වේදිකාව මත කතාන්දරය........

 

පාසලේදී විවිධ ඇත්තෝ වේදිකාවට ගොඩවන්නේය.

මාධවද ඒසේ වේදිකාවක් වගේ එහෙක නැගලා ඇත්තේය.

මේ කියන්නට යන්නේ පාසල් කාලයේ කතාන්දරයක්ය.  

මේ ළගදි දුවන්නට පාසල් ක්‍රීඩා පිටියට ගියහම සියලු කතාන්දර අතුරින් කීපයක් මතක් උනේය.  ඇපල් චතුරංග ද ඇතැම් දිනවල මාධව සමග එක්කාසු වන්නේය. ඌත් එක්ක ඈත කදු වැටිය වසා ගලන අඳුර දෙස බලාගෙන ඒ් කතා ආවර්ජනය කිරීම සුන්දරය.

මේ සියලු කතාන්දර ඇතුලේ අතුරු කතාන්දරද ඇත්තේය! ඒ්වාද කියන්නේය.

පළමුව කියන මේ  සිද්ධීය මාධවලා එකොලහේ ඉද්දි උනේය. ඔන්න එකොලහ පන්ති  වලදි මාධවලා හිටියේ තට්ටු 3ක හෝල් එකක උඩම තට්ටුවේය. ඉතිං එතන ආතල්ය. විදුහල්පතිතුමාගේ කාර්යාල කාමරේ හොදට පේනවාය. සිරිපාල අංකල්ගේ කොටු සරමේ පාට මොනාද කියන්න තරම් හොදට කාර්යාලය පේනවාය. කවුරු හරි වගකිව යුතු  කෙනෙක් එනවනම් කලින්ම කස්ටියට වැරදි නිවැරදි කරන්න කාලේ ගොඩක් තියනවාය. නියම තැනය..

අවුරුදු නිවාඩු කාලය ලං වෙමින් පවතින්නේ මේ කාලයේදීය!!!

ඉතිං මාධවලගෙ එකොලහ ඊ පන්තියේ දවසක් බෙල්ලෝ ගහනවාය. අලියා, පැතුමා, වාචාලයා නොහොත් වාචා, ගලා තව ඩී ක්ලාස් එකෙන් එකෙන් කසුනයා, ගුලියා, චන්දනයා ඇතුලු කට්ටියකුත් හිටියේය.

ඔය කී කසුනයා කුඩු වසංගතයේ ගොදුරක් ලෙස හෙරෝයින් ගසා දුරුවල වී අකාලයේ මිය පරලොව ගියේය. ක්‍රීඩාවන්ට සහ ඉගෙනුමට දක්ෂ කොලුවෙක් වූ කසුනා අපල මිත්‍ර ඇසුර නිසාම කෙලවා ගත්තේය. කුෂානයා සහ මාධවයා, මහ වැස්සේ ගෙදරට වී ඇද රෙද්ද යට ගුලි වී උන්නු මුණයාද කටුවෙන් එළියට ඇදගෙන මාධවගේ පරණ සුදු  බට්ටා වෑන් රථයේ නැගී මහ වැසි මැද ඉලව් ගෙදර ගියේය. ඇපල් චතූ ද ඇවිත් උන්නේය. ජයනාතයාද අකිලයාද ඇවිත් උන්නේය. නිසංසලා, මනෝජ් පප්පා ඇතුලු කාණ්ඩයක්ද ඇවිත් උන්නේය. බක චින්තක සහ චානකයාද ඇවිත් උන්නේය.

මල ගෙදර  ඇතුලත කසුනාගේ අසරණ අම්මා ඇගේ කුසින් වැදූ එකම දරුවා‌ දෙස බලා කඳුලු වියලා ගනිමින් උන්නාය. නිවසේ සාලයේ පැත්තකට වන්නට සුදුමැලි වූ කසුනා‌ නිහඩව වැතිර උන්නේය.

මහ වැස්ස ඇරඹුයේ පාංශකූලය දෙනවාත් එක්කමය.

