මාධවගේ හැඟුම් සහ ශ්‍රී ලංකා මාතාවගේ ඇතැම්හු ගැන!!!




 
 
මාධව මේ ලියන්නෙ හැඟුම්බර ලියමනක් ය. වේදනාබර හැඟීම් ගොන්නක් ගැනය. මේ තරම්ම අසංවේදී මිනිස්සු සිටින ලංකාව ගැනය.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අවාසනාවන්ත අභාග්‍ය සම්පන්න පුරවැසියාගේ ඛේදවාචය සම්බන්ධයෙන් ය.

මේ කියන්නේ බඩගින්නේ හඬා වැලපෙන පුරවැසි දරුවාගේ හදවත කාරාගෙන යන විලාපය ගැනය.

ඒ විලාපය දරාගත නොහී හිතින් වැලපෙන අම්මලා තාත්තලාගේ කථාවය. තමා කරන රැකියාවට යා ගත නොහී අවාසනාවන්ත කාලයක් ගෙවන ශ්‍රී ලාංකික මහත්ම මහත්මීන් ගැනය.

පෝලිම් වල වැය වෙන මහජනතාවගේ වටිනා කාලය ගැනය.අත්‍යවශ්‍ය ඖශධ නොමැතිව මිය යන්නට පටන් ගෙන ඇති මිනිසුන් ගැන කතාවය.

මේ කරුණු කාරණා පිලිබදව මාධව සැබැවින්ම සංවේදී වන්නේය. ඒ් මාධව මේ රටේ උපන් ලාංකිකයෙක් නිසාය.

අසමත් වෙමින් පවතින, නීතිය වල් වැදීමට නියමිත, කාළකණ්නි වීගෙන යන අඳුරු රටක හදවතට එකඟව ඔබ විසින් පිලිතුරු බැඳිය යුතු මාධවගේ ප්‍රශ්න පත්‍රය මේකය.

මෙය කියවූ පසුත් ඔබ නිර්වින්දනය වී විකාර කියවමින් පිළිතුරු නොමැතිව සිටින්නේ නම් ඔබ සැබැවින්ම අසංවේදී අකාරුණික ආත්මාර්ථය මත යැපෙන දෙලොවට නැති කාළකණ්නි නිවට ජීවියෙක් ය.


මාධව 2019දී යහපාලුවොන්ගේ පාස්කු මිනී මැරුම් (කවුරුන් කුමක් කීවද මාධවගේ මතය මේ සියලූම දේශපාලුවෝ මේ පාස්කු මිනිමැරුම සඳහා වග කිව යුතු බවය.) ඇසටම දැක්කේය. 

ඒ සඳහා සංවේදී විය. ආගම ඇදහීමට පැමිණි නිරායුධ අහිංසකයින් වෙනුවෙන් පිලිතුරක් අපේක්ශාවෙන් අදටත් බලාපොරොත්තු දල්වා සිටින්නේය. මහඟු දෙවියන් වහන්සේගේ ඇතුලු තිස්තුන්කෝටියක් වූ ලබ්බේ දෙවිවරුන්ගේ හෝ හාස්කමින් මෙම පාස්කු මිනීමරුවන්ට හෙන වදිනකම් බලන් ඉන්නේය.

අවාසනාවට උන්ට එහෙම වෙන්නේ නැත. මව පියා නැතුව තැවෙන දරුවාට වඩා, සැමියා සහ දරුවන් නැතිව විදවන වැන්දඹුවගේ පපුවේ වේදනාවට වඩා, අදටත් එක්තැන් වී, පිලිස්සී තුවාල ලබා විදවන පාස්කු වින්දිතයින්ට වඩා මේ   ලබ්බේ දෙවිවරුන්ට මේ සුන්දර මාතෘ භූමිය කෙලෙසන දේශපාලු කාබාසිනියාකාරයෝ ටික වටින්නේය. ඒ් මහපොලවේ යථාර්තය වන්නේය!!!

