Tuesday, April 13, 2021

අවලස්සන කතාවක්

 

 
මහ වැස්සක තෙමෙන එකම සුන්දරයි. ආදරණීය කෙනෙක් එක්ක අතැඟිලි පටලගෙන තෙමෙන එක තවත් ආනන්දනීයයි.
හැබැයි ඒ වැස්සෙම මනුස්සයෙක් දුවගෙන දුවගෙන ඇවිත් පාර අයිනෙ තියන ලයිට් කණුවක් උඩට බඩ ගාල ඒක උඩන් ඉදන් මහා ආවේගෙන් කෑ ගහල ඒ කණුවෙන් බිමට පැන්නම......
පාර මැද්දෙ වැහි වතුරට තනුක වෙන ලේ විලක සදහටම සැතපුනාම....
අගක් මුලක් නැතිව විසදුමක් නැති දෙයක, මහ පැටලැවිල්ලක ඇරඹුමක් බවට ඒ කතාව පත් වුනාම
ආන්න එතකොට ඒ වැස්ස තව දුරටත් ආනන්දයක් වෙන්නෙ නෑ මිත්රවරුණි....
මේං ඒ කතාන්දරය.....

එක මත් එක කාලෙක මහ උදෑසනක......
හැම කතාවකම ජීවියෙක් අඩංගු වෙනව. ඒ ජීවියගෙ ජීවිතේ ගලාන යන්නෙ එක්තරා ස්වර පද්ධතියකට අනුව. ඒකෙ තනුව වෙනත් ජීවිතයක තනුවකට කිසිදාක සම වෙන්නෙ නෑ.
හැමෝම මේ තරගෙ දුවන්නෙ ජීවිතේ ජය ගන්න. හැම කෙනෙක්ම. මොකක්ද මේ ජීවිතේ ජය ගන්නවා කියන්නෙ?
ඇත්තටම මිරිඟුවක් පස්සෙ යනව වගේ...
මේ ජීවන තරගයට දුවන්න ලෑස්ති වෙලා උදේම පාරට බැස්ස මනුස්සයෙකුට, මනුස්ස දුවක් හම්බෙනව..
ඒක හරිම අහම්බයක්.
ජීවිතේම අහම්බයක් ගොඩක් කිව්වට ඒක එහෙම නෑ. එව්ව කලින් ස්ක්රිප්ට් එකකට ලියල සකසපු මෙගා නාට්ටියක්. මේ ජීවිතය නැමති වීදි නාට්යයේ රගපාද්දි කරන දේ හරියටම කරන්න ඕනි. වැරදුනදාට බඩුම තමා.... ඒ අවස්ථාව ආයෙ ලබා ගන්නම බෑ..
මල් වටේන දුවන හින්දි බඩකඩුත්තුවක වගේ නෙමෙයි. මේ මනුස්සයට මේ මනුස්ස දුවව හම්බෙන්නෙ පාරෙ අනාත වෙලා ඉද්දි. උදේ පාන්දර ගිනිගල්පොල මහපොල් වත්තෙ පාරට වෙලා වාහනයක් එයිදැයි බලාන ලුණුවිල ඉස්ටේශමට යන්ඩ කියල මනුස්සය පය තැබ්බෙ උදේ හතරට.. උදේ හතරට තියා හවස හතරටත් ඔය ඔය පාරෙ යන එක නිර්භීත ක්රියාවක්ලු මිත්රවරුණි. මොකද මාල කඩන බෙලි කපන හොරු ඉන්න ගිනිගල්පල පැත්ත ඒ...
එක පාරක් මනුස්සයට ආරංචි උනා ඔට්ටුවටක ඔය පාරෙ යන තරුණ කෙල්ලෙක්ගෙ පයෝදර මිරිකලා උඩ ඇදුමත් ගලෝගෙන පැනල ගිහින්. කෙල්ලත් අතෑරල නෑ පැනපු ගමන් තක්කඩියට ගලකින් නෙලල. ගල් පාර කාගෙන ඌ බයික්කෙ පැදන් ගිහින්. කතාවට රට්ටු කිව්වෙ ඌ මාලෙ කඩන්න ගිහින් වැරදිලාය කියල. මාලෙ තියෙන්නෙ කොහෙද පයෝධර තියෙන්නෙ කොහෙද මිත්රවරුණි. ඒක අහම්බයක් වෙන්න බෑනෙ.....
මේ මනුස්සයට ඈව හම්බෙන්නෙ ආන්න ඒ කියන පයෝධර මිරිකපු මනුස්සය පැනල ගිය පැත්තෙ තියන පිට්ටනිය ගාව. පාරේ ගිය බයික්කෙකක් ඇවිත් නවත්තද්දි මනුස්සය නැගල තියනව ඒකට. ඒ පැත්තෙ සාමාන්යෙන් ඒක වෙන දෙයක්. මොකද හොරෙක් ඇවිත් කඩාගෙන මිරිකලා යන එකයි නවත්තලා මනුස්සකමට දාගෙන යන එකයි පැහැදිලිවම දෙකක්. ඕන මනුස්සයෙකුට ඒක තේරුං ගන්ඩ පුලුවන් නෙව...
බයික්කෙට නැග්ග... ඉස්ටේශමෙන් බැස්ස... ස්තූති කරද්දි ඒ බයික්කෙ උන්නැහෙත් බයික්කෙ ඉස්ටේශම ළඟ බෝ ගහ යට පාක් කොරල ආව ඔන්න ඔහේ..
