණු දේශපාලනේ හැටි ඒමයි. අවශ්‍ය විටදි මලකුණු ගොඩ ගන්නත් මලකුණු වලලන්නත් ලංකාවේ දේශපාලකයෝ හරි දක්ශයි. කාලයක් මාධව කියවලා තියන විදියට චන්ද්‍රිකා නෝනා සූරියකන්ද හාරලා මිනී ගොඩ දැම්මා! යහපාලනේ වාහනේ හැප්පිලා උන්නු තාජුදීන්ව ගොඩ ගත්තා! ඉතිං මලමිනී වල ඕජස් ගදට මුලා වෙලා ඉන්නෙ මහජනතාව. දැන් විජය අදාලම නොවුනට මාධව මාධවටම අදාල කතාවක් කියන්න හිතුනෙ මේ කුණු දේශපාලනය මිනිස්සුන්ට කොච්චර කා වද්දලාද, මිනිස්සු කොච්චර නිර්වින්දනය කරලද කියන්නයි. මාධව කාලෙක ඉඳන් කියන්න හිතුන කතාන්දරයක් මේන්න මේම අකුරු කරන්නෙ ආන් ඒකයි.

විජය දැකලවත් නැති මාධවට විජය මලාට වඩා දුකක් තියනවා ගමේ කලු ආත මැරුණ  එකට. මොකද විජය කරපු දෙයක් මාධව දන්නෙ නෑ. ඒකට හරියන්න ගමේ පිරිතක් හරි කියන්න මූලික උනේ කලු අත්ත. කෝම වෙතත් එක එක්කෙනාට විවිධ කථා කිව්ව හැකි නෙව.

දේශපාලනිකව සහ සමාජයීය වශයෙන් හිරි වැටුනු ස්ත්‍රී සහ පුරුෂ ලිංග වල නියෝජනය ගැන කියන්න. විජය ගැන නෙමෙයි.

මාධවලගේ ගමේ සහ අවට ගම් වල තලත්තෑනි උන්දලගෙන් හැදුන කණ්ඩායමක් උන්නා. සංගීත කණ්ඩායම් වගේම අපූරු කණ්ඩායමක්. උන්දලත් කලේ සංගීත කණ්ඩායම් වගේ මිනිස්සුන්ව පිනවපු එක තමයි. මොකද ඒ්කත් කලාවක්. ඒ් කලාවේ පිකාසෝලා කීපයක්ම මේ අහල පහල ගං වල උන්නා. ඒයින් මූලිකම චරිතෙ තමයි කළු අත්තා!

උන්දැ සහ අනිකුත් උන්දලගෙ සමාගමෙන් කලේ පිරිත් කියන එක. ඒ් ඇත්තෝ ගිහි පිරිත් කණ්ඩායමක්.

ඉතිං මේ කතාව ආන්න ඒ් ඇත්තොන්ගෙ මහ තැන ගැන!

කළු අත්තා ගැන.....................................!!!

මාධව කලු අත්තාව දන්නේ කුඩා කාලයේ සිට! ඒ ඇත්තෝ අඟුරු කැටයකට වඩා කලුයි! කලු අත්තාත් උන්දැගෙ ඇඹේණිත් එක්ක ජීවත් උනේ මැටියෙන් හදපු පුංචි ගෙදරක! ලස්සන කැලෑ කුට්ටියක මේ කියන ගෙදර පිහිටලා තිබුනා! අත්තා ඔහුගේ දරුවොත් එක්ක ජීවත් උනේ මේ ගෙදර! දරුවෝ කියලා මහ ගොඩක් නෑ! ඉන්දික කියලා කොල්ලෙක් උන්නා! තව කෙල්ලො දෙන්නෙකුත් උන්නා! ඒච්චරයි!