මේ මාතෘභූමිය මත නිකරුනේ මලගිය නිර්දෝශී වින්දිතයින්ට සාදාරණයක් කොයිබටද?

ඒ ගැන හිතද්දී මාධවගේ දෑස් කඳුලින් තෙත් වන්නේය.

එහි වින්දිතයෙක් නොවුන ඔබට මෙය සිදු වූවානම් ඔබ විඳවන විඳවීම ගැන සිතන්න. ඔබගේ අම්මාට තාත්තාට මේ පාස්කු බෝම්බය වැදුනේ නම් ඔබ නිහඬ වේද?

ඔබේ දරුවාගේ දෑස් අන්ධ වී අනාගතය අඳුරු වූයේ නම් ඔබ නොහඬා ඉන්නේද?? ඔබ එවිටත් මේ පාලකයාට ආදරේ කරනවාද?

පාලකයින් මේ අන්දමින් රටවැසියාව නොසලකා හැර ඔවුන්ගේ රලු සපත්තුවෙන් පාගාගෙන ඉන්නා එක ගැන ඔබ නිහඬ ඇයි? ඒ පිලිබඳව ඔබ මේ හැටි ආඩම්බර වන්නෙ කිමද?

ඒසා වූ අමන නොසලකා හැරීම ගැන නොසිතා තවමත් මේ අදූරදර්ශි අමන පාලකයින්ට ආ වැඩීමට ඔබට පුලුවන් නම් ඔබ සැබැවින්ම මනුශ්‍ය වේශය පොරවාගත් අසික්කිත හිරිකිත අමන නිවට ජීවියෙක්ය. ඔබගේ කශේරුකාව නැති කම ඔබට සතුටක්ද?

ඔබ මනුස්ස ජීවියක් ලැබීමට සුදුසු නැත. ඔබ මේ මාතෘ භූමියට බරක් ය. ඔබ ශ්‍රී ලංකා අම්මාගේ දරුවෙක් නොවන්නේය. ශ්‍රී ලංකා අම්මාට හදි කරනා අමනයොන්ගේ පැත්තේ සිටින ඔබ සැබවින්ම කවරෙක්ද? 

උන් මාධවලාට ඔබලාට කෙලවන බව තේරුන් ගෙන හෝ නොගෙන උන්ටම ආ වඩන ඔබගේ හිතේ රට වෙනුවෙන් ඇති කෙහෙම්මල් ආලයක් නැත. ඔබ ඉපදී ඇත්තේ ඔබ වන්දිභට්ටකම් කරනා අසික්කිත අශීලාචාර කට වාචාල පාලකයින්‍ ගේ අශූචි අනුභව කිරීමටය. ඔබ මේ චෝදනාව ගැන සිතන්නේ කුමක්ද? ඔබට ලැජ්ජාවක් නැද්ද?

ඔබට සුදුසු ඒකමය. කොන්ද නැති නිවටයින්ට සුදුසු ඒ වචන ටිකමය. ඒ් ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබට නිවටයා යැයි පවසනවාට ඔබ කැමතිද?

මරණ මංචකයේදී ඔබ අදහන දහමකට අනුව ඔබට විඳවීමට සිදු වනු ඇත. මොකද උපන් නූපන් අනාගත දරුවන්ට ඔබ කරන්නේ මහත් වූ විනාශයක අඩිතාලම දැමීම නිසාමය. ඔබකල පව් පස්සෙන් එන බව අදහනවාද? පව් පින් විශ්වාස කරන්නේද?

මේ ගෙවෙන සමය ලාංකික සැමට අසීරු ය. ඔබට ඇතැම් විට එසේ නැත්තේ නම් මාධව සතුටු වන්නේය. ඒ මාධව සංවේදී නිසාය. කිසිවෙකුටවත් කරදරයක් වනවාට මාධව කැමති නැත. ඔබගේ මිතුරාට, අසල්වැසියාට අසීරු සමයක්ගත කිරීමට සිදු වීම ඔබට ප්‍රීතියක් ද?

