මනසට ආදරයෙන් තට්ටු කරමු. මේ එයට කාලයයි!!!

 


මාධව මීට පෙරද දිනක මේ ගැන කියා ඇත්තේය.

ශාරීරීක දණ්ඩනය ලංකාවේ රෙජිස්ටර් වී ඇති අතර නීතියට අනුකූල යැයි සලකන දඩුවම් ය.

ඉතිං කවරුත් දන්නා පරිදි ඒ් අසරණ පියා නොසන්ඩාල ළමයාට කොස්සෙන් ගැසුවේය! අකීකරු පුත්‍රයාගේ අකීකරුකම් සදහටම නිම විය. පියාට ලැබෙනා දඩුවම මාධවගේ අදහසේ හැටියට නම් උපරිමයෙන්ම ලැබී ඇත්තේය. ආයේ නීතියෙන් කරන්ට දෙයක් ඉතුරු වී නැත්තේය.

මාධව ළගදී බැලූ මලයාලමේ කතාව මාධවට මතක් විය. මේ සේරම අලලා මාධව කියන්නට යන්නේ ලාංකික දඩුවම් කලාව ගැනය. සේරටම කලියෙන් කිව යුතු වන්නේ මාධව ද මව පියාගෙන් ඇති පදම් ගුටි කා ඇති බවය. එසේම ඒ්ක මහ වේදනාකාරී හැගීමක් බවත් ය. 

 පළමු කොටසට අදාල කතාන්දරය මාධව මීට පෙර කියා ඇත්තේය. මාධව ගිය පාසලේ සිටි විදුහල්පතිතුමා සම්බන්ධ කතාව ය. වේවැල් පාර බෙදා ගෙන ගිය නපුරු විදුහල්පතිතුමාගේ අසරණ බව ගැනය. ඒ් අසරණ කම යනු ළමයි ගණනාවක් වේවැලෙන් පහර දී නිසි මග ගෙන යාමට සිදු වීමේ අසරණ කමය. වෙනත් ක්‍රමයක් නොමැතිව වේවැලෙන් පහර දී හරක් බලන තාලයට ලාංකික ළමුන්ගේ අනාගතය සුන්දර කිරීමේ කර්තව්‍ය ඉටු කිරීමට සිදු වී ඇති අභාග්‍ය සම්පන්න තත්වය ඒකය.

ඒ් කතාව ද ඇතුලත් අඩංගු සම්පූර්ණ කතාන්දරය මේ ලිංකුවෙන් කියවන්නටත් ඔබට පුලුවන් ය.

වේදිකාව මත කතාන්දරය........ "

දෙවැන්නට මාධව කියන්නේ ඒකාලයේ හිටපු මෝඩ ජනපතියෙක්ද හරි ආඩම්බරයෙන් සිදු කල කතාන්දරයක් ගැන ය.  ඔහු කතා කලේ තමන්ට වේවැල් කසාය දුන් ගුරුවරුන් ගැනය. ඒ් “හරකා” නොකියා කීවේ වේවැලෙන් ආකල්ප හැදිය යුතු බවය. අමන කතාන්දර යනු ඒ්වාය.  දරුවෙකුගේ ආකල්ප සංවර්ධනයට වේවැල නොව අවශ්‍ය වන්නේ නිසි ක්‍රියාකාරකම් සහ අධ්‍යාපනය පමණක්මය. ඒ්ම කියන්නේ මාධවගේ පුද්ගලික අත්දැකීම් නිසාමය.

වේවැල් පාර මදි නොකියා ලබා දෙන මාධවගේ බාප්පොච්චිද උගන්වන දහම්පාසල් ගිය සිසුවෝ කී දාහක් අද දහම් මග වෙනුව “මතින් මත් වීමේ මග” තෝරාගෙන ඒ් මග යන්නේ වේවැල් කසාය වැඩ නොකල නිසාය. දහම් පාසල් වලට වේවැල් අහවල් ඒහෙකටදැයි මාධව සිතන්නේය. ආවාස ගෙය තුල වේවැල් එල්ලා ඇති පන්සල් මාධව දැක ඇත්තේය.කෙසේ වෙතත් මාධව නං වැස්සට වත් දහම් පාසල් නොගිය බව අදටත් ආඩම්බරයෙන් කියන්නේය. වේවැල අසමත් වීම නොහොත් ශාරීරික දණ්ඩනය අසමත් වීමට වෙනත් උදාහරණ අනවශ්‍ය වන්නේය. හිංසනය නවතාලීමට දැන්වත් නීති සැකසීම අත්‍යවශය වන්නේය. මාධවලාට සහ ඊට පෙර පරම්පරාවන් ගුටි කෑවා කියා මාධවලාගෙන් පසු පරම්පරාවන්ගේ පුක වේවැල් පාරින් හැඩ කිරීම අවශ්‍ය නැත.

