යාපනයට ගොඩ බැස්ස ජනාධිපතිට ලැබුනු ප්‍රතිචාරය වෙනත් ජනාධිපතිවරයෙකු වෙත ලැබුනා දැයි සැක සහිතය. ජාතිවාදී දේශපාලනයේ කප් ගැසූ අතීත දේශපාලනයෙන් පාඩම් ඉගෙන නොගත් පාලකයින් රට පාලනය කල අඳුරු සමය පසු කර දැන් රට ඉදිරියට යමින් සිටින්නේ යැයි කිව හැකිය.
මිනිස්සුන්ට අවශ්‍ය සහජීවනයයි. එය අනවශ්‍ය වන්නේ බලලෝභී කෑදර දේශපාලකයින්ටය.
අනුර දැන් කල යුතු දේවල් වලින් එකක් වන්නේ මේ ශ්‍රී ලාංකික ජාතිය බිහි කිරීමය. බෙදී වෙන් කොට ඇති මිනිසුන් එකාවන්ව නැගිටවන එකය.
මාධව හැමදාම සිහින දැක්කේ දූෂණය වංචා රහිත රටක් ගැන විතරක්ම නොවේ. සියලූ ජාතීන් එකමුතුව එකට ජීවත් වන රටක් ගැනය. උපන්දා සිට යුද්ධය ගැන ඇසූ දුටු මාධව සැබැවින්ම ජීවිත විනාශ කරමින් මේ වූ විනාසය පිලිබඳව සැබැවින්ම දුක් විය.
කෙසේ හෝ මහා විනාශයකට පසු යුද්ධය නතර වී තිබුනද එයින් සිදු වූයේ පාලකයින්ට වවාගෙන කන්න අවස්ථාවන් ලැබීම පමණක් වන අතර කිසිදු සිතක් සුවපත් වී රට ඉදිරියට යන තත්වයක් ඇති වූයේ නැත. යුධ ජයග්‍රහණය විකුණාගනිමින් රට සූරාකෑමට අවස්ථාවක් ලබා ගන්නට සියලු පාලකයින් පොර කෑ අතර එය අවසානයේ ජනාධිපතිවරයෙක් පන්නා දමන අරගලයක් දක්වාම දිග්ගැස්සුනි.
ඒ අතර තුර සිදු වූ අබග්ගයන් මාධව මෙහි පවසන්නේ නැති නමුදු ඒවා අමතක නොකල යුතු ඒවාය.
කෙසේ වෙතත්, අනුරට රට බාර දීමේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනයේ ජන්දය නැතිනම් හැමෝම කියනා පරිදි උතුරේ ජන්දය හැසිරුනු අයුරු කිරා මැන බැලිය යුතු ඇයි?
වසර ගණනාවක කරදර වලින් පසුවත්, ඩයස්පෝරා බලපෑම් මැද උනත්, උතුරේ දේශපාලකයින්ගේ අමන මතවාද මැද උනත් ඒ මිනිසුන් තවමත් සිංහල මිනිස්සුන්ව විශ්වාස කරන්නෝය. ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිතන්නෝය. කොකු ගැසූ සන්ධාන නැති තනි පක්ෂයකට වසර ගණනාවකින් පසු උතුරේ බලය හුවමාරු වීම අපූරු මෙන්ම යුද්ධය නිමා වූවා මෙන්ම අගනා අවස්ථාවක්ය.
එසේ වූ උතුරට ජනපති ගිය පසු මහජනතාව තවමත් ඔහුට ආදරේ බව නම් පෙන්වා ඇත. මේ අම්මා ඔහුව පිලිගන්නා ප්‍රීතිය බලන්න. ඒය කෙතරම් අපූරුද?
අතීතයේ සිට බැලුවොත් මාධව කියවා ඇති අන්දමට ජේ ආර් ආණ්ඩුව කාලයේ රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයා විසින් යාපනයේ කලබල ඇති කර ඒ මිනිසුන්ගේ ජන්ද අයිතිය