ලුණුවිල කියන්නෙ හරි අපූරු නගරයක්. නගරයක් කියන එකට වඩා ගමක් කියන එක සුදුසුයි. නිදහසේ තියන හතර මං හන්දියක්. පොඩි පහේ අලංකාර දුම්රිය ඉස්ටේශමක් හෙම තියනවා ඕන්. ඒ ඉස්සරහ මහ විශාල ගහක්..ඒ ගාවම බෝ ගහක් එක්ක බුදු මැදුරක්. ඒ පිටුපස පාක් එක. යකඩ යකාගෙ නැගල වැඩට යන ඇත්තොන්ගෙ බයික් නවත්තලා යන්ඩ..
ඉතින් ආන් ඒ පෙර කී බෝ ගහ පිටිපස්සෙ බයික්කෙ දාල ආව ඒ ඇත්තො "ඇත්තියෙක්" වෙලා. ගෑනියෙක්.. මහ උදේම ඇවිත් තියෙන්නෙ ගෑනියෙක්ගෙ පිටිපස්සට වෙලා..
ඉතිම් ඕන් පුරුශ ලිංගයක් කියල හිතාන නැග්ගට ස්ත්රී ලිංගයක් එක්ක ආව කියල දැනෙද්දි මනුස්සයට හීන් ලැජ්ජවකුත් ආව. අපරාදෙ ඉන වටේ අල්ල ගන්න තිබ්බෙ. එහෙම අල්ලන්න ගිහින් පතබෑවුනොත් ඒ මහ උදේම.ආයෙම වැඩට යන්න වෙන්නෙ මාස ගාණක නිවාඩුවකට පස්සෙ.
මනුස්සයා හිතුව.
කෝකටත් විනීත කම හොද දෙයක්.
හරිම ස්තූති මිස්.. මම හිතුවෙ නෑ ලේඩි කෙනෙක් කියල...
එයා මුව වැස්ම අයින් කලා..
හෙල්මට් එකත් ගැලෙව්ව..
ගුඩ් මෝනිං.. ඈ හිනාවෙන්ම කිව්ව. ඒ කටහඩ හරි මිහිරියි. ඇගේ තිබ්බෙ වැල්ලෙ ගෑනියෙක්ගෙ පෙනුමක් නෙමෙයිද මන්දා. මේ පැත්තට අලුතෙන් ආව එකියක් වෙන්නැති.
වැල්ලෙ ගෑනු කිව්වම මැවෙන්නෙ තඩි පයෝධර උරුම කරගත්ත කලු ගැහුන අත් පා ඇති තඩි බාහු තියන චීත්ත ඇදපු මන්න පිහි අතේ තියන විට කන තුහ් ගාල බුලත් කෙල තප්පයක් හිතූ සැනින් මුවෙන් පිට කරන "උඹෙ අම්මගෙ රෙද්ද" කියාගෙන ඉන්න හැඩි දැඩි ගෑනු නේද..?
දැන් ගිහින් බලන්ඩ මිත්රවරුණි ඒම නෑ.. දැන් කට කෙසේ වෙතත් ඒ මිනිස්සු ඉස්සරට වඩා පිලිවෙලයි. බ්රෙස්ලට් දාල, මාල දාල ලස්සනට ඩෙනිම් තුං කාල ගහල ඉන්නෙ.. සැපේ ඉන්නෙ.. ඉතාලි සල්ලි..මිල්ලේ තියනවා යහමින්.. මාලු කියන්නෙ පාට් ටයිම්...
වැල්ලෙ පෙනුම කියන එක අඳුන ගන්න වැල්ලක කාලයක් ඉන්ඩම ඕනි.. ඒක එස්කිමෝවරු සහ හිම වලස්සු එකිනෙකාල වෙන් කොට අදුනගන්නවා වගේ පහසු වෙනවා.. පුරුදු නැති එකාට චීන ජපන් කොරියන් වෙන් කරල අදුනගන්න බෑ වගේ තමා...
ඉතිං ඈට වැල්ලෙ පෙනුම නොතිබ්බට අසාමාන්ය මිහිරි හඩක් තිබුන. ඒ හඩ කෙලින්ම ඇගේ සමාජශීලී බවත් එක්ක මේ මනුස්සයගෙ පපුවටම ඇනුන.. ඇවුලුම් බිලියෙන් ඇන්න වගේ....
සුබ උදෑසනක් කියල පටන් ගත්තු මේ මිත්රකම හැමදාම දෛනික දෙයක් උනා. ඔහු කැලණිය පැත්තෙ විශ්ව විදයාලයේ වැඩට යන, පොල් පර්යේශණාගාරෙ සේවයේ යෙදිල ඉන්න නෝන කෙනෙක්ගෙ මහත්තයෙක්. ඈ හලාවත ඇපරල් එකක මහන්නියක්.
උදෑසන හමුවීම හරි කෙටියි... ගිනිගල්පල ඉදන් විනාඩි දහයක හමුව මනුස්සයගෙ ජීවිතේ මිහිරිම කොටසක් උනා. හිඩැස පිරවෙන්නෙ ආන් එතනින් මිත්රවරුණි. ජීවිතේ හිඩැසක් ඇති උනාම ඒක පිරෙන්න හරි හෝ වැරදි වේවා පොඩි පොඩි බදාම කෑලි එහෙම් මෙහෙම් පාත් වෙනවා..