මාධවලාගේ ගෙවල් ලග පුංචි සහෝදරයෙක් උගේ කාමරය ඇතුලේම ගෙල වැලලාගෙන මිය ගියේ පාසලේ සිටි ගුරුවරයෙකුගේ වාචික සහ ශාරීරික තර්ජනයක් නිසාය. ඒ් සම්බන්ධව කල හැකි කිසිත් නැත. මෙවැනි දඩුවම් ලංකාවේ අනාගතයට සිදු කරනා බලපෑම සුළු පටු නොවන්නේය.

වලියකට ගියා යැයි කියා එකල පාසලේ සිටි විදුහල්පතිවරයා මාධවලාගේ පන්තියේ සිටි අසේලයාට වේවැල කැඩෙනකම් පහර දී තිබුනේ මාධවලා උසස් පෙල පන්තියේ සිටි කාලයේදීය. ඒ් ගුටිකෑමෙන් අසේලයා වලි වලට යන එක නැවතුනේද නැත. ඒ්වා මහ තේරුමක් නැති දණ්ඩනයන් ය.

එයට දුර ඈත කාලයක මාධවලා අටවැන්නේ ඉන්නා කාලයේදී කරුණාරත්න නම් වූ නපුරු යැයි නම් දරා උන් ගුරුවරයා එස්ලෝන් බටයකින් උසස්පෙළ සිසුවෙකුගේ පස්ස පැලීමට යාමේ ප්‍රයත්නය අවසන් වූයේ ක්‍රීඩා පිටිය මැද්දේදී ම ඒ් උසස් පෙල අයියා කරුණරත්න ගුරුපියාණන්ට අල්ලාගෙන රිඹ යන්න නෙලීමෙන්ය. වෙනත් සිසුන් ඉදිරිපත් වී ඒ් උසස්පෙල අයියා පැසෙකට කලේ නැත්තං පාසල තුල වෙනනම පරිච්ජේදයක් ඒදා ලියවෙන්නට තිබුනේය. එදා පටන් මාධවලා ද නිර්භීත සෙයියාවෙන් ගණන් පන්ති යන කාලයේ වතුර බටේ ගැලවීම සහ කෙසෙල් කැන් කැපීමේ කටයුතු වලටද හවුල් විය.  ඒ්වා ශාරීරික දණ්ඩනයේ අතුරු ඵලයන්ය.

මාධවලා එකොලහ පන්තියේ උන්නු කාලයේදී විද්‍යාව ඉගැන්වූ නිශාන්ත ගුරු මහතාව ගෞරවයෙන් සිහිපත් කිරීමට මාධවට හැකිය. හෙතෙම ශාරීරික දඩුවමක් කිසි දිනක ළමයෙකුට ලබා දුන්නා යැයි මාධව අසා නැත. මාධව එකොලහේ පන්තියේ අවසාන වාර විභාගයේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න පත්තරයට අදාල (අවසාන වාර විභාගය - සාමාන්‍ය පෙළ එහෙම නොවේය!!!) සමීකරණ කීපයක් පොතෙන් කොපි කිරීමට යෑමේදී අතේ මාට්ටූ වීමේ සිද්ධිය මාධවට එතුමා සමග ඇති අවසානම සිදුවීම ය. මාධවගේ පියා ද විද්‍යා ගුරුවරයෙක් වුවද මාධව නිශාන්ත ගුරු මහත්මයාගේ විද්‍යාව පන්තියටම ගියේ එතුමාගේ මෙම ගුණය නිසාය.

