වරුසාවේ ගීතය - ඔලුකට්ටේ කතාන්දරය


 


එක්දාස් නමසිය බර ගණන් වල ලංකාවට නිදහස ලැබෙන්න ඔන්න මෙන්න කාලෙ මහා දේවල් වෙනස් උනා. ආන්න ඒ කාලේ ලංකාවෙ බිහිවෙමින් තිබ්බ අමුතු දේවල්.
 
මේ ඇත්තො අහල තියනවද දන්නෑ piano tuner කියල තනතුරක් ගැන. නෑ නෙව. හැබෑට දැන් ඒකට කියන්නෙ piano technician කියල. තාම එහෙම ඒව තියනව ඇති. සංගීත මාස්ටර්ලත් ඕව කරනවනෙ දැන්.
 
මහත්තයෝ සුද්දන්ගෙ කාලෙ ලංකාවට, සිලෝන් වලට පියානෝ ගෙනාව. පියානෝ එකට වහන්න උන් සිලෝන් වල ඉදපු ඉස්තරම්ම කොටියො, දිවියො මරන්න ගත්ත. ඕන්න ඔය දඩයම් කණ්ඩායමක සුද්දන්ට උදව් කරන්ඩ අපේ අප්පච්චි ගිහින් හිටිය. ඒ වෙද්දි නිදහස ලැබෙන්න ඔන්න මෙන්න...
 
දවසක් වෙඩි කාපු කොටියෙක් වෙඩි පාර කාගෙන ඇවිත් සුද්දව කන්න පනිද්දි අප්පච්චි පොරවෙන් ගහල කොටියව බාවල තියනව. 
 
ආන්න ඒ කලගුණේට සුද්ද මාව අරං ගිහින් ඉගැන්නුව. මට හොදට ඉන්ග්රීසිත් පුලුවන්.
 
එහෙම කිව්ව ඔලු කට්ට බස බස ගාල ඉංග්රීසි කියවන්න ගත්ත. නියම ඇක්සන්ට් (accent) එකෙන්, එහෙම නැත්තන් නියම විදියට කතා කරන්ඩ ගිහින් ආයෙම මුගෙ හක්ක පැන්න.
 
මාධව ආයෙම හක්ක නිසි පරිදි කණේ පාරකින් ස්ථාන ගත කලා....
 
උඹෙ කතාව සිංහලෙන් කතාව කියපන්.. මාධව නොඉවසිල්ලෙන් කිව්ව. අර ලමිස්සි මාධවගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට ලං උනා. ඒකිට කුතුහලේ.. කට කට ගාල හනු එකිනෙක හප්පමින් කතා කරන ඇටසැලික්ක බලන්න තවත් ලං උනා. කෙහෙ රැලි නැලවුනා. මාධව ඇය කෙරෙහි ඇලවුනා. 
 
ඒ මොහොතේ පසුබිමෙන් ඇහුණා.
"වීණාවී.... උරතලයේ රැදෙන්න
සත්සර රැව් නගන්න.. වීණාවී....."
 
හිස් කබල ආයෙම අතීතාවර්ජනය පටන් ගත්ත..
...............................................................................................
සුද්ද මාව අරං ගිහින් උගන්වන්න හැදුවට මොකද ලංකාවෙ උන්ගෙ උපන් ගතියද මන්ද මට ඉගෙනීම ඇල්ලුවෙ නැ. හැබැයි අරුමෝසම් වැඩ කෑලි හුරු උනා. ගිනි බිදින්නයි, සුද්දගෙ අරුම වාහනේ ඉස්ටාට් කොරන්න වගේ වැඩ පුරුදු උනා. ඒකෙනුත් හිත ගිය දේ තමා සුදු මහත්තයගෙ බංගලාවෙ සාලෙ පුරාවටම තේජසින් බැබලුන කලු පියානෝව. ඔය යාල කැලෙන් දඩයං කොරාන ආපු විසාල කොටි දෙනකගෙ හම ඒ පියානෝවෙ උඩින් අතුරලා තිව්න.
 