හැමදාම අලුත් දේවල් කතා කරන්න වෙලාවක් තිවුනා..නම ගම ඇරෙන්න ඈ එන්නෙ කිරිමැටියාන හන්දියේ ඉදන් බව ඈ කිව්ව.
හෑ.. ඒනං ඉතින් යන්ඩෙපැයි වැව පාරෙං. කෙලින්ම ලුණුවිල නොවැ.. මනුස්සයා ඇහුවම ඈ නිරුත්තර වෙනව. පුන්චි සිනාවකින් සංග්රහයේ යෙදෙනව..ආයෙ ස්ටේශමේදි ඒ මිහිරි හඩින් බායි කියනකම්ම වචනයක් නෑ..
ඒකි ගුප්තයි. මනුස්සයා හිතනවා...
කොලඹ යන සීග්රගාමී දුම් රිය තියෙන්නෙ හයයි දහයට. ඊට කලින් එන කොලඹ යන මන්දගාමී කෝච්චිය පහයි හතලිස් පහට. ඒ ස්ලෝ එකට කලින් ලුණුවිලට එනව හලාවත යන ස්ලෝ එක.ඇවිල්ල අර දෙකම මාරු වෙනකම් ලුණුවිලට වෙලා ඔහේ කරබාගෙන ඉන්නවා මේ හලාවත යන එක. මිනිස්සු දහයක්වත් නෑ ඒකෙ. සමහර දාට දෙන්න ඉස්සෙල්ල ලුණුවිලට ඇවිත් කොලඹ ස්ලෝ ට්රේන් එක එනකම් ලුණුවිලට වෙලා තැග්ගැහෙන හලාවත යන එකට නැගල ඇස් දිහා බලන් ඉන්නව. ඈ හිමීට මුමුණනව.. ඔයාට ට්රේන් එක මග හැරේයි..
මගහරුණාවෙ......
ඔහු කියනව.
ජීවිතේම මගහැරෙමින් තියන ඔහුට කෝච්චියක් මොකක්ද...
දෙන්නම ආයෙ නිහඩ වෙනව. ඒ නිහඬතාව බිදෙන්නෙ ස්ලෝ ට්රේන් එක එද්දි. මනුස්සයා හලාවත ට්රේන් එකේ ඉදන්ම අල්ලපු වේදිකාවෙ තියන කොලඹ දුම්රියේ පාපුවරුවට පය තියලා ගොඩ වෙනවා.. එකක් උතුරට එකක් දකුණට දිශා දෙකට දුම්රියන් ඇදී යනව. ලංකාවේම උතුර දකුණ...
ටෙලියේ එදිනට නියමිත කොටස නිමා වෙනව.
තහනම් ගහේ ගෙඩියක් කන්න ගත්තට ඇත්තටම මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ ඒ කන්නෙ විශ කියල..විශ කද්දි ඒක සමීපම අයට තේරෙනකොට පරක්කු වැඩියි. විශ කෑවට පස්සෙ ඒක දිරෝ ගන්ඩ ඔක්කොටම වැඩිය අමාරුයි.
ඇගේ සැමියා ඈට කෲර ලෙස තඩි බාන හැටි කියද්දි ඔහු අනුකම්පාවෙන් අහන් ඉන්නවා.. ගෙදර නෝනෙට තඩි බාන ඒව මතක් උනාම පොඩි වීරත්වයක් දැනෙනව. සමහර දාට මනුස්සයගෙ නෝන මැරුන නොමැරුන ගානයි.
ඉතින් මේ මනුස්සයා එහෙමයි.
ඇගේ දරුවාව ගිනිගල්පල හන්දියේ නිවෙසක රදවා එන නිසා ගිනිගල්පොල පාරෙන් එන බව ටික දවසකින් ආයෙම අහද්දි ඔහුට කිව්ව ඈ...
බබා ලොකුද..
අනේ එයා තාම තුන් අවුරුද්දයි මාස ගානයි.
ඔහොම තැන් තැන් වල ඉන්න බබා අකමැති නැද්ද..
නෑ.. එයා පාඩුවේ ඉන්නවා..
ගුටි කාලා පාඩුවේ ඉන්න ගෑනිගෙම දරුව. මනුස්සය හිතුව.
තමන් තමන්ගෙ බිරිදට නිල නිවසෙ ඉද්දි තඩි බාන්නෙ බෙල්ට් එකෙන් බව ඔහුට මතක් වෙලා ඔහු අහනව.
තඩි බෑවම ඈ මලානික වෙලා නිදාගන්නව. මැරුණ වගේම වෙනසක් නෑ ඒ ඇත්තිගෙ. හැබැයි පහුවදාට සෙනෙහසින් ආයෙම දයාබර සැමියට කෑම උයල පාර්සල් කරල දෙනව. මනුස්සයට මැවිල පෙනුන හැමදාම නිවසෙ සිද්ද වෙන සිදුවීමෙ ජවනිකාව...
මොකෙන්ද මහත්තය ගහන්නෙ.
අතට අහුවෙන එකෙන් ගහනව..
ඒ උත්තරේට මොනා කියන්නද ඔහු කල්පනා කලා..
ආයෙ ගෑනිට ගහන්න උවමනාවක් නෑ.. මනුස්සයා හිතා ගත්ත..