ඉලෙක්ට්‍රොනික විශය ඉගැන්වූ ගුරු භවතා අන්තිම වසයාය. ගලාට කන පැලෙන්න දුන් කන්කොත්තුව මතක් වෙද්දී මාධවගේ දෙකකුල් අදටත් පණ නැතුව යන්නේය. ආන්න ඒ් කන් කොත්තුව මාධවට ද කෑමට සිදු වේ දැයි කල්පනාවෙන් පිළිතුරු කෙසේ ලිව්වේ දැයි මාධවට දැන් මතක නැත. ඒ්ත් නිශාන්ත මහතා පුද්ගලිකව මාධවට කතා කර ගැටලුව විසඳු අයුරු මාධවට අදටත් ගෞරවයෙන් මතක් කල හැකිය. කිසිවෙකුට හානියක් නොවීය. එදා ඔහුට  පොරොන්දු වූ පරිදි මාධව අදටත් එය ආරස්සා කරන   බව ආඩම්බරයෙන් කියන්නේය. මාධවට මතක හැටියට අලබාමා නොහොත් දිම්මාට මෙම සිදුවීම මතක ඇතැයි මාධව සිතන්නේය.

වේවැල නොමැතිව දැනෙන්නටම ගැටලු විසඳීම කල හැක්කේ එවැනි උසස් ගුරුවරුන්ටය. උසස් දෙමාපියන්ට ය.

මාධවට හා ඔහුගේ බිරිඳට තවම දරුවන් නොමැත. දරුවන් හදන්නේද නැත්ද යන්නත් මාධවලා ලොකු තීරණයක දැනට නැත. නාකි වුවද ඒ්ක එහෙමය. කෙසේ වුවද මාධවගේ බිරිඳට වූ අකරතැබ්බයකින් මේ කතාව නිම කිරීමට මාධව සිතන්නේය. ළමයි හදන කාලයක උන්ට තරවටු කිරීම වෙනුවට ආදරයේ මාර්ගයට යාමට මාධව කැමැත්තේ මෙවැනි අත්දැකීම් නිසාය.

මාධව එකල වැඩ කලේ ලුණුවිල පොල් පර්යේෂණයේ පැත්තේය. පොල් සම්බන්ධ කටයුතු වලට ඉතා අත්‍යවශ්‍ය වන පළිබෝධ නාශනය සම්බන්ධ ලංකාවේ උන් විශේෂඥ මහත්මයෙක් සමග ය. එකල මාධවගේ බිරිද ඈ ඉගැන්වූ පාසලේ ඇගේ පන්තියේ ළමයෙකු සම්බන්ධව  කටයුතු කිරීමේදී ඒ් ළමයාට කල තරවටු කිරීමක් නිසා ඒ් දරුවා සිය රෝද පුටුව තනිවම හසුරවාගැනීමට නොහැකිව ඇද වැටීමෙන් හිස  වැදී මහ කළබගෑනියක් සිදු විය. ඒ් කාලයේ මාධවලා විවාහ වී නැතත්  මාධවගේ බිරිද ඒ  දරුවාට සුව වන තෙක් වින්ද සිත් වේදනාව, පසුතැවිල්ල හා කල් ගෙවූ බිය මාධවට හොඳින් මතක ය. එදා ඒ් ළමයා මලා නං හෙම!!  කතාව සහමුලින්ම වෙනස් ය.

ළමයෙකුට ආදරයෙන් කතා කිරීම තර්ජනය කිරීමට වඩා අර්ථදායක බව මාධවගේ අදහස වන්නේය. තර්ජනයට බියෙන් වැරද්ද සැඟවී සිදු කිරීමට පෙළඹීමට ඉඩ ඇත. එසේත් නැතිනම් බොරුවෙන් ජීවත් වීමට ළමයා ඉඩ සලසා ගනු ඇත. පුරුදු වනු ඇත. දෙමාපියන් හෝ ගුරුවරුන් රැවටීමට හෙතෙම මනාව ඉගෙන ගනු ඇත.  අවසානයේ යහමගට ගැනීමට දුන් ගුටි බැට නිසාම ලමයෙක් නොමග යා හැක්කේය. දරුවෙක් සමග අවංක වීම දරුවන්ද වැඩිහිටින් කෙරේ අවංක වනු ඇතැයි මාධව විශ්වාස කරන්නේය.