ඒත් මේ හැටි සංගදියක් සිදු වී තිබෙද්දි නිහඬව සිටින්නා වුන් ඇතුලු මේ පාලකයින්ගේ අසූචි අනුභව කරන ඔබගෙන් අසන්නට මාධවට ප්‍රශ්න ඇත්තේය. ඔබ සූදානම්ද?

හැකි නම් පිලිතුරු ලබා දෙන්න ඔබට අවකාශ ඇත්තේය. ඔබට මේවා සඳහා පිළිතුරු තිබේද?

ඊට පෙර මේ ජීවිතය අනිත්‍ය බවත් මහ ලොකු කාලයක් කිසිවෙක් ජීවත් නොවන බවත්, ජීවත් වන්නාට නිදහසේ සතුටෙන් කා බී මානව අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත් වීමට ඇති අයිතිය සිහියට නගා ගන්න. එවැනි කෙටි කාලයක් උදෙසා මානව ජීවිතයක් ලැබූ මාධවගේත් ඔබගේත් ජීවිත වනසා දැමීමට කිසිදු අයෙක්ට අයිතියක් නැත. ඒ බව තරයේ සිහියට නගා ගන්නා ලෙස මාධව කියන්නේය. මේ ගැන ඔබ කිසිදාක හෝ සිතා තිබේද? ඔබගේ ජීවිත කාලය ගැන ඔබ සිතා තිබේද?

දැන් මේ මාධව අසන ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමට ඔබට පුලුවන් දැයි ඔබගේම පපුවට තට්ටු කර ඔබගේම මනසට තට්ටු කර අවංකව විමසා බලන්න. ඔබය සැබවින්ම අවංක වන්නට පිළිවන්ද?

දෛනික රැකියාව කරගැනීමට නොහැකි අසරණ පියාගේ වේදනාවට වඩා ඔබට ලාංකිකයා තලා පෙලා දමන පාලකයාගේ බඩ වැඩීම මහ ලොකු දෙයක් වන්නේ කෙසේද?

බඩගින්නේ හඬනා ලාංකික දරුවාද උපන් නූපන් සියලූ දරුවන්  හා ඔබගේ දරුවන්ද ඇතුලුව මුලු රටම ණය කන්දක සිර කොට ඉක්බිති පුරවැසියාගේ ඉල්ලීම අවඥාවෙන් සිනහවට ලක් කරන රලු පාලකයාගේ සිනහව ඔබට මහඟු දෙයක් වන්නේ කෙසේද?

ඔබගේ දරුවාට ද අයිති සම්පත් උදුරාගෙන ඔවුන්ගේ පවුල්, පවුල් වල ගජ මිතුරන්ගේ සුඛ විහරණයට යොදවා ගැනීම ඔබට සතුටක් වන්නේ කෙසේද?

රට රාජ්‍ය වල ඉගෙන ගන්නා පාලකයාගේ දරුවන් එසේ වැජබෙද්දී ඒ පිලිබද උජාරුවෙන් කතා කරන ඔබට ඔබගේ දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම මහඟු සතුටක් වන්නේ කෙසේද? විභාග පැවැත්වීම කල් යාම, පාසල් වැසී යාම කොපමණ අභාග්‍යදැයි ඔබට නොදැනෙන්නේ කිමද?

ඔබගේත් මගේත් දහඩිය මහන්සියෙන් උපයන වේතනයෙන් සතයක ඉතුරුවක් කිරීමටවත් ඉඩ නොතියා සූරාගෙන කෑම ඔබට තවදුරටත් විනෝදයක් වන්නේද?

ඉන්ධන පෝලිමේ දුක් විදින, ගෑස් පෝලිමේ මිය යන ඔබගේම නොවන නමුත් අපගේම සහෝදර පුරවැසියාගේ මව පියා ගැන ඔබට කම්පාවක් නොමැත්තේ මන්ද? ඔබගේමව පියා ගැන ඔබට කැක්කුමක් නැද්ද?