ගමේ වයසක ඇත්තෙක්ගේ අසනීපෙකදි, බවලත් ඇත්තියකට දරුවෙක් ලැබෙන්න ඉද්දි, පිරිතක් කියන්නට ගමේ විතරක් නෙමෙයි අහල ගම්මාන වලදීද මේ කලු අත්තට ආරාධනා ආවා! උන්දැ ඇවිල්ලා පිරිත් කොටුව පුවක් රීප්ප වලින් නිර්මාණය කරලා කැටයම් දාලා අලංකාර කරන්නට බොහොම මහන්සි වෙනවා! ගොක් කොල කප්පවාගෙන පිරිත් කොටුව බොහොම ස්වාභාවිකව අලංකාර කරන්න කැප වෙනවා.  අන්තිමට පිරිත් කොටුවේ ඉහල නුග දලු, නා දළු එල්ලලා පිරිත් කියන අයගේ මේසය පවා නිර්මාණය කරලා නා කියාගෙන පිරිතට සූදානම් වෙනවා. උන්දැගෙ කහ ගැහුනු වටිනා කියන පිරිත් පොත් වහන්සේ අරගෙන අනිකුත් සගයින් සමග පිරිත් මණ්ඩපය ඇතුලට ගොහින් පහුවදා රෑ වෙනකම් පිරිත් සජ්ජායනා කරන්න හරිම සමර්ථයි.

කලු අත්තා කලින් දාක කිව්ව මාධවගේ සීයා වන පීරිස් උන්නැහේගේ ගජ මිතුරෙක්! හැබැයි කළු අත්තා ශ්‍රී ලංකා කාරයා! මාධවගේ සීයා යැංකි ඩූඩ්! ඒ් කියන්නෙ අලි පාටියේ! එක්සත් ජාතික පක්ෂයේ සාමාජික!

අපෝයි ඒ් කාලේ දේශපාලනය නේ! මිනිස්සු බෙදලා තිබ්බා! හැබැයි මේ තරම්ම තිරිසන් විදියට නෙමෙයි! සොඳුරු විදියට! හැබැයි ගොන්කම නොහොත් විචක්ෂණශීලී බවෙන් ‌තොරව වහල්ලු ලෙස බැඳිලා. අලියට! පුටුවට!!

චන්ද්‍රිකා ඇත්තිව සහ එයැයිගෙ අම්මණ්ඩි වන සිරිමා වත් මාධවගේ සීයට පේන්න බෑ! “ රට කාපු වේස ගෑනු” කියලා බණින්නේ! ඉස්සර ඉස්සෙල්ලම ගෙනාව සැන්යෝ වර්ගයේ වර්ණ රූපවාහිනියේ චන්ද්‍රිකා නෝනව දකිද්දි ඇහේ ප්ලාස්ටරයක් එක්ක, සීයා කේන්තියෙන් දත් මිටි කන හැටි මාධවට මතකයි! හැබැයි බැට්ටි කෑලි දෙකකට වඩා උස නැති නුවරඑළියේ ඒස්සත් ජාතික පස්සෙ “රේණුකාගේ” පොටෝවක් දැක්කම කට පුරා හිනා වෙලා ජන්දෙ ප්‍රකාශ කරන වහල් ගතිය සීයගෙ තිවුනා! ඒ ඒක්සත් ජාතික පක්ෂෙ උන් නෙව! ඇයි වහල්ලු ඉන්නේ පොහොට්ටුවට විතරද? නෑ මිත්‍රවරුණි! හැම පක්ෂෙටම වහල්ලු ඉන්නවා!

වාසනාවට මාධවගේ ගෙදර ජේ ආර්ගේ වත් රනිල් ගේ වත්, ප්‍රේමදාසගේ වත් රාමු කරපු ජායාරූපයක් තිබුනේ නෑ! ජන්ද කාලෙට පත්තර වගේ දීලා ගියපු ඒ්වත් ලිප පත්තු කරන්න ආච්චි ලිපට දැම්මා මතකයි! අනික්වාගේ මාධව සහ දසකැළුමා විසින් ප්ලැටිග්නම් පෑන් වලින් රැවුල් ඇඳලා ගෑනු පිරිමි කලා! පිරිමින්ගේ කොන්ඩ ඇඳලා උන්ව ගෑනු කලා! කොටින්ම කිව්වොත් උන්ගෙ පෝස්ටර් වල බලි ගාලා විනෝද උනා!