ඉක්බිති උගේ නිසල සිරුර උස්සං කැරකෝප්පුව කරා දුවන්නට හැට හුට හමාරක් යාලුවෝ උන්නේය. හැබැයි කසුනා නොමග යද්දී ඒ් යාලුවෝ හිටියේ කොහේද කියා මාධව අද වනතෙක් දන්නේ නැත. ඇහුවේද නැත. අහන්නේද නැත.

ඒ්වා “ලබ්බේ” යාලුකම් ය! මේක 2018 වසරේ අතුරු කතාවක්ය.

ආයෙත් පාසල් කතාවට යමුය!

ඉතිං මාධව සූදුවට ගියේ නෑය. ඒක එච්චර මාධව ආස පැත්තක් නොවේය. ඒත් ඉතිං මාධවලා ඇතුලු අනික් කස්ටිය බලං ඉන්නවාය. ඒ කියන්නෙ සෙල්ලම් නොකරන කස්ටිය වෙනමම නරඹන්නෝය. ඔන්න ඔහොම ඉන්නකොට මාධව එක පාරටම සාක්කුවේ තිබ්බ රුපියල් 20ක් අතට අරන් අතේම තියාන අර සෙට් එක මැදට දික් කරලා ඔත්තේ ඔත්තේ කියලා කෑ ගැහුවේය. ඒ් වැඩිදුර හිතලා නොවේය. බෙල්ලෝ කෙලිය නැගලා යන වෙලාව දැන් සුපිරිය. කට්ටියට ඔට්ටු අල්ලන්න මාර හදිස්සියක් තියෙන්නේය. ඉතිං පැනපු ගමන් වින්ඩෝස් 99 ගලා මාධවගේ අතේ රු 20ක් තියලා හරි රෙට්ටෙ කියලා ඔට්ටුව අල්ලලා,  තවත් එකෙක් එක්ක ඔට්ටුවක් අල්ලන්න අනික් පැත්තට හැරුනේය.

යකෝ ඒ්ක වාසනාවය. මාධවයා ෂිං ෂිං ගාලා මාරු වූයේ නිකම් නෙමෙයි සුධීරයාත් එක්කය. ඔට්ටුව ලොවෙත් නෑය. මාධව රු 40ත් අරන් සුධීරයා එක්ක කැන්ටිමට මාරු වූයේය. ගලා අද වන තුරුත් මේ කියනකල් උගේ ඔට්ටුවට මොකද උනේ කියලා දන්නේ නෑය. මොකද පොර ඊට පස්සෙ මාධවගෙන් ඒ ගැන ඇහුවේ ද නැත. මේ ළගදි කාර්යාලය පරිශ්‍රයේ දී හමු වී කතා කරද්දී ද මෙම සිදුවීම මතක් වූයේය.

ඒ් කාලයේ රු 40ක් යනු ලොකු මුදලක්ය. ඉතිං සුධීරයා එක්ක කැන්ටිමෙන් කෑවේය. ඌට ඒ්ක මතක නැතිද කියා මාධව දන්නේ නැත.

පලවෙනි කතාව ඒ විදියට නිම වන්නේය.

දැන් දෙවැනි කතාන්දරය කියන්නේය.

මාධවලා හයේ ඉන්නකොට මාධව එක්ක කල්ලියක් උන්නේය. ඇත්තම කිව්වොත් මාධව උන්ගේ කල්ලියේ එල්ලිලා උන්නේය. සිස්ත්වේ කියන කාළකන්නි විභාගය සමත් වූ  මාධව සිස්සත්ත පන්තියට වැටුනේය. ජානක, චන්දන, නිෂාර, බුද්ධි, රුක්ෂාන්, මාතොට, ලක්රුවන්, අලියා, ලලන්ත, රණා, පුබුදු, ඉසුරු, සමන්, හීන්කෙන්ද, ලලිත් (ගොඩක් එවුන් වෙන වෙන පාසල් වලින් අලුතෙන්ම ශිෂ්‍යත්වෙ පාස් වෙලා ආපු කස්ටියක් වූයේය ) ඇතුලු කොලු සෙට් එකක් වගේම නම කපන ලද කෙල්ල, නිර්මලා, ප්‍රශානි, සනූජා, සුමේධා, තුෂාරි, නිලූෂිකා, ඇතුලු (වෙන වෙන පාසල් වලින් අලුතෙන්ම ආපු ගෑනු ළමයි ටිකකුත් එක්කම) කට්ටියක් ඒ් පන්තියේ උන්නේය. මාධවලගෙ පන්තියේ 45ක් විතර උන්නා මාධවට මතකයක් ඇත්තේය.