මෙහෙම දුක් විදින ගෑනියෙක්ගෙ කට හඩ මෙච්චර මිහිරි වෙන්නෙ කෝමද?
ඇස් හිදෙන්නම අඩල අඩලම උගුර රැලි ගැහිල තියෙන්නෙපයි...
දවසක් මනුස්සයා ඇහුව. ඔයා ගීතිකා කියනවද..?
වෙන්නප්පුව අවට ප්රදේශ වල හුගක් අය කිතුනුවෝ..
ලංකාවේ සමහර පැති වල විහාර දාගැබ් කොත් කැරැලි පේන්ඩ අප්පිරිය වෙන තරම්. සමහර පැති වල තනි තරුව හද පලුව. යන්ඩෝනි පුංචි අරාබිය නොහොත් මඩකලපු.අව්යාජ අරාබියේ පිටපතක්. වැලි ටික වැඩි උනා නම් සැබෑ පාකිස්තානු ප්රාග්දර්ශයක් . ඔටුවෝ විතරයි අඩු... ඒක නම් එක විදියක් නොවැ...
ඒ වගේ තමා වෙන්නප්පු මීගමු කියන්නෙ කුරුස විමානෙ. මහ සද්ධන්ත පල්ලි. ඒකත් කලාවක් ඉතිම්. නත්තල් කාලෙට ඒක දිව්ය ලෝකෙ. විමානයක්. එහෙව් පැත්තක මෙහෙව් කටහඬක් එන්න නම් ඒකි උපන්දා සිටම පල්ලියේ ගීතිකා කියන එකියක් වෙන්න ඕනි. මනුස්සයා හිතුව.
හම්මට උඩු සර්ලොක් හෝම්ස් ගෙ දේශීය සන්නාමයක් වගේ.
ඒත් ඒ කෙල්ල දුන්න උත්තරෙන් මනුස්සයගෙ හිත කීරි ගැහුන. හිතක් තියන ඕන කෙනෙක්ට ඒ වගේ නිවෙන සුලු කට හඬකින් දෙයක් කිව්වම පපුවෙ සංස්තානික මහා ධමනිය දිගේ ගොහින් මස්තිශ්ක වල නියුරෝන තන්තු කෙලෝර වෙනකම් ඒ දුක තැන්පත් වෙලා පැසෝනව. ලෝදිය වගේ... ඒ heart burn එකට මොනවත් හරියන්නෙ නෑ ආදරේම මිසක්.
නෑ මම පල්ලියකට කවදාවත් ගිහින් නෑ.. ඇය පටන් ගත්ත කියන්න සුසුමක් එහෙම පිට කරල..
මගෙ අම්ම ඉස්සර තාත්තගෙ ඔලුව අතගානව. ඒ ගමන් හීන් හඩින් හැමදාම යශෝධරාවතේ කවි කියනව. අපේ අම්ම බුද්ධාගම පාස්. එයාට කවි ගාථ කියන්ඩ හොදට පුලුවන්.
80 මහ වර්ජනෙන් තාත්තගෙ රස්සාව නැති කරල ඩොට්ට දැම්මම තාත්ත ගෙදර ආවෙ නෑ. අරන් ආව..එතකොටත් නහරෙ පුපුරලා අංස බාගෙට ඇවිල්ල ඉවරයි.
මාත් අම්ම එක්ක එක්ක තාලෙට කියනවා. අවුරුදු ගාණකට එහා කාලයක් අම්ම එහෙම කවි කිව්ව. එයා දවසක් යශෝදරාවතේ මැද හරියක් කියල නිකමට තාත්ත දිහා බලද්දි තාත්ත සතුටින්ම නින්දට ගිහින්. ඒ වගේ සංසුන් ලස්සන හිනාවක් තාත්තගෙන් මම කවදාවත් දැකල නෑ.අම්ම එදා ඉදන් කවදාවත් කවි කිව්වෙ නෑ. අම්ම එක්ක කවි කිව්ව මම දැන් කවි කියන්නෙ ඇගේ අමාරුකම් නැති කරගන්න...තාත්ත නැති වෙද්දි මට පහලවයි.
ඉතින් හැමෝම කියනවා මගේ කටහඩ හරි මිහිරියි කියල. ඒ හැමෝම කියන මිහිර උපදින්නෙම වේදනාවෙන්..
ඈ එහෙම කියල මනුස්සයගෙ උරහිසේ ඔලුව තියාගත්ත.. එදා ඔහු දුම්රියෙන් බැස්සෙ නෑ.. සීග්රගාමි දුම්රිය නලාව හඩවද්දි ඒ පාලු මැදිරියේ ඔවුන් එකිනෙකාට තුරුල් වී ඈට නිම්නයේ ඈතට ඈතට ඇදී ගියා... හුගක් දුර ඈත...
කාලය ගෙවී යද්දි නිල නිවසෙ බිරිද ගුටිකන එක අඩු උනා. ඒ වෙනස ඒ ඇත්තිට හොදට දැනුනා.
ඈ දවසක හදිසියේම මියැදුනා.....
ඇගේ හත් දවසෙ බන දා රෑ ඔහු නිල නිවසෙන් නික්මුනා...
නිහඩවම...
......................................................................................