හැබැයි ගමේ පහල උන්නු කලු අත්තාගේ ගෙදර මැටි ගහලු හදපු වරිච්චි බිත්තියේ එල්ලිලා ඉන්න චන්ද්‍රිකා නෝනව පලවෙනි පාරට දැක්කේ මාධව ඉස්සෙල්ලම උන්දැට පිරිතකට ආරාධනා කරන්න ගියාහම! වරිච්චි බිත්තියේ ලොකූ ප්‍රමාණයේ රූපයක් වෙලා බිත්තියේ එල්ලිලා බඳපු ඒ පින්තූරය අදටත් ගූගල් වල පළමු පෙලේ පෙන්නන ජනප්‍රිය රූපයක්! මතක විදියට ඒම එකක් මාධවලගේ බාප්පගෙ ගෙදරත් සාලේ එල්ලලා තිබුනා මාධවට මතකයක් තියනවා!

එදා මාධවලා යද්දි කලු අත්තා දුරුවර්ණ උන සරම් කඩොමාල්ලකුත් ඇඳන් ආඩම්බරෙන් ඉඳන් උන්නා උන්දැගෙ පරණ බුලත් කහට බැඳුනු පඩික්කම බිම තියාන, කහට බැඳෞනු පරණ පිරිත් පොත් ගොඩ ගහපු මේසෙ අසල පරණ පුටු කබලක! ඒ්කට පිටුපස්සෙන් බිත්තියේ තමා චන්ද්‍රිකා නෝන ඇලවිලා උන්නෙ!

හැබැයි චන්ද්‍රිකා නෝනා කලු අත්තගෙ පොටෝවක් උන්දැගෙ අත්තනගල්ලේ ගෙදර තියාගෙන ඉන්නවද මාධව දන්නේ නෑ! කෝම උනත් ඇහේ සුද අයින් කරගන්න කියලා රෝහලේ පොරොත්තු පෝලිමේ උන්න කලු අත්තත්, ඔහුගේ ඇඹේණිය උන බේබි ආච්චිත් රට රාජ්ජ වල ගිහිං ඇහැ සනීප කරන් ආව චන්දිරිකා නෝන ගැන කතා කරේ ආඩම්බරෙන්!

“බලව්! අපි පොට්ට උවද අපේ රැජින සුවෙන්”

ඉන් පස්සෙ අවුරුදු ගාණකට පස්සේ මාධව ආයෙම පිරිතකට ආරාධනා කරන්න ගියහම ඒ් චන්ද්‍රිකා නෝනගෙ පින්තූරෙ එතන නෑ! ඒ් තැනට මහින්ද මාත්තයා වැඩල තිවුනා! යුද්ධෙ දිනලා උන්නු මහින්ද මාත්තයාගේ මූනේ ඒ් කාලේ තිබුන තේජාන්විත භාවය කලු අත්තා‌ගේ මූනෙත් ඒ විදියටම තිබුනා!! ශ්‍රී ලංකා පක්ෂෙන් උන්දෑ පොහොට්ටුවට මාරු වෙලාත් තිබුනා! ටවුමෙ තිබුන පක්ෂ රැස්වීමෙ තේජාන්විතව වැඩ ඉන්න මහින්ද අප්පච්චීව දෑහින් දැකගන්න තමන්ට තිබුනු හොඳම සුදු ඇදුම ඇඳන් කලු අත්තා ගිහින් උන්නා මාධවට මතකයි! මාධව ටෙක් ගිහිං එද්දි කලු අත්තා ටවුමේ උන්නා මාධව දැක්කා. කිරි කොකා වගේ!

කෝම හරි මයින්ද මාත්තයා උඩින්ම ජන්දෙ දින්නා. චන්ද්‍රිකාත් මහින්දත්, රනිලුත් අනික් ඇත්තොත් දිනලා දියුණු උනාට මොකද ගමේ උන්නු කලු අත්තලාට සමෘද්දියෙන් එහා දියුණුවක් ලැබිල තිබුනේ නෑ. ඒ්ත් කලු අත්තා ඒදා මහින්ද මාත්තයා දිනුවම මහ සද්දෙට රතිඤ්ඤා දැම්මේ උදම් වෙලා!

මහින්දලා ලෝකයේ ධනවතුන් උනා කියලා මාධ්‍යයේ කියද්දි කලු අත්තලාගේ මැටි ගෙදර එහෙම්ම තිබුනා! කිසිදාක වෙනසක් උනේ නෑ! මොකක්දෝ ආධාරෙකට ලැබුනු ටකරම් ටිකක් නම් ලැබිලා පොල් අතු ටික අහක් වෙලා ටකරම් වැටිලා තිබුනා. එච්චරයි! කලු අත්තාම ගෙවපු බදු සල්ලි වලින් ටිකක් වියදං කරලා උන්දැටම කවුරු හරි එකෙක් දීපු ටකරං ටිකටත් උන්දැ කෘතවේදී වෙලා තිබුනා! ඒ්ක එකාතකට ගම්මුන්ගෙ අව්‍යාජ බව!