අමිල, දිමුතු, කුෂාන්, කසුන් ඇතුලු පිරිසක්  වෙන ක්ලාස් එකකට(6 බී පන්තියට) වැටුනේ උං සිස්සත්වේ ෆේල් උන නිසාය. ඉතිං මාධවලා හයේ ඉන්නකොට මාධවලගෙ ඉස්කෝලෙ ඉදපු විදුහල්පති තුමා මාර සැර එක්කෙනෙක්ය. අනික ප්‍රාථමිකේ ඉදල මේකට ආපු මාධවලාට මේ විදුහල්පතිව පෙනුනෙ යකෙක් වගේය. ඉතිං හයේ මාධවලා සේරම මාර බයයිය. මොකද ප්‍රාථමිකේදි මහ විසාල කොල්ලෝ ඩෙස් උඩ හරහට දාගෙන අල්ලගෙන වේවැල් කසාය දෙන විදුහල්පති තුමෙක් දැකලා නැති නිසාය . ඉතිං මාධවලා චූ යන තරමටම බයයිය. මාධවට නම් ඈතින් දැක්කත් ඇතිය.

 ඉහත කී තට්ටු තුනේ බිල්ඩිම තැනීම ආරම්භ කලේ මේ කියනා 1999 / 2000 කාලයේ නිසා මාධවලාට ස්ථීර පන්තිකාමරයක් නොතිබුනේය. උන් සේරම උන්නේ පාසලේ රැස්වීම් ශාලාව තුලය.

ඔහොම ඉදපු එක දවසක නපුරු විදුහල්පති තුමා හයේ පන්තියට පැන්නේ දරුනු පෙනුමකින් යුතුවය. පැනලා අල්ල ගත්ත ගමන් එහා පන්තියේ කුෂානයගෙ තුවාලයක් පෑරෙන්නම පාර දුන්නේය. පස්සේ දන්නේ කුෂානයාගේ පියා සහ මේ විදුහල්පතිතුමා ගජ මිතුරන් නිසා මූට අඩි පොල් ලැබුනු බවය (ඒ් තුවාලය පෑරීම සම්බන්ධව වෙනමම කතාන්දරයක් ඉන්පසුව ඇතිවූයේය.) විදුහල්පති තුමා එදා කුෂානයාගේ තුවා‍ලෙ බේර බේර ගහන්න ගියා නම් ගුටි කන්නෙ කුෂානයා විතරයිය (කුෂානයා ගුටිකන අතරේ අනික් එවුන්ට වාඩි වෙලා පිලිවෙලක් වෙන්න වෙලාව තිබුනේය). ඉතිං කුෂානයට දෙකක් වේවැලෙන් දීලා පන්නලා දාලා විදුහල්පතිතුමා කෙලින්ම ආවේ මාධවලගෙ පන්තියටය . ඇවිත් පන්ති නායකයගෙන් ඇසුවේ සරල ප්‍රශ්නයක්ය

“ කවුද මේකේ කෑ ගැහුවෙ....??

 ඉතිං අලියා එක එකාගෙ නම් කියනවාය. බුද්ධි, අරූ මූ .... එක එකාගේ ශ්‍රී නාම ලැයිස්තුවම මූ වමනේ දානවා වගේ කියවාගෙන යන්නේය. සමහර විට අලියා සේරටම වඩා බය වෙච්ච පාර නිසා විය යුතුය.  ඉක්බිති බලු අලියා  එකපාරටම  "සර් මාධව......... " යැයි කිව්වේය.

හුටා! .... දැන් ඉතිං කාපියකො කියලා හිත හිත මාධවත් නැගිට්ටේය.

දනිස් මැණ්ඩලීන් ගහන්නේය. අනික් උන්ට වැදුනු පාරවල් සරල ඒ්වා නොවන බැවින් සැබැවින්ම මීට පෙර වේවැල් කසාය නොලාබා උන් මාධවට ඇඩෙන්නෙටම ආවේය.