අවසානයට පෙර කතාව වශයෙන් මාධව ලගදී බැලූ සිනමා සිත්තමක් ගැන කීමට කැමැත්තේය. මලයාලම් නලු “ජයසූරියා” රංගනයේ යෙදෙන එම මලයාලම් සිනමා සිත්තම ක්ෂණික කෝපය නිසා දරුවෙකුගේ ජීවිතය අහිමි වීම සම්බන්ධව සිදුවීම් ජාලය මනාව ඉදිරිපත් කර ඇත. ලංකාවේ බහුතරයක් අම්මලා තාත්තලාට අනිවාර්යයෙන්ම පෙන්විය යුතු කතාවක්ය. ඒකේ නම Anveshanam - අන්වේශ්නම් ය. ඒ්කේ අන්තිමට මරණ පරීක්ෂකවරයා කියන කතාව ඉතාම වැදගත්ය. හරිම වටිනා එකක් ය.

 

from google search

“තවත් දඩුවම් මොකටද? එයාල විඳවන එකම හොඳ දඩුවමක් නෙමෙයි කියලා හිතෙන්නෙ නැද්ද?”

දැන් ලංකාවේ සිදුවීමේදීද ඒකම කියනවානම් කිව හැකිය.

අවසාන වශයෙන් මාධව කියන්නේ ලංකාවේ මිනිස්සු දැන්වත් වෙනස් වීමට මෙම සිදුවීම ආධාරකයක් කර ගත යුතුව ඇත්තේය. ළමයින්ගේ ශරීරයට තැලීමේ ක්‍රියාමාර්ගය වෙනුවට “මනසට ආදරයෙන් තට්ටු දැමීමේ කාලය” දැන් ඇවිදින්ය. නැතිනම් තව තවත් ලංකාවේ අනාගතයට උර දීමට ඉන්නා ජීවිත අකාලයේ මියදෙනු ඇත. 

දඟකාරයෙක් වුවද ඒ් ඇට්ටර ගතිගුණ නිසා  රටට වැඩදායක, ලෝකයට වැඩදායක පුරවැසියෙක් බිහි කිරීම අත හැර දැමීම අනවශ්‍යම වන්නේය. 

එපමණය.

5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අනිවාර්යෙන්ම. වටිනා ලිපියක්. කතා කල යුතුම මාතෘකාවක්.

    නමුත් අවාසනාවට බොහෝ දෙනා සිතන්නෙ අපිත් පොඩි කාලේ ගුටි කෑව නිසා අපේ උන්ටද තැලිය යුතු බවය.

    එය ලමයින්ගෙ මනසට හා ඉගෙනීමයත් එමෙන්ම මුලු ජීවිත ගමනටමත් අයහපත් ලෙස බලපානු ඇති බව මනෝ විද්‍යාඥයන්ගේ මතය.

    නමුත් අවාසනාවට ලංකාවේ තවමත් පැරණි හනමිටි කාරයෝ නිසා බොහෝ ප්‍රශ්න උද්ගත වී ඇත.

    මේ ඔබතුමා සඳහන් කර ඇති පිලුම් එක බලා නැත. එහෙත් ඊට සමාන පිලුම් දෙකක් බලා ඇත.
    එකක් හින්දිය. thaare zameen par ( Stars on earth)

    අනික සූර්යා පනපොවන තමිල්නාඩු නම් වෛද්‍යවරයෙකු සිටින දමිල චිත්‍රපටියයි.

    මෙ දෙක යම් කිසි රෝගාබාධ සහිත ලමයින් ගැන වුවද ඕනිම ලමයෙක්ට ඒ ආකාරයෙන් සැලකීම ඉතා වටනේය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයයෙන්ම කාලීන ලෙසට අධ්‍යාපනය වෙනස් වීමෙන් මෙම ගැටළු වෙනස් කල එහැකි බව මාධවගේ විශ්වාසයයි!!

      Delete
    2. අපිට තම තමන්ට තමයි ඉගෙන ගන්න වෙන්නෙ. මේ යන විදියට නම්

      Delete
  2. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
Previous Post Next Post

Contact Form