එකෝමත් එක දවසක මහ හයියෙන් හෙන පුපුරන්න උනා. නවක පෙම්වතුන්ට උතුම් මොහොතක්. සීතල නම් ලුණුවිල වැස්සෙ අඩංගු සංඝටකයක් නෙමෙයි. හැබැයි කොයි වැස්සත් සෑහෙන්න රොමාන්තිකයි. ඒත් වැස්සක ප්රේමය සොයන්න ලුණුවිල හන්දියේ ඉඩක් අද නෑ.
ගිගුරුම එක්ක ආලෝකයක් පුපුරද්දිම වැස්සෙ තෙත බරියන් වෙච්ච මනුස්සයෙක් පාලු ලුණුවිල හන්දියේ රේල් ගේට්ටුවට ගාවට මහ වැස්සෙ රේල් පාර දිගේම දුවගෙන ආව. හන්දියේ තිබ්බ විදුලි රැහැන් ඇදි කනුව දිගේ බඩ ගාගෙන ඉහල නැඟුණා.
මුදුනටම නොගිහින් රැහැන් වලට පහලින් නතර වෙලා දිග හුස්මක් හෙලුවා. හන්දියේ තියන කඩ සාප්පු කීපයේ ඉන්න රටවැසියා වීදුරු තුලින් එබී බලා සිටියා..
ගර්ජනා කරන මොහොතක සිද්ද වෙන නාටකය දිහා.. ඇස් පිය නොහෙලාම...
එතකොටම කොහේදෝ ඉදන් ආව පොලිස් ජීප් එක හතරමං හන්දියේ මැද්දෑවෙම නතර කලා..
මහ සද්දෙට තිබුන අකුණු නාදය පරදවා මිනිස්සු විලාප දිදී කනුවෙන් බිමට බහින්නැයි මිනිසාට ආයාචනා කරන්නට උනා..
.........................................................................................
බණ දවසෙ බොහෝ රෑ බෝ උනාට පස්සෙ ස්කූටර බයික්කෙ ඈත ඈත ඇදෙමින් තිබ්බා. පොඩි එකෙක් ගැහැනියගේ උරහිසේ නිදි..අද රියදුරු වෙනස් වෙලා. පොඩි නුහුරු ගතියක් එක්ක.
යන තැන ගැන ඔවුන්ට අදහසක් නෑ වාගෙයි... මහා කලුවර කපාගෙන ලා කහ පාටින් හැලජන් එළිය විහිදුනා. සුළඟ සැරයි. බයික්කෙ පා කරනවා වාගේ මිනිසාට දැනුනා. පුත්තලම් වෙරලේ බේබදු රැලක් බජව් දාන හඩක් ඈතින් ඇසුණා. අධි බලැති විදුලි රැහැන් ඇදි විශාල විදුලි කණු මාර්ගයට පසෙකින් අනන්තය දක්වා ඇදී ගොස් තිබුනා..
ඔවුන් ඈතට ගියා.උනුන්ගේ ලොවක් සොයා
.............................................................................................
ගුවන් විදුලිය නිහඩ නෑ. පාලු ගෙදර මුඩුම පෙනුම නම් තිබුනා.
සෞම්යවන්තියේ...
සිත සනසනා.........
ගුවන් විදුලිය තුලින් මිහිරි ගීයක ස්වර එක්කාසු වී කාමරය පුරා හඩ විහිදෙව්වා..
නිවස තුල නිහඩ බව බිඳින්න මහ රෑ ගුවන් විදුලිය සමත් වෙලා...
සත්යයේ විලාපය ඒ හඩ මධ්යයේ යටපත් වෙමින් තිබුනා..
එක්තරා රැයක ගැහැනියක් ගැන ඉරණමක් ලියවුනා.
ටිකෙන් ටික දුර්වල වෙමින් සිටි අහිංසක ගැහැනියක් දුක් කන්දරාවල කෙලවර දුටුවා..
................................................................................................
ස්කූටරේ නතර උනේ මහා පොල් වත්තක් මැද්දෙ..ඒ වෙද්දි හිරු නැගිලා. ඔවුන් මහ රෑ පුරාම ගමනේ යෙදුණා..
රලු මාවත් වලින් නමක් නොදන්නා ගම් දනව් මැද්දෙන නොසැලී ඉදිරියට ඇදුනා.. කිසිවෙක් වදනක් වත් තෙපලූයේ නෑ. නිහඩ බව බින්දේ ස්කූටරයේ ශබ්දය පමණයි.
මේං දැන් ඔවුන් ගමනාන්තයේ.....
මේ කොහෙද මහත්තයා
පොල් වත්ත නම් කාගෙද දන්නෙ නෑ. ඒත් ටික දවසක් මෙහෙ ඉන්ඩ පුලුවන්. අයිතිකාර උන්නැහේ ලංකාවෙ නැ මයෙ හිතේ..
ඉතාලි මිනිස්සු ගෙවල් සහ වතු මිලට ගෙන ඒවා බලා කියා ගැනීම වෙන අයට පවරා හොද පඩියක් ගෙවීම සම්ප්රදායක් වෙලා.. මේත් එහෙම තැනක් වෙන්නෝනි.
ඈ හිතල ඉවරයි. ආ ගමන හැරෙන්ඩ බෑ. ආයෙ ගියොත් මරණං නියතං..
ගෙදර මහ විසාල නෑ. ඒත් කාමර දෙයක් පිළිවෙළකට කුස්සියයි සාලෙයි තියනවා.. ගේ වටේටම මහ පොල් වත්තක්. ලොකු ළිඳක් සහ ට්රැක්ටර් ගරාජයක් තියනවා..