 විදුහල්පති තුමා මාධව ඉස්සරහට ආවේය. අතේ තියෙන වේවැල් කෑල්ල මාධව ඉදිරියේ බැබලෙන්නේය. ඒක දෙකට කැඩුනේ බුද්ධියාගේ පුප පැලීමේදී ය. දැන් මාධවට ඇඩෙන්න ඔන්න මෙන්නය. ඇස් වලට කදුලු එනව වගේ දැනුනේය. මාධවගේ වටේම බොද වෙලා යනව වගේ දැනුනේය. ඒ අස්සෙ මෙන්න යාන්තමට මාධවට ඒ් වදන් ඇසුනේය

"මාධව පව් නිසා මෙයාට ගහන්නේ නෑ

(පව් කියන්න හේතු දෙකක් තිබුනා කියලා මාධවට හිතෙන්නෙ දැන් මේ කතාව ලියද්දීය. එයින් එක හේතුවක් පැවසීමට මාධව කැමැත්තේය.  ඒ මාධවට ඇඩෙන්න ආපු එක විය යුතුය. )

ඉබ්බා දියේ දැමූ සේ මාධව අසුන්ගත්තේය. අනුන් ඉදිරියේ ඇඩෙන්නට ගිය එකට ලජ්ජාවෙන් බිම බලාන උන්නේය. විදුහල්පතිතුමා ද ආයේ කිසිත් නොඅසා තඩි බෑම නවතා යන්නට ගියේය.

ඔයින් පසු කලෙක මාධව රන් මාලු මිලදී ගැනීමට මින් මැදුරට ගොස් විශාල රන් මාලූන් දෙදෙනෙක් මිලදී රැගෙන පාර අයිනෙන් ඇවිද පියා සමග එන්නේය. විශාල වෑන් රථයක් හනික මාධවලා අභියස නැවැත්වූයේය. ඒ් අසල වූ රජයේ කුවාටස් ඒකේ පේර ගසක් උඩට වී ප්‍රශානි ඇගේ  මල්ලී සමග  උන්න බවක්  මාධව දැක්කා මතකයක් ඇත්තේය. ඒ් අසල අමිල ටොමියාගේ ගෙවල්ද ඇත්තේය. උන් දෙන්නා දැන් බැදලා ය. ඒ්වා ඒ් කාලේ ඉදං රහසේ ආව සිදුවීම් වත්දෝ කියා මාධව සිතන්නේය.

මාදවගේ පියා කා සමගදෝ වෑන් රථයේ ජනේලෙන් කතා කර ඉන් පසු  මාධවද වඩාගෙන ඉදිරිපස අසුනේ අසුන් ගත්තේය. ඒතකොට මාධව පොඩි ඒකා නිසා බර නැත.

රථය තුල හරි බහි ගැසී බලද්දී රියදුරු තැන වෙන කිසිවෙක් නොව අඩි පොල් ලබා දීමට පන්තියට පැමිණි විදුහල්පතිතුමාය. එදා සිදුවීම ගැන කිසිත් කතා නොකර සිය දරුවෙක් සේ මාධවව හුරතල් කල විදුහල්පතිතුමා නිල නිවාසය තෙක් එන නිසාම මාධවලාද රථයේ නංවා රැගෙන ආවේය. නිල නිවස තුලට පැමිණි  හෙතෙම මාධවව කැඳවාගෙන ගොස් ඔහුගේ විශාල මාලු ටැංකිය පෙන්වූයේ මාධවගේ සිතෙහි ඔහු පිළිබදව ඇති වෛරය නිමා කරවමින් ය.

මාධවලාගේ පාසලේ වාර්ෂික ගුරු සුභසාධන විනෝද චාරිකාවකට සම්බන්ධ වීමට මාධවට ඉඩ ලැබුනේ ඔහුගේ පියා එම පාසලේ විද්‍යාගුරු භවතෙක් නිසාය. ඒම චාරිකාව්දී මාධව ඔහුගෙන් දුටුවේ විනෝදකාමී පුද්ගලයෙක් ය. ගාලු කොටුවේ ඉතා උස ප්‍රදීපාගාරය යටට වී ඉසිඹුලන මාධවලා ඇතුළු  පොඩි උං හැමෝටම රු 10 ක් වූ WALLS අයිස් ක්‍රීම් අරන් දුන්නේ ඒ් නපුරු විදුහල්පතිතුමාය.  එදා ගිනි විදින දෑසින් මාධවලා දෙස බැලූ මාධවලා දහස් වරක් වෛර කල විදුහල්පතිතුමාය.