බලන්ඩ ඕනි කොටිගෙ දත් විලිස්සගෙන ඉන්න රග දෙන රෑ පහන් එලියෙන් දිලිසෙද්දි..ඇත්ත වගේ මහත්තයො.
ඒ සුදු මහත්තය ඉංජිනේරුවෙක් කියල තමා කිව්වෙ. රේල්ලුව සම්බන්ධව බලන ඉන්ජිනේරුවෙක්ලු.ඒ මහත්තැන්ට හිටියෙ තරුණ දුවෙක් විතරයි.නෝන කැලෑ උණ දරාගන්ඩ බැරුව මැරිල කියල කතා උනා.
ඉටි රූපෙ වගේ සුදු ලස්සන දුවත් එක්ක සුදු මහත්තය මේ බංගලාවේ සේවක සේවිකාවෝ පිරිවරාගෙන ජීවත් උනා.
බංගලාවෙ සුදු මහත්තයගෙ තරුණ දෝනි ඔය කියන පියානෝ එකෙන් එකේක විදියෙ නාද මවනව. නේක රටා. සමහර ඒව අහන් ඉන්ඩ ආසයි. හිත නිවෙනව. සමහර ඒව අමාරුයි. සුද්දගෙ දේවල්නෙ.හැබැයි මම ඒකට වහ වැටුන. ඒ වගේ දෙයක් කවදාවත් දැකල තිබ්බෙ නෑ. සුදු සහ කලු පාටින් පිලිවෙලට අතුරලා තිබ්බ යතුරු (පස්සෙ කාලෙක දැනගත්ත ඒ තමා ස්වර වාදනයට ඇත් ඳල වලින් හදපු keys කියල.)එකේක විදියට ඔබන්න පුලුවන්. කාලෙකට විශේසෙන් වැස්ස කාලෙට ඒ හඩ මිහිරියාව නෑ...ඒ කාලෙට තඩි බඩකුත් තියන උස සුදු මනුස්සයෙන් ඇවිත් පියානෝවෙ පියන උස්සගෙන ඇතුලට ඔලුව ඔබාන මොනාදෝ කරනවා.. පැයක් දෙකක් යද්දි හඩ ආයෙම මිහිරියි.
ආන්න ඒක වීරකමක් වගේ දැනුනම මම ඒ මනුස්සයා ආවම ගිහින් බලන් ඉන්ඩ පුරුදු උනා..
 
දවසක් සුදු දෝණි දුකෙන් පියානෝව සවුත්තු වෙලා කිව්වම මම වීරයා වගේ පැනල සද්දෙ හදල දුන්න..කණට හුරු උන ශබ්දයෙන්. සුද්ද මවිත වෙලා බලන් උන්න. සැකෙන් වගේ ඉදපු සුදු කෙල්ලට හීන් හිනාවක් ගියා.
ආයෙ අර මනුස්සයා බංගලාවට ආවෙ නෑ.. පියානෝව නිත්යානුකූලව මට බාර උනා..
 