කෝම හරි යහපාලනය අහවර වෙලා ගෝඨාභය මහත්තයා ආවයින් පස්සෙ කලු අත්තා දුර්වල උනා. ඉස්සර නිතර ගමේ පීල්ලට නාගන්න ආව කලු අත්තා ඉඳහිට එන්න ගත්තා. දවසක් මාධව නාන පීල්ලේ තනියම රෙදි කන්දක් තඩි ගගහා ඉන්න වේලාවට කලු අත්තා ආවා! දැන් උන්දෑ දුරුවලයි. වයසයි!

උන්දැගෙ කකුල් වලට මොකක්දෝ ලෙඩක් හැදිලා. පිච්චිලා වාගේ ගොහිං! හම ගිහින්! රබර් සපත්තු දාන්න බෑ දැවිල්ල අල්ලන බවත් මාධව එක්ක කිව්වා. ඒ බව දැක්කම ඇහුවම උන්දැට දියවැඩියා රෝගීන් දාන ආකාරයේ සෙරෙප්පු දෙකක් අරන් දෙන්න ඔනෑ යැයි මාධව ඉටා ගත්තා! උන්දැගේ කොරෝනා එන්නත් මාත්‍රාව දෙවැනි එක ලබා ගන්න තිබුන දවසේ මාධවට ආයෙම හම්බුනා! මාත්‍රාව ගන්නට යන්නට පෙර නාගෙන යන්න ඇවිත් හතිලමින් පීල්ලේ කණ්ඩිය මත වාඩි ගෙන. තනියම නොව බේබි ආච්චි එක්කම! බේබි ආච්චිටත් අසනීපයි! හෘදයාබාධයක් ඇවිල්ලා හිටියේ උන්දැටත්.

උන්දැගෙ ඇඟේ පතේ ‌මොකක්දෝ අමාරුවක් කිව්වම මාධවගේ සබන් බාල්දියේ අහම්බෙන් තිබුන “සෑම නිවසේම වෙදමාත්තයා කුප්පිය” ඒ් අත්තමගෙ අතට දීලා කිව්වා ගාගන්න අත්තම්මා කැක්කුම අඩු වෙයි!! අද නාන්න එපාය කියලා. ඇත්තටම ඒ් ඇත්ති ඇවිල්ලා තිබුනේ කලු අත්තාව නාවාගෙන එක්කන් යන්න. ඒ් තරම්ම ඔහු දුරුවලයි.

මාධව කඩිනමින් නාගෙන යන්නට ගියා. දෙකට නැමිලා වගේ කුදු ගැහුණ කලු අත්තා පීල්ලෙන් නාන්න පටන් ගත්තා! ඔහුට පිටිපස්සෙන් කොළඹ රටේ ආකාසේ පෙනුනා! තැඹිලි පාටට!

ඊට මාසෙකට ඉතර පස්සේ කලු අත්තා හෘදයාබාධයකින් මියගිය බව මාධවට දැනගන්නට ලැබුනා. උන්දැට සෙරෙප්පු දෙක අරන් දෙන්නවත් බැරි උන එක ගැන මාධවට කම්පාවක් ඇති උනා. ගමටම ආධ්‍යාත්මිකව සුවයක් මොහොතකට හරි ගේන්න උපකාරී උන කලු අත්තා මිය ගිහින්.

උන්දැගේ ගෙදර බිත්තියේ උන්නු කිසිම දේශපාලකයෙක් ඒ් ඉලව් ‌ගෙදරට ආවේ නෑ. මේ රටේ දේශපාලකයෝ මල ගෙවල් වල එන්න උවමනාම නෑ! නමුත් උන් නාවට කම් නැති උනාට කලු අත්තලාට සැපසේ ජීවත් වෙන්න, ණය නොවී මැරෙන්න සුදුසු රටක් වත් හදලා නෑ! එදා ඉඳන්ම කරුම දේශපාලනය ගම්මුන්ව තවමත් රවට්ටනවා! අහිංසක ගමේ දුප්පතාවත් ණය කරවලා උන් වැජබෙනවා!