එදා එක පාරටම තේරුන් නොගියත් මාධව ටිකක් ලොකු වෙනකොට දැන ගත් දෙයක් ඇත්තේය. විදුහල්පති වරු කියන්නෙත් මිනිස්සුය. උන්ටත් ළමයි ඇත්තේය.  ළමයින්ට ගහන හැම මොහොතකම ඔවුනුත් වේදනා විදින්නේය. තමාගේ දරුවන්ද සිහිපත් වන බව මාධව දන්නේය. නමුත් වේවැල් කසාය යනු ජනප්‍රිය දඩුවමක් ලෙස ලංකාවේ ලියාපදිංචි වී ඇත. ඒසේ හෙයින් විදුහල්පතිවරුන් එයට හුරු වී ඇති එක ලංකාවේ අවාසනාවය.  මේ 1999 වර්ෂය ය.

මෑතකදී ඒ් විදුහල්පතිතුමා මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට සම්බන්ධව අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට පැටලුනු අවාසනාවන්ත තත්වයකට පත් වූ බව මාධව පුවත් මගින් දැනගත්තේය. 

පසුකලෙක මිය පරලෝ ගිය කරන්නාගොඩ ගුරු මහතාගේ වේවැල් කසාය සහ මාධව උසස් පෙල කාලයේදී උන්  විජේරත්න විදුහල්පතිතුමාගේ වේවැල් පාරද නොකා බේරී ඇත්තේ අනූ නමයෙන්ය.

කෙසේ වෙතත් විජේරත්න විදුහල්පතිතුමා ලේ පනින්ට මාධවලාගේ පන්තිවල උන්  අසේලයාට දුන් පෝරියල් එක නම් මාධවට තාම මතකය.

සිදුවීමෙන් පස්සෙ මාධව ආයේ කවදාවත් විදුහල්පති වරුන්ට බය උනේ නෑය. කවදාවත්ම. හැබැයි විදුහල්පති තුමෙක් ක්ලාස් එක පැත්තේ එනවා දැක්කොත් ඉස්සෙල්ලම කඩාගෙන බිදගෙන දුවන එවුන් අතරේ මාධව ඉදිරියෙන්ම උන්නේය.

 

1999 වසරේ ඉහත කී හය පන්තියේම  කල් ගෙවන කල්හි  විමලරත්න මැඩම් මාධවලාව මුලු 6 වසරටම දර්ශනය වෙන්න කියලා ස්ටේජ් එකේ හිටෝලා තිබ්බේය. දැන් විමලා මැඩම්ගේ බෑනා ජයනාතයාය. විමලා මැඩම්ගේ දුව තුෂාරිද උන්නේ මාධවගේ පන්තියේය. කෝම හරි උන් දෙන්නා දැන් බැදලා සුන්දර ළමයි දෙන්නෙක්ද ඉන්නේය. ඒ් ආදී වූ පාසල් කපල් වල රෙදි ගැලවීම මාධවයා නුදුරේදීම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේය.

ඉර උණුසුම් සවස් වරුවේ පන්තියම එකම ඝෝෂාවක්ය. අනික් පන්තියේ ඉදපු විමලරත්න මැඩම්ට පාඩම කරන්න අමාරුයිය. මැඩම් සිංහල ඉගැන්වූ ගුරුවරියක්ය. මැඩම් මාධවලගෙ පංතියට ඇවිත් පළමු තර්ජනය කලේය. කෑ ගැහුවොත් “හොද වැඩක් කරනවා” යැයි පවසා යන්නට ගියේය. විමලා මැඩම් එහෙම ළමයින්ට සැර කෙනෙක් නොවන්නේය. ළමයින්ට ඈ ආදරණීය වූයේය. (ඇතැම් සිදුවීම් කෙසේ වුවද)  ඉතිං මාධවලා ඒක විශ්වාස කලේ නෑය. ඈ කට කැසූ විට කියන කියමනක් ලෙස සලකා තර්ජනය නොසලකා හැරියෝය. ආයෙත් ටික වෙලාවකින් රණා, ඉසුරු, මාධව ඇතුලු සෙට් එකක් පිස්සු නටන්නේය. ඉතිං මාධවලාව ඇදගෙන වේදිකාව දෙසට ඇදගෙන යනකම්ම මාධවලාට දැනුනේ නෑය.පුංචි අත් පොඩි වලින් තරයේ අල්ලාගෙන හෝල් එකේ එහා කොනේ තිබ්බ ස්ටේජ් එකට නග්ගලා " අත් උඩට උස්සන් ඉදපල්ලා " තදින් පවසා ඈ යන්නට ගියේය. රණාවද ඇදන් ඇවිත් මාධවට අඩියක් එහායින් හිටවූයේය.