පියානෝව වයන ඇත් ඳල පාට බවලත් කෙනා ගැන සිතක් පහල වෙන්ඩ ඒ නිසාම වැඩිකල් ගියේ නෑ.
සුදු කෙල්ල පියානෝව වයද්දි බිම වාඩිවෙලා ඒ තාලෙට නැලවෙන්න මට හැමදාම අවකාශ ලැබුනා.
සමහර දාට සුදු මහත්තැන් ඇවිත් රතු පාට ලේ වාගේ වුනු රතු වයින් පුරවපු කෝප්ප අතේ තියාන සුදු කෙල්ලගෙ වාදනය රස වින්දා.
ඒ හැන්දෑවන් මනරම්. අහස වගේ.
ඒ අහසම අදුරු වෙන්න කාලයක් ගියේ නෑ.
ගෙදර කවුරුත් නැති දවසක් බලල නාන කාමරේට පැනල සුදු කෙල්ලට හදි කරද්දි මට යන්තම් වයස දහනමයක් මහත්තයෝ. කන්න දුන්නු අත හපා කාල පලවෙනි පව පුරවගද්දි දහනමයෙ ඉලන්දාරියෙක්. ඉලක්කමේ වරැද්ද මහත්තයෝ. දහනමය නරක ඉලක්කමක්.
ලබ්බ.. මාධව හිතුව. වැරදි කරන එකාට ඉලක්කමක් අදාල නෑ.
තොගෙ චේතනාවයි වැරදි. මාධව හිස් කබලට කිව්ව. ඒ කේන්තියට අර සුකුමලී පුදුම වෙලා මාධව දිහා බැලුවා. ඒ සුකුමලී බය උනා. මූ සැර ආගන්තුක තෙමෙන්නෙක්. ඒ බයටම තවත් හෙමීට මාධවට ලං වෙද්දි මාධව සං සුං උනා. හිතත් සං සුං උනා. ආලය එක්තැන් වීගෙන එන බව දැනුනා..
ඒ වෙලාවෙ ගුවන් විදුලියේ "අඹ ගස් යට මල් හැලිලා... සුවදේ බැරුවා හිදින්ට..." වාදනය උනා..
ඔලු කට්ටා මාධවගේ කේන්තිය තඹයකට ගණන් නොගෙන කතාව පටන් ගත්තා..
.............................................................................................
මම හිතුවෙ සුද්දි මැරුණ කියල. නාන කාමරේ බිම ඇත් ඳල සුදු පාටට ඒකි සිහි නැතුව වගේ වැටිල උන්න. මම එදා රෑම ඒ මොහොතෙම බංගලාවෙන් පැන්න. සුද්දගෙ ගබඩාවෙන් දිග ගිනි බටයක් ඉස්සුවා. ඒක පරෙස්සමට ඔතාන බංගලාවෙන් පැනල ඇවිදලා ඇවිදලා කෝච්චියට නැග්ග. ගල් අඟුරු පෙට්ටියක වාඩි වෙලා කෝච්චිය යන දිහාව නොදැන යන්නං වාලෙ ආව. අන්තිමට ගම්පොල කියල බෝඩ් එකක් දැක්ක. එහෙදි කෝච්චියෙන් පැනල ඇවිදගෙන කැලේ පැත්තට ගියා.. ඒ වෙද්දි කොත්මලේ කියල පැත්තක මිනිස්සු පදිංචි වෙනවා. මාත් කැලෑ වැදුණා..
සුද්දටයි උගේ පවුලේ අයටයි උන දෙයක් ආයෙම ආරංචි උනේ නෑ..
කොත්මලේ ඉද්දි දඩයම පුරුදු උනා..ආරෙං ආව දස්ස කම වෙන්නැති. අප්පච්චි සුද්දගෙ දඩයක්කාර සහයකයා උනාට මම තනි මිනිහා. සුද්දගෙ තුවක්කුව ගැන හැමෝටම කිව්වෙ සුද්දෙක්ගෙන් තෑගි හම්බුනාය කියල.
ඒකෙන් හම්බුන ගෞරවේ සෑහෙන කලක් යනකම් නැති උනේ නෑ.
හැමදාම මසට වල් ඌරො, මුවෝ, ගෝන්නු වැරදුනේ නෑ.. මස් විතරක්ම කාපු කාලයක් තිබ්බ. උණඩ හදන්න දන්නෙ නැති නිසා සුද්දගෙන් කොටන්න ගෙනාව වෙඩි බේත් පරෙස්සම් කරගන්නත් ඕනි. ඒ නිසා එකේක විදියට උගුල් අටවලා සත්තු මරන්න පුරුදු උනා.
පලවෙනි සිල් පදේ නියමාකාර විදියට කඩන්න පුරිදි උනේ මෙහෙදි මහත්තයෝ..