පාලක පුත්තු කිසිදු ඉපයීමකින් තොරව මහජන මුදලින් විනෝද වෙද්දී ඒ දෙස බලා ලුණු කැඳ බොන ඔබගේ දරුවා පිලිබඳව ඔබට දුකක් නැත්තේ කිමද? ඔබගේ දරුවාටද එසේ විනෝද වීමට ඉඩ ලැබිය යුතු බව නොසිතෙන්නේ මන්ද? ඔවුන් මෙන්ම ඔබගේ දරුවන්ටද එවැනි රසමසවුලු උරුම විය යුතු බව නොසිතෙන්නේ නැතිද?

ඔබ නිවසේ ලොකුවට රාමු කරගෙන සිටින, එසේත් නැති නම්  ඔබගේ මුහුණු පොතේ profile ජායාරූපයේ ඔබ සමග සිටින දේශපාලුවා නිසා ඔබට ලැබුනු දේ කුමක්ද? ඔහු නිසා ඔබගේ ජීවිතය සුඛිත මුදිත වී ඇත්තේද? ඔහු සමග සෙල්ෆි ගත්තායින් ඔබ ලද භාග්‍ය කුමක්ද? වරප්‍රසාදය කුමක්ද?

පෝලිම් වල සිට, දුක් මහන්සියෙන් හම්බ කරනා ඔබගේ මුදල් යොදවා ලබා ගත් ඉන්දන ස්වල්පයකින් වැස්සෙ තෙමීගෙන රෝද දෙකක් උඩ අරගල කරන ඔබට ඔබගේ මුදල් සූරා කමින්, නොමිලේ ඉන්දන සපයා ගනිමින් සැප රියේ උජාරුවට ගමන් ගන්නා පාලකයාගේ උද්දච්ච කම ගැන සිත නොරිදෙන්නේ මන්ද? ඔබගේ දරුවාට උපයාගන්නා මුදලින් ඒවැනි උසස් ජීවිතයක් ගෙවීම අහිමි කලවුන් ගැන ඔබට මේ තරම් සෙනෙහසක් දැනෙන්නේ මන්ද?

ඔබගේ දරුවාට වඩා දේශපාලන පන්තියේ දරුවාගේ උසස් බවට හේතුව කුමක්ද?

ඔබටත් ඔබගේ පවුලටත් එවැනි සැප රියක් උරුම නැති කරුමය කුමක් දැයි සිතෙන්නෙ නැතිද?
 
ඔබගේ සැමියාගේ වසර ගණන සේවාවකින් පසුත් උරුම නොවන වරප්‍රසාද රැසක් වසර කීපයක කාලය කෑමෙන් පසු උරුම වන්නා වූ දේශපාලන පන්තියට මේ තරම් ගැති වී ඇත්තේ මන්ද? ඔබට අහිමි වන විශ්‍රාමය සහ සැනසීම ගැන ඔබට ශෝක නොවී සිටිීමට පුලුවන්ද?

ඔබගේත් මාධවගේත්, උපන් නූපන් දරුවාගේත් මුදලින් ගජ මිතුරන් පෝශණය කරමින් රටවැසියාව බඩගින්නේ තබන පාලකයාට ඔබ මේ තරම්ම ආදරේ කිමද?

ඔබගේ බත්පතට බදු ගසා රට වෙනුවෙන් ඔබ ගෙවන බද්ද රටේ උන්නතිය වෙනුවෙන් නොයොදවා, ඒ් මුදල් නැති නාස්ති කොට වහසි බස් දොඩන කාලකණ්නි පාලකයා ගැන ඔබ සතුටු වන්නේ කෙසේද?

ඔබගේ සහෝදරයා, ඔබගේ පන්තියේම ඉන්නා පොලීසි, හමුදා නිලධරයින් යොදවා මාධවලාව, ඔබලාව මඬවන අමන පාලකයා ගැන ඔබ මෙතරම් ආඩම්බර වන්නේ මන්ද?
 