දැන් සැපය.

“ මිත්‍රවරුණි, වේවැලෙන් පහර දීම යහපත් දෙයක් බව මිනිත්තු පහක් ඔබගේ අත් ඉහලට  ඔසවා තබාගත් විට ඔබට මනාව වැටහෙනු ඇත

-          මාධව අයින්ස්ටයින් !!”

ඇඟිලි තුඩු මතින් ඇරඹුනු හිරි වැටීම දෑත් දිගේම පහලට ගලා එමෙන් පවතින්නේය. අත් ඔසවා මිනිත්තුවක් ගත නොවූයේය. හිරි වැටීම ඇරඹුනේය. මාධවට වම් පැත්තෙ හිටපු රණා " අඩෝ ගුටි කෑව නම් මීට සැපයි බං " කියලා කිවා මතකයක් මාධවට ඇත්තේය. අත් ඔසවාගෙන සිටීම මදිවට විමලා මැඩම්ගෙන් ගුටි කෑමට සිදුවේ යැයි බියෙන් මාධවලා අත් ඔසවාගෙනම ඉන්නේය.. කොහොම හරි මාධවලා කස්ටිය 6ක් හෝ 7ක් සිටි බව මාධවට යන්තම් මතක ඇත්තේය.  මාධව ඔලුව උස්සලා ඉස්සරහ බලද්දි අනික් පන්ති වල එවුනුත් මාධවලා දිහා බලබල ආතල් ගන්නා බව දැක්කේය.  දැන් නම් ලැජ්ජාවේ ඇඹරීමට සිදු වී ඇත්තේය. අත් පාත දාන්න හදද්දිම මැඩම් ඒ පැත්ත බලනවාය. ඉතිං අමාරුවෙන් ආයේ ඒ අත් උඩට උස්සගෙන ඉන්නවාය.

 ඒ් සියල්ල අතරේ මාධවට තාම හොදට මතක සිදුවීමක් ඇත්තේය.

බී පන්තියේ කෙල්ලන්ගෙ පැත්තේ ඉස්සරහම පෝලිමේ මැද ඉදපු පියුමි අමාරුවෙන් හිටගෙන ඉන්න මාධවලා දිහා බලලා ලස්සනට හිනා වූ අයුරු මාධවට මකතයක් ඇත්තේය. ඒ් කාලයේ කසුනා සහ පියුමිගේ නම අමුණා අමිල ටොමියා විසින් කසුනාට විහිලු කල අයුරු මාධවට දැන් මතක් වන්නේය. පියුමි ඇයගේ මිතුරිය වූ ලසන්තිට මොනාදෝ කිව්වේය. යලිත් මාධවලා දෙස බලා උන් දෙන්නාම කැකිරි පැලුවෝය.

ඉක්බිති  ඉස්කෝලෙ ඇරිලා යද්දි ආයෙත් මාධවලාට විමලා ගුරුතුමිය හමුවිය.

 " මාධව තරහ නෑ නේද? " ඈ නිවුන සුවරයෙන් ඇගේ සුපුරුදු සිනහවෙන් යුතුව ඇසුවේය.

“අපෝ නෑ මැඩම්” මාධව සුපුරුදු කැත හිනාවෙන්ම ඈට කිව්වේය.

කතා ටික ඉවරය.