උණඩ හදන්න උත්සහ කරා. මොකද ලොකු සත්තු මන්දෙන් අල්ලන්න බෑ..එහෙම උන්ඩ හදන්න යද්දි වෙඩි බේත් ඇවිලිලා පිපුරුවා. මගේ වම් අතේ ඇගිලි තුනක් කැඩිල වෙන් උනා...
මේ තියෙන්නෙ මහත්තයෝ...
මූ වම් අත පෙන්නනවා වෙන්නැති. මාධව හිතුව. ඕයි තමුසෙගෙ ඔලුව විතරයි තියෙන්නෙ. මාධව කිව්ව.
ඔලු කට්ට මහ සද්දෙට හිනා උනා.. අත අරන් එන්න බැරි උනානෙ මහත්තයො. දැන් නම් ගහගෙන ගිහින් ඇති.
ඌ ආයෙම කිව්ව.
ඒ වෙද්දි සුකුමලී අතින් අල්ලගෙන. දින ගණනාවක් දන්න කෙනෙක් වගේ මාධවගෙ අතේ එල්ලිලා කතාව අහනවා.. මව් තුමී ආයෙම මැහිල්ල පටන් අරන්..ඈතින් ලාවට හද පේනවා..වර්ශාව නතර වෙලා. මාධව නිහඩ ඇයි බලන්න සුකුමලී හැරුණා මාධවගෙත් ඇගෙත් ඇස් හමු උනා..
දෙදෙනාටම මොහොතකට ඇටසැකිල්ල ගැන අමතක උනා..
"ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා..."
ගුවන් විදුලියේ වාදනය උනා..
උගුර පාදලා ඔලු කට්ට ආයෙම කතාව පටන් ගත්ත.
සුදු කෙල්ල ළඟ තිරිහන් උනාට වැඩේ කෙරුනෙ නෑ. ඒ නිසාම විසේ වැඩි උනා මහත්තයෝ...ගමේ ගෑනු එමටයි. ඒ අස්සෙ පිට ගමකින් ආව ජෝඩුවක් හිටිය.
උන්ගෙ ගෑනි හරි පියකරුයි.
සුද්දගෙ කෙල්ල වගේ සුදු නැතත් නියම දුඹුරියක්.
මට ඒකිව බැද්දට උස්සං ගිහින් මරල දාන එක වල් ඌරෙක් මස් කරනවා තරම් ලේසි උනා.
ගමේ උන් හිතුවෙ ඔයේ නාන්ඩ ගියාහම වලහෙක් ඇදන් යන්න ඇති කියලා.
ඒක විශ්වාස කරන්න මම පහුවදාම වෙඩි උණ්ඩයක් නාස්ති කරලා වලහෙක් කුදලාගෙන ආවා.
ගමේ එවුන් මාව අදහන්න පටන් ගත්තා..
ඒ වීරකමට ගමෙ ගෑනු වහ වැටුනා..
උන් එකා දෙන්න මහ රෑට මට පැලේ දොර ඇරියා.. සමහර දාට රෑට ගෙවල් දෙක තුනකටම යන වෙලාවල් තියනවා.
ඔලු කට්ට කියද්දි සුකුමලී මාධව දිහා බැලුවෙ මූ නම් මහ හිපාටු ඔලුවක් කියන්න සේ..
මාධවට නම් හිතුනෙ මූ නියම වලි කුකුළෙක් කියල.
ගෑනු කෝමත් චපල වෙන්නෙ එක එක දේවල් නිසා. ශුවර් එකට සුද්දගෙන් මූට උරුම උන දේවල් එක්ක ගෑනු මූට වහ වැටෙන්ඩ ඇති. සුදු ගෙදර කෙලි දැක්කම ඒව දේශීය වශයෙන් අත් හදා බලන අලුත් දේවල් නෙව. නිකන්ම ළමයි වදාපු ගෑනුන්ට තමන්ගෙ ශරීරය ඇතුලෙ ගැබ් වෙලා තියන ශක්තිය මතු කරල පෙන්නලා දෙන්න මේ ඔලු කට්ටට පුලුවන් උනා..
ඒක උතුම් කටයුත්තක්. පාපයක් වෙන්ඩ බෑ.
මාධව හිතුව. පිට කලේ නෑ.
මස් මරන්නෙක් විදියට ගමට ආව මම අන්තිමට ප්රභූ කෙනෙක් වගේ උනා. ඉරිසියාකාර පිරිමි කීප දෙනෙක් ඇරෙන්ඩ අනික් උන්ගෙන් කරදරයක් තිබ්බෙ නෑ.
වසර ගණනාවක් එහෙම ඉදපු කොත්මලේ පැත්තෙ ජලාසයක් හැදෙද්දි ඉස්කෝල හැදෙද්දි දියුණු වෙද්දි මාත් වයසට ගියා. තනිකඩව හිටියෙ ඒ කාලේ සෙල්ලමට හිත තිබුන නිසා.