ඔබට එක නීතියකුත් මහ උන්ට තව නීතියකුත් පනවා ඇති රටක දේපල සොරකම් කල,මහ මඟ මිනීමැරුම් කල අපරාධකාරයින් නිදහස් වූ විට සතුටු වන්නේ කෙසේද?
 
බඩගින්නට පොල් ගෙඩියක් ඇහින්දා වූ දුප්පතා සිර ගෙට නියම වන විට මහජන මුදල් අවභාවිතා කරන්නා වූ දේශපාලකයා නිදැල්ලේ දිවි ගෙවීම ඔබට ගැටලුවක් නොවන්නේ කෙසේද?ඒ් සා වූ අපූරු නීතිය ඔබට ගෝචර ද?

ඔබගේම මවට පියාට අවශ්‍ය ඖශධ මුදල් ගෙවා ණය වී හෝ මෙරටින් ලබා ගැනීමට නොහැකිව ඔවුන් වේදනා විදිද්දී, විදේශ රටවලින් පුරවැසියාගේ මුදලින් නොමිලේ ප්‍රතිකාර ගන්නා රටට නොවටිනා නාකි හම්පඩ දේශපාලුවෝ ගැන ඔබට ඕ තරම් සෙනෙහසක් ඇත්තේ කිමද?

ඔබගේ දරුවාගේ පෝශණය බිංදුවට වැටී තිබියදී රජගෙයි බිලිඳුන්ට ලැබෙනා ලක්ශ ගණනේ උපන්දින සාදය ගැන ඔබ සතුටු වන්නේ කෙසේද?

රටක නීතිය පාගා දමමින් විවිධ වූ අපරාධ කරුවන් ඉහල තානාන්තර වල වැජබෙද්දී හුරේ කියා ඔල්වරසන් දෙන්නේ කෙසේද?

උපාධිධාරී ඔබේ දරුවාට රැකියාව තීරණය කරන්නේ අට ශේණියටවත් පාසල් නොගියා වූ මදාවියෙක් නම් ඔබ ඒ ගැන ආඩම්බරයෙන් කථා කරන්නේ කෙසේද?

ණය බරින් මිරිකී හෙට දිනයේ කෙසේ දිවි රැකගම්දැයි සිතමින් නිදි වරණ ඔබට ආරක්ශක රැකවල් මැද ගොරවමින් නිදි වදිනා අසංවේදී දේශපාලකයාගේ නින්ද මේ තරම් වැදගත් වන්නේ මන්ද? ඔහු වෙනුවෙන් ඔබගේම පන්තියට ගල් ගසන්නේ කිමද?

ඔබ ජන්දය දුන් අපේක්ශකයා ජයගත් විට ඔබගේම අසල්වැසියාට රතිඤ්ඤා දැමීමට ඔබට සිත් වන්නේ කෙසේද?

පෝලිම්වල දුක් විදිනා ජනතාවගේ පැත්තේ සිටනොගන්නා, පුරවැසියාව තලා පෙලා දමනා පාලකයාගෙ පැත්ත ගෙන අපරාධකරුවන්ට පිරිත් නූල් බැඳ ඔවුන් සමග සිට ගන්නා කුණුහරුප බණ වදාරන කහකඩ චීවරධාරීන්ට මේ තරම් ගෞරව කරන්නේ මන්ද?

ජාති බේද ආගම් බේද ඇති කරන ආගමික නායකයින්ව නලලේ තබා වන්දනාමාන කරන්නේ කෙසේද?

විද්‍යාව පසෙකලා මිත්‍යාව හඹා යන මිත්‍යාදෘස්ඨිකයින්ට මෙතරම් ගරු කරන්නේ කිමද?

රුපියල් කිහිපයක හිගයක් නිසා ඔබගේ නිවසේ විදුලිය සිඳ දැමීම සිදු වෙද්දී කෝටි ප්‍රකෝටි ගණනින් විදුලිය නාස්ති කරන, විදුලි බිල් නොගෙවන පාලක පන්තිය ඔබට වැදගත් වූයේ කෙසේද?