කවුරුවත් නොහිතන තැනක්... ඈ කිව්ව...
සල්ලි ඉතුරු කරගම්මු..අලුත් රස්සා හොයාගන්න වෙනවනේ. එතකම් ඉන්ඩ පුලුවන්. රස්සාවක් හොයා ගත්තු ගමන් ටවුමට කුලියට හරි යමු.
කිසිවෙක්ට කවදාවත් අලුත් රස්සාවක් හොයාගන්ඩ උවමනා උනේ නෑ......
..............................................................................................
එදා රෑත් ගුවන් විදුලිය මහ සද්දෙට ක්රියාත්මක උනා.
සෞම්යවන්තියේ
සිත සනසනා.......
ඒ ගීතයම ගැයුනා...
එකමත් එක දවසක් සිද්ධ උනා වගේම සත්යයේ විලාපය ඒ හඩ මධ්යයේ යටපත් වෙමින් තිබුනා..
එදා එක ගීතයෙන් ඉරණම් දෙකක්ම තීන්දු උනා.
බණකට ඉඩ නොතබා ස්කූටරයත් සමග මනුස්සයා අතුරුදන් උනා.. තවත් උතුරු දෙසට.....
................................................................................................
Necrophilia කියන එක ලෙඩක් විදියට දකින්න උවමනාවක්ම නෑ.
මහාචාර්යවරුන් ස්භාවයෙන්ම ටිකක් නිදහස්ව හිතනවා..
ඒක මානසික තත්වයක්. මහාචාර්යතුමා විස්තර කරනවා. සමහර විටෙක ඔවුන් නිතරම මල සිරුරු සොයා යන්නෙ නෑ. ඔවුන් සැබැවිම ආදරේ කරනා අයෙක්ගෙ මළසිරුරක් සමග එකතු වීම ඔවුන්ට ප්රමාණවත් වේවි. සමහර විටෙක එය මළසිරුරක් මෙන් සිටින ගැහැනියක් වීම ප්රමානවත්. ඇතැමුන් තමාගේ සහකරු සහකාරිය විඩාවට පත් කර සතුටක් ලබනවා. මල මිනියක් මෙන් වැතිරීමට දැඩි පහරදීමක් ප්රමාණවත්...
තෘප්තිමත් වීම කියන දේ විවිධාකාරයි. රෝගීන්ට සමාවන්න අපි එසේ නොකියමුකෝ. ඔවුන්ට අවශ්ය ප්රතිකාර ලබා දීමක් පමණක් ඇතැම් විට මුදවා ගැනීමක් සදහා ප්රමාණවත් වේවි. මහාචාර්යවරයා තවත් සානුකම්පිතව පැවසූවා...
ඇතැම් විට rehabilitation කියන්නෙ උපකාරයක්. අපි බලමු..
දේශන සාලාවේ මුල්ලකට වී සිටි සහකාරවරයා මෙම දේශනයට ඉතා උනන්දුවෙන් සෑම වසරකම සහාභාගී වීම කිසිවෙකුට උනන්දු සහගත කරුණක් උනේ නෑ......
................................................................................................
වස බෝතලයක් පන්න ගන්න මනුස්සයට මහ අමාරුවක් උනේ නෑ. පර්යේශණාගාරෙ තිබ්බ මොනකොටපොස් බෝතල කීපයක් ලබා ගන්ඩ හැකියාව ලැබුන. පොල් සංවර්ධන නිලධාරීගෙ අත්සන ප්රමාණවත්.
මොනකොටපොස් නිකුත් කිරීම වෙනමම කටයුත්තක්. ලංකාවේ තහනම් කල එම කෘමිනාශකය යොදා ගන්නෙ රතු කුරුමිණි හානිය වලක්වා ගන්න. පොල් ගසේ මුල සිදුරු කිරීමෙන් පසු මිලි 20ක් ගසට එන්නත් කර එම සිදුරු සිමෙන්ති දමා වැසීම සිදු කරනවා. ඉන් පසු රතු පාට කතිරයක් එම ගසේ සලකුණු කරණවා..
මාස නමයක් හෝ ඊට වැඩි කාලයක් යන තෙක් එම ගසේ පොල් ආහාරයට නොගත යුතු බව එම සලකුණ දකිනා අය එයින් හදුනාගන්නවා..
එතරම්ම විශ සහිත කෘමි නාශකයක ප්රතිපල ලැබිලා සතියකට පස්සෙ ඔහු වෙනත් ගැහැණියක හා දරුවෙකු සමග පිටත් වෙලා ගිහින්....
මනුස්සයාගේ වත්තේ එක්තරා පොල් ගසක මුල ගොඩ ගසා තිබූ කොල රොඩු ඉවත් කල යහමින් පරීක්ශා කලේ නම් මීට පෙරදීම සත්ය හෙළි වන්නට ඉඩ තිබුනා. ඒ පොල් ගසේ රතු කතිරයක් නම් යොදා තිබුනේ නෑ..
.................................................................................................
සමහර මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සු පව් කරන්නෙ හරිම රහසින්. හැබැයි ඔවුන් විදවන්නෙත් ඒ වගේම රහසින්. ඒ කොහොම උනත් මේ මිනිස්සු විදවන බව මුහුණෙන් හොදට පේනව.