කඩ දොර විහාරය යට කරගෙන ජලාසෙ වතුර ටිකෙන් ටික පිරෙද්දි පරණ මතකත් ඒ එක්කම වතුරට යට උනා..
ගම, වනය වෙනුවට තේ සහ පාරවල් ගොඩ නැගුනා
ඔලු කට්ට වියපත් උනා..
අන්තිමට මොකද උනේ...
මාධව ඇහුවා.. ඒ වෙද්දි අර සුකුමාලිය කතාවට වහ වැටිල..මාධවත් එක්ක මුකුළු කරන්නත් උවමනාව පේනවා..
වයසට ගියත් දඩ මස් පෙරේතකම නැතිඋනේ නෑ.. ගෑනුන්ට හදි කරන්න සක්තිය මදි උනත් දිව පිනවන්න ශක්තිය තිබ්බ.
.
තුවක්කුව ප්රදර්ශන භාණ්ඩයක් වෙලා තිබ්බෙ මහත්තයො. ඒත් පුරුද්දට කරේ දාල අරන් ගියා.
දුනු මද්දක් ගැහුව. ඒක ගහන්නෙ නොකැඩෙන නමුත් දුන්නක් වගේ නැමෙන ගහක් තෝරගෙන ඒක වටේට සත්තූ යන එන මංකඩක මග අවුරලා දාල, ඒ ගහේ තොන්ඩුවක් වගේ හදල ගැස්සෙද්දි සතාගෙ බෙල්ලෙන්ම හිර වෙලා එල්ලිලා ඉන්න විදියට
පස්සෙ මම ආවම අහු වෙලා ඉන්න සතාව එලා ගන්නවා..
මන්දටට අහු වෙන සමහර සත්තු මං එද්දිත් පණ පිටින්. ඉනේ තියන පිහිය ඇදල අරන් සතාගෙ බෙල්ලට තියල ඇද්දම ඌ ගැහි ගැහී ලේ විදින්න ගන්නවා.. ඒක දිහා බලන් ඉද්දි මගේ පපුව පිම්බෙනව ආඩම්බරෙන් ඇයි මන්ද.
ලේ ගිහින් සතා මලාට පාස්සෙ එතනම ඌව සුද්ද බුද්ද කරල ඉතිරි කෑලි ටික කැලේට විසික්ක කරල එනව ඌව කරේ තියාන. ඉස්තරම් රා තියනව මහත්තයො කොත්මලේ.. ආන්න ඒවත් එක්ක සප්පායම් උනාම ආයෙ දවස් දෙක තුනක්ම නිදියාගෙන ඉන්ඩ පුලාන්. ඒක වෙනමම සනීප කාරණයක්.
ඔහොම තව දවසක් මම දඩයමේ ගිහිං උගුල අටවල ආව.
පහුවද උදේම නැගිට්ට.
එදා මහ පුදුමාකාර දවසක් මහත්තයො..
මම යද්දි මන්දට අහුවෙලා උන්න ලොකු මුවෙක්
කලබල නැතුව කිට්ටු කරද්දි තමයි මහත්තයෝ දැක්කෙ ඒ පිනි මුවෙක්. කැලේ ඉන්න අලංකාර බොහොම අලංකාර සත්වයෙක්.
ඒත් ඊලගට දැකපු දෙයින් මගේ හිත කීරි ගැහුන මහත්තයො...
මුව දෙනයි පැටව් දෙන්නෙකුයි අර ගහ පාමුලට වෙලා ඉන්නව. මහ සතාගෙ වාසනාවකට ඌ අහු වෙලා හිටියට බඩට තමා තොන්ඩුව වැටිල තියෙන්නෙ.
ඌ මහ බරසාර මුවෙක්. ගහට දරන්ඩ බැරි නිසා ගහ පාත් වෙලා..
මුව දෙනයි පැටව් දෙන්නයි ඌ ලගට වෙලා. මුව දෙන මුවාගෙ මූන දිවෙන් තෙම්මනවා.
ඒක මගෙ පපුව පුරාම දැනුන. ජීවිතේට පවුලක් නොකාපු මම, ජීවිතේ පුරාම අනුන්ගෙ පවුල් විනාශ කරපු මම අන්තිමට මහ ලොකු පාඩමක් මේ කැලේ උන්නු මුව පවුලෙන් ඉගෙන ගත්ත මහත්තයො..
මම පිහිය ඉනෙන් ඇදල ගද්දි එක සතෙක් හෙලවුනේ නෑ. මුව තාත්තගෙ ඇස් වල බැල්ම මාව පිච්චුවා මහත්තයො.
උන් මැරෙන්න හිත හදාන උන්නෙ. සංසාරෙම පතාගන ආව එක පවුලක් උන්.
ජීවිතේ පලවෙනි පාරට මම හොදටෝම ඇඩුව මහත්තයො. මේ කලු කුහර වගේ තියන හිස්කබලෙන් එදා කොත්මලා ජලාශෙ තරම්ම කඳුළු ගලන්න ඇති.