එකට වැඩ කරනා සේවක සගයා වෙනුවෙන් පෙනී නොසිට ඔහුගේ වැඩ තහනම් කිරීමට මුලික වූ දේශපාලකයා වෙනුවෙන් ඔබ පෙනී සිටින්නේ කිමද?

වෙනදාට වඩා බඩු මල්ල කුඩා බවත් එයට ඔබගේම පොකැට්ටුවෙන් වෙනදාට වඩා වැඩි කොටසක් වැය වන බව දැන දැන ඔවුන්ව් ආරක්ශා කරන්නේ මන්ද?

තුනට හතරට වකුටු වී වැඳ වැටීමට තරම්, එක් රොක් වී ඉහලින් ඔසවා තැබීමට තරම් පාලකයින්ගේ ඇති අගය කුමක්ද?

අසමත් නූගත් වියපත් අඥාන පාලකයාට වඩා ඔබව වටිනා පුද්ගලයෙක් බව ඔබට නොදැනෙන්නේ ද?

කිසිවෙකුට බරක් නොවී කීයක් හෝ උපයා දිවි මග සරි කරන බදු ගෙවන පුරවැසියෙක් ලෙස ඔබ ආඩම්බර විය යුතු නැතිද?

ඔබට ඔබ ගැන සිතෙන්නේ කුමක්ද?

ඔබට සිතෙන්නෙ මේ ඔබගේත් ඔබගේ දරුවන්ගේත් කරුමය කියාද? ඔබ එසෙ සිතන්නේද??

ඔබ දැනගත යුතු වන්නේ  ඔබට එසේ උගන්වා ඇත්තේ පාලකයාම බවය. දුප්පත් කම සහ නූගත්කම නඩත්තු කරනා පාලකයාමය.ඔබ පාසල් යද්දීත් දියුණු වෙමින් පවතින රටක් වූ ලංකා මාතාව වසර හැත්තෑහතරක් පුරාවටම ඒසේම තබාගෙන ඉන්නා මේ පාලකයා ඔබගේ කරුමය බව ඔබ වටහාගන්නේ කවදාද?

රටකට ප්‍රතිපත්තියක් සාදා පුරවැසියාගේ ජීවන තත්වය උසස් නොකලේ මේ පාලකයින්මය. ඒ බව වැටහෙන්නේ නැතිද?

නිදහස ලත් දා සිටම ජාති බේද ගැටලු ඇති කලේ මේ පාලකයාමය. ජාතීන් ලෙස ලේබල් ගසා ආගම් ලේබල් අලවා ශ්‍රී ලාංකික ජාතිය බෙදා ඇති බව ඔබට නොතේරෙන්නේ මන්ද?

අදත් එදත් ඔබත් මාධවත් රැවටෙන්නේ මේ පාලකයාටමය. ඔබ මේවා තේරුන් ගන්නේ කවදාද?

හැමදාමත් මේ රැවටිල්ලට යට වී සිටීමට තරම් ඔබ නිවටයෙක්ද? නිහඩ වී සිටින්නේ නුඹට හඩක් නැද්ද?

මේවාට නිසි පිළිතුරු නොමැතිනම් ඔබ ලංකා මාතාවගේ අසමත් දරුවාය!

මේ දූශිත අමන පාලකයාට ඔබ තව තවත් ආවඩන්නේ නම් ඔබ සැබැවින්ම මේ ලංකා මාතෘ භූමියේ පස් පැගීමට සුදුසු නැත. 

ලක් මාතා වනසා දමන්නන්ට අනුබල දෙන ඔබ ලාංකිකයෙක් නොවන්නේය. 

මේ ප්‍රශ්න වලට නිරුත්තර වූ වහල් වන්දිභට්ටයානනි, මාධවට ඔබ ගැන කියන්නට ඇත්තේ මෙච්චරය!!

ඉතින් අවසානයේ මාධව අහන්නේ ඔබගෙන් එකම එක දෙයක් ය.

ඔබට ලාංකිකයෙක් වීමට අවශ්‍යද?





Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form