ඊට මාස කීපයකට පසු පෙර සේම නාන පීල්ලේදී මාධවට හම්බුනා බේබි ආච්චී! වැන්දඹු උන බේබි ආච්චි! වයසක දුකම විඳපු බේබි ආච්චි!

ඈ කිව්ව කතාව මාධවගේ හදට සතුටක් අරං ආවා! අඩුම තරමේ ඒ හරි මදැයි!

“පුතේ කලු මාමා”, බේබි ආච්චි මාධවලා ඉස්සරහදි තමුන්ගේ සැමියාව අදුන්වන්නේ ඒම.

“පුතේ කලුමාමා පපුවේ කැක්කුමයි කියලා කියද්දි මම ගේ පුරාම ගාන්න දෙයක් හෙව්වම මට අතට අහුවෙන්න කියලා තිබ්බෙ චන්ඩි පුතා දුන්න මේන්න මේ සිද්ධාලේප කුප්පිය විතරයි පුතේ! පුතාට පින්සිද්ද වෙනවා!”

ඈ ඒ්ම කියලා දිග හීල්ලුමක් පිට කලා!

මාධව නිහඩ උනා! කලු අත්තා නිවන් ගියා!

ඉන් පස්සේ දවසක කලු අත්තලා වාගේ තවමත් ජීවත් වෙන වයසක උදවියගේ විශ්‍රාමය මෙන්ම උපන් නූපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අරගලයක් ආරම්භ කරපු මාධවලාටත් වඩා ලාබාල බුද්ධිමත් කොල්ලෝ රැලක් ගෝල්ෆේස් පිටියේ කලුමාමලා ඒ්කාලේ ආදරෙන් වැලඳ ගත්ත බණ්ඩාරණායක උන්නැහේගේ පිලිරුවේ ඇස් බැඳලා තිබුනා!

අධම ජාතිවාදයේ ඇස් බැඳීම! මාධව බණ්ඩව හඳුන්වන්නේ ඒ්ම! “අධම ජාතිවාදියා”

එයිං ටික කාලෙකට පස්සේ මහා කලබගෑනියකින් පස්සෙ තමන්ගෙ පාක්ෂිකයින්ව බේරෙ වැවේ ගිල්ලලා මහින්ද මහත්තයාත් අගමැති කමින් අයින් උනා!

විජයවත්, මහින්ද මාත්තයාවත් නොදන්න, චන්ද්‍රකාවත් සිරිමාවෝ වත් නොදන්න නමුත් කොහෙදෝ ඈත ලන්දක් කෙලෝර පැලක උන්නු, උන්ට ගෞරව බක්තියෙන් සලකපු වයසක කලු මාමා නිවන් ගියා! හැබැයි නිවන් ගිය කලු අත්තාවත්, තාම ජීවත් වෙන බේබි ආච්චිවත් දන්නෑ මේ තරම් කරුම ජීවිත ගෙවන්න වෙලා තියෙන්නේ දේශපාලකයෝ එයාලව රවට්ටපු නිසා කියලා.

හැබැයි කලුමාමලා නොදැක්ක මාධවලා දකින්න හීන දකින ලෝකය ඉල්ලමින් තවමත් කොල්ලෝ අරගලේ කරනවා! කලුමාමලාට නොතේරුන රැවටිල්ල මේ තරුණයින් යසට තේරුන් අරන්!!!

කලුමාමලාගේ කාලේ තිබුනු බිත්තියේ දේශපාලනය ඉක්මණින් අවසන් වේවි! කලු අත්තලාගේ පරම්පරාව වියැකෙමින් ඉන්නවා! දැන් ඉන්නේ බහුතරයක් ඩිජිටල් ලෝකයේ පුරවැසියන්! උගත්තු! වහල්ලු නෙමෙයි.

ඩිජිටල් පරම්පරාව එක්ක පිස්සු නටන්න ගියොත් කොයි මේ රටේ දේශපාලකයටත් සිද්ධ වෙන්නෙ බිත්තියට හේත්තු වෙන්න තමයි. දැන් තමයි ඒ් රැල්ලේ ආරම්භය

ආන්න ඒ් බව අරගලයට දින පහහක් පිරුණු මේ මොහොතේදී මාධව කියන්න කැමතියි...................

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form