පිහිය අරන් මුවාගෙ තොන්ඩුව කපල මුවා ගාව දනගහල වැදගෙන හිටිය.
උන් හතර දෙනාම මං දිහා අනුකම්පාවෙන් බලන් ඉදල කැලේට වැදුන. උන් දන්නව මට යන්න අපායක් මේ තුන් ලෝකෙම නැති විත්තිය.
ඒ මම අන්තිමට දඩයම් කරපු දවස.
ඒ කතාව කියද්දි මාධවට ගෙදර මතක් උනා.. අතේ එල්ලිලා උන්නු සුකුමල රුවට සිත් බැදුනත් ඒක සිද්ද උනොත් ගෙදර ඉන්න රුවැත්තිට යන එන මං නැති වේවි. ආලය හා අකර්ශණය සුන්දරයි. කවදත්.
ඒකට නීතියක් අදාල නෑ. හැබැයි බැදීම එහෙම නෙමෙයි. උගුලට අහු උන මුවා කියන්නෙ තමං නේද, මුවැත්ති කියන්නෙ ගෙදර උන්දැ නේද ඔලු කට්ට නොහොත් දඩයක්කාරයාට සම වෙන්නෙ මේ සුකුමල කෙල්ලගෙ සුන්දරත්වය නේද..
මාධවට හිතුනා..
තව්ත් මේ කතාව අහන්න උවමනාවක් මාධවට තිබුණෙ නෑ..
සංවේදී උන නෙතක කඳුළු පිරී තිබුනා.. ඈ මාධවව තදින් වැළඳ ගත්තා..
උගුලෙන් ගැලවීම අත්යවශ්යයි. ඈව පසෙකට කල මාධව හිස් කබල අතට ගෙන කෑලි කැබලි වෙන්න පොලේ ගසා කඩේ හිමිකාරීට ස්තූති කරමින් පොද වැස්සේම කඩයෙන් එලියට බැස්සා..
අසම්පූර්ණ කතාවක උරුමකරු වූ ඔලු කට්ටා කුඩු පට්ටම් වී වසි වතුරේ දියවී ගියා.. කතාව අසංපූරණව.... පාපය ඉවර නෑ..
ගුවන් විදුලියේ මාලණී බුලත්සිංහල මහත්මියගේ "ඔබට මා ආදරය කල බව මෙතරම්" ගීතය විකාශය කෙරෙමින් තිබුනා.
ඒ බව ඇගේ නෙත් වල ලියවී තිබුනා..
ඒ අන්ධකාර රාතියේ නිහඩවම මාධව ආපසු හැරුණා.
ආයෙම කිසිදාක වැස්සක අන්තැනක නතර නොවෙමි.
වැසි බර රාත්රියක ඔහුගේ හිතේ පුරාම එම සිතුවිල්ල අරක්ගත්තා..
ඔහු අදුරේ නොපෙනී ගියා....
...........................................................................................
උලපනේ සොහොන දැන් පෙනෙන්නට නැති අතර එහි නිවාස ඉදිවෙමින් ඇත
තාවකාලික සිතුවිලි අපව ගෙන යන්නේ විනාශය වෙතමය..
මහ වැස්ස අතරතුර කඩයේදීම මුල් කොටස පල කල අතර ඉතිරි කොටස නිවසේදී ගොඩ නැගුවෙමි.
පව් කාර හිස් කබල් අප සැම වටා සෑම දිනම සැරිසරන්නේය. නිවැරදි මාවතක නොයන්නේ නම් අපද සැමදා කතා කරන ඔලු කටු වනු ඇත.
................................................................................................
වර්ශාව පායා ආකාශය ආලෝකමත් වී තිබුනා. ඒ ආලෝක කිරණ වැදී දිලිසෙන කිරි පාටට හුරු අංශු ගොන්නක් එකට එක්කාසු වී ගෝලාකාර වස්තුවක් ගොඩ නැගුනේ මහා රාත්රීයේ යක්කුන් ගස් යන දොලහා කණිසමේදී.....
එදා ද හනුව නිසි පරිදි තව්වට සවි වූයේ නැත.
නිසි හඩක් නැගෙන සේ එම හනුව නිසි පරිදි සවි කරනා ඊලග පුද්ගලයා කවුරුන්ද?

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form