-------------------------------------------------------------------------------------------------------

පසුකතා -

1. අමිල ටොමියා වත්තේ මහත්තයෙක්ය - ප්‍රශානි දැන් ඔහුගේ සුන්දර බිරිඳ ය.

2. ඉන්ජිනේරු ජයනාතයා ගුරු වෘත්තියේ නියැලෙන තුෂාරි සමග විමලා මැඩම්ව බලාගෙන ජීවත් වන්නේය

3. විදුහල්පතිතුමා පිළිබද ඉතිරි තොරතුරු අවශ්‍ය නොවන්නේය.

4. ලලිතයාගේ වෙඩිමේදී විජේරත්න විදුහල්පතිතුමා හමුවී කතා කරීමට කදිම අවස්ථාවක් මාධවට සහ ඔහුගේ බිරිදට හිමිවිය.

5. පියුමි හෙද නෝනා කෙනෙක්ය. 

6. කසුනා පොලවට පස් වී වසර තුනක් ය!!!

7. මාධව කාබාසිනියා වී ඇත. ඒ්ත් රන් මාලු පිස්සුව නම් තවමත් ඇත්තේය.

 

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඔබගේ රසවත් ලිවීම; මා මගේ පාසැල් වියට පියමං කෙරුවෙමි! සමහර කණගාටුදායක යැයි එදා එවිට සිතුනු සිද්ධීන් පිළිබඳව අද හැරී බලන විට ඇතිවන්නේ සතුටකි! එය එසේම සිදුවියයුතු නොවේදැයි වරෙක මට සිතේ! හිර "කරුවෝද මනුෂ්‍යයෝය" වාගේම විදුහල් පති වරුන්ද මනුෂ්‍යයෝ වන්නාහ! ඒක ඇත්ත. බොහෝ විට සිදුවන්නේ ඔවුන් හා ගුරුවරුන් තුලින් ළමයින් වර්ගීකර්නය වීමයි. ඕනෑම බත් පාරසලයක් දිග හැරිය විට එහි පරිප්පු අල ඇතිවා සේම පාසැල් තුල කෙරෙන ප්‍රධාන පෙලේ කටයුත්තකදී සිටින්නේ ගුරුවරුන්ගේ ඇස්වට්ටියෙන් පෙරී ඉතිරි උනු කැලය! එහෙත් අකලට හේදී ගිය දලං කෑලි ජීවිතය ගොඩ දාගන්නේ උන්ගේම වාසනාවටය! හැකියාවටය!! ගැම්මටය!!! උන්ගේ තිබුනු රැඩිකල් ගතිය නිසාමය! මම මාගේ රැකියා ජීවිතයේදී විශ්වාසකල වැකියක් තිබුනා! "අනින ගොනා වැඩට දස්ස්ය!" එම වැකියයි. මෙය අපේ ගම් වල වයසක පහේ නූගත් එහෙත් බුද්ධිමත් වැඩිහිටියන් අතර තිබුනු කථාවක්! අනේ ඒ වගන්තිය ගුරු අභ්‍යාස විද්‍යාල වල ඇතුළුවෙන තැන කාටත් පෙනෙන්නට ගලක කොටා ගසා තිබුනා නම් මේ ලෝකය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට තිබුනේ යැයි මට සිතේ. වඩාත්ම ඛේදණීය තත්වය ලෙස මා දකින්නේ ළමයෙකුගේ නසරාණි ගතිය හඳුනා ගැනීමට අපොහොසත් වන ගුරුවෘනට වඩා එය ප්‍රයෝජනවත් කාර්‍යයකට හැඩ ගස්වා ගැනීමට නොදන්නා හා පුහුණුවක් නැති ගුරුවරුන්හා ඔවුන්හට ලබා දෙන පුහුණුවය.
    කථාව පටන් ගත්තේ එක් තැනකින් අවසානය ඔබේ ලිපියට කෙතරම් දුරකට ගැලපෙන්නේ දැයි මා නොදනිමි!

    ReplyDelete
    Replies
    1. සියල්ල යාවත්කාලීණ විය යුතුය. එය මාධවගේ අදහස වන්නේය. ඒ් අනුව ඔබගේ අදහස සරලවම ඒසේ බාර ගතිමි. ස්තූතියි කමෙන්ටුවට

      Delete
Previous Post Next Post

Contact Form