මනුස්සයා හැමදාම හයියෙන් ගුවන්විදුලියේ පිරිත් ඇහෙන්න දාල ඇදට යනව. ටිකකින් ඔහු ඔහුගේම ලෝකෙක තනි වෙනව. හැමදාම කාලයක් තිස්සෙ මේක සිද්ද වෙනව. කාලයක සිට හැමදාම...
මහ අදුරු කාමරයකට ඔහු ඇතුල් වෙනව. ඒකෙ ඈත කෙලෝර පුන්චි තිතක් වගේ ආලෝකයක් තියනව.ඔහු දන්නව ඒ තිත තමා ඔහුගෙ පාපයෙන් ගැලවීමේ මාර්ගය පෙන්නන්නෙ. ඒ දිහාවට මනුස්සයා අදුරෙම ඇදී ඇදී යනව. එක පාරට ඔහුට මිහිරි කටහඬක් ඇහෙනව. ඔහු එළිය දිහා බලාගෙන ඒ දිහාවට ඇදෙනව. නෙත් තියෙන්නෙ ආලෝකයට. නමුත් සිත ඇදෙන්නෙ අඳුරට.ඔහු ආලෝකය පෙනි පෙනී එව් හඩ දෙසට ඇදෙනවා.
ඔහුට සිහිනයෙන් මෙන් ඇහෙනවා
එන්න... මාගේ සීතල වූ ගත පුරා සැරිසරන්න එන්න...
ඔහු ආයේ ආයේ ආලෝකය දෙස බලාන හඩ දෙසට ඇදෙනවා.. දුර ඈත ආලෝක බිබිල දෙස බලාගෙනම ඔහු අඳුරට ඇදෙනවා. ඔහුට දැනෙනවා ඔහු දැන් ආලෝක බුබුල වටා රවුමට රවුමට සැරි සරණ බව.
ඔහු දෑතින් දෙකන් වසාගෙන හඩ මඟහරිමින් පරිධියෙන් පිටට පනින්නට උත්සහ දරණවා.. ඔහු කෑ ගසනවා..
මට බෑ.... මට එපා.. මට මේක කෙලවරක් වෙන්න ඕනි..
එක් වරම ආලෝකය නිවී යනවා...... හාත්පස අඳුරුයි...
කාලය ගත වීම පිලිබදව නිනව්වක් නැතිව වැතිරී සිටින මිනිසා දෑස් විවර කරණවා.. ඔහුගේ අත පය හිරි වැටී ගොස් තිබෙනවා..දීප්තිමත් ආලෝකයක් ඔහුගේ දෑස් පෙලනවා. දෑස් ආලෝකයට හුරු වෙද්දී දැඩි වේදනාවක් ඔහුගේ කකුලක කලවා වල සහ බෙල්ලේ කෙලවරකින් දැනෙන්න ගන්නවා..
සුදු ඇදගත් කාන්තාවක් ඔහුගෙ කකුලට බටයක් සම්බන්ධ කර අවර්ණ සහ කහ පැහැති මිශ්ර තරලයක් ඔහුගේ පාදය දිගේ ශරීරගත කරනු මිනිසාට දැනෙන්නට උනා. ඉහල අවකාශයේ එල්ලෙමින් තිබුණෙ ඒ තරලය පුරවා ඇති බඳුනක්. මිනිසාගෙ බෙල්ලෙන් නහරයක් එලියට ඇදී තිබුනා.. රුධිරය මිදී ඇති එහි කෙලවර සුදුමැලි වී තිබුනා.. ඒ අවට ඉහත කී අවර්ණ වර්ණය සහිත ද්රාවණය තැවරී තිබුණා..
ඔහුගේ වතට එබුණු කාන්තාව ඔහුගේ සවනට කෙදිරූ රහසක් කීවා..
ඔබ මරණය තෝරාගෙන තිබෙනවා. මරණයේ නිසල නින්දේ හැමදාටම සංසුන් වූ රමණීය කාන්තාවන් එම නින්දේ සැනසීමෙන් මුදවා නොසංසිදෙන ආශාවන් ඇති ගන්දබ්බ ආත්ම බවට පත් කල කාලකණ්නියා.....
දැන් අපගේ වාරයයි.
එසේ කියද්දීම අදුරේ සිට මතු වූ සුදු හැදි කාන්තාවෝ රැසක් ඔහු වටකර ගත්තා
නිරුවතින් උන් මනුස්සයාව පහුරුගාමින් ලෙවකමින් කුණුගද ගසන එම කාන්තාවෝ ඔහුගේ ශරීරය අරක් ගත්තා....
ඔහුව එම්බාම් කල කාන්තාව ආකාශයේ සිට ඔහු දෙස බලා අලංකාර මද සිනා පෑවා. එහි ගැබ් වී තිබුණු කුරිරුබව ඔහුගේ කොඳු ඇට පේළිය දිගේ මස්තිශ්කය කරා සංවේදනය උනා..
.................................................................................................
දහඩිය පෙරාගෙන මනුස්සයා අවදි උනා..
තව දුරටත් නිදාගන්න බෑ..පාපයන් ඔහු හඹා එනවා. මේ පළවැනි දවස නෙමෙයි.
මහ රෑම අවසිහියෙන් දුම්රියට නැගි මිනිසාගේ වම් ඇස නටමින් අඩවන් වී තිබුනා. එහි ගැබ් වී තිබුනේ ඔහුහේ පීඩනය වූ අතර එය මනාව පෙනෙන්නට උනා. දැඩි තැතිගන්මකින් සිටි ඔහුගේ වත සහ ගත පුරාම ආයාසයකින් තොරව දාඩිය පෙරෙමින් පැවතියා..
අසීමිත ආශාවේ කෙලවර මරණය බව ඔහුට දැනුනා...
අවසන් තීරණය ක්ශණිකව ගත් ඔහු ලුණුවිල දුම්රිය ස්ථානයෙන් බැස හතරමං හන්දිය කරා ඇදුනා...
..................................................................................................
අහසම අදුරු වී හාත් පස මහ වැසිඇද හැලෙමින් ගස් ඇඹරෙමින් සුළං හමමින් මහා කුණාටුවක පෙරනිමිති පහල වූවා.
අවට කිසි දෙයක් ඔහුට පෙනුනේ නෑ. පොලීසියේ පිරිස දැන් වැඩියි. ඔවුන් යුහුසුලුව ගලවාගැනීම් කටයුතු වලට සූදානම් උනා..
ඒ ප්රයත්නයන් ව්යර්ථ කරමින් මහ වරුසාව මධ්යයේ ඔහු විදුලි කනුවෙන් බිමට පැන්නා...........
මිනී මරුවෙකු වූ මානසික ව්යාධියකින් පෙළුණු ඒ මිනිසාගේ හිස් කබල බිදී පිටතට විදුනු රතු රුධිරය ගලා ආ දියෙන් සේදී ගියා...
ලුණුවිල භූමිය වර්ශාවෙන් පිරිසිදු උනා..
කම්පිතව බල සිටි ලුණුවිල පිරිස ඉදිරිපිට නීතියේ නිලදරුවෝ නිරුත්තර වූවා..
......................................................................................
rehabilitation - මානසික ප්රතිකාර අවශ්ය අය සදහා සිදු කරන තෙරපි...
Necrophilia - මල සිරුරු සමග නිදි වැදීම කැමති වීමේ මානසික ව්යාධිය
මොනකොටපොස් - 2017 /2018 / 2019 වසර වලදී ලංකාවටම "මොනකොටපොස් කෘමිනාශක" නිකුත් වූයේ මාධවගේ අත්සනින් වූ අතර එහි අවධානම සිහිවී මෙම කතා පොඩ්ඩට මොනකොටපොස් අදාල කර ගත්තේය.
ගිනිගල්පල හන්දියේ සිට වරක් දෙවරක් නොව කිහිප වාරයක්ම මාධව බයිකේ නැග බැස්ස පසු ඒ රුවැති ඇපරල් ළඳුන් බව දැනගත්තේය.
දැන් ගිනිගල්පොල ඒ තරම්ම බය නැත්තේය.
විද්යාගාරයට අවශ්ය රසායනික ද්රව්ය රැගෙන ඒමට මාධව කොලඹ යන්නේ පෙර කී සීග්රගාමී දුම්රියෙන් ය. ඒ නිසා මේ දුම්රිය කාල සටහන සත්යක් ය.
වසර තුනක ලුණුවිල ජීවිතය සැබැවින්ම සුන්දර එකක් ය....
..............................................................................
ඕනෑම තැනක යක්ශයින් ජීවත් වන්නා සේම හැම කතාවක්ම එකම වක්රයක එකම පරිදියක ගමනේ යෙදෙන්නේය.
එයට සංසාර චක්රය කියා කියන්නේය..
මාලබේ තලාහේන හන්දියේ බෝ ගහ සෙවනේ සිසිල යට එදා පටන් අද දක්වා වූ මලවුන් සිය නින්දේ බොහෝම සන්සුන්ව වැතිර උන්නා. බෝ පත් සිරි සිරි හඩ නගමින් ඉඩහිටකදී නිහඩ බව සෙමෙන් බින්ද.. ඒ හැරුණු කොට පොදු සුසාන භූමියේ නිහඩ බව මළවුන්ගේ සිතට සන්සුන් බවක් ඇති කලා....
ඒ පසෙකින් ඇති තලාහේනේ වාසනා පෙදෙස දෙසට ඇදී යන මාර්ගයේ වැඩ බිම් පරීක්ශකවරයා තනිව ඇවිද ගියා....
මහරෑ... තට්ට තනියම.වේලාව හරියටම පාන්දර තුනයි.
තවත් ස්කූටි වර්ගයේ රථයක් පැමිණ නතර කලා.
නිදිමතේ වෙහෙසින් මිරිකී උන් පරීක්ශකවරයා එයට ගොඩ උනා. පුරුද්දකට වන්නට ඇති.
වාසනා පෙදෙසේ කර්නල්ගෙ ගෙදරට දාන්න. ලොකු උදව්වක්...
පදවන්නා නිහඩවම නිහඩවම ඈතට ඈතට උදෑසන සීතලේ පරීක්ශකවරයාවද රැගෙන ඉදිරියටම අඳුර තුලට ඇදී ගියා..
තලාහේනේ සිට බොහෝ දුරින් පිහිටි රටේ අනික් කෙලවරේ ත්රීකුණාමලයේ නිලාවැලි වෙරළබඩට හිරු නැගෙමින් නැවුම් දිනක් උදා උනා......

 

No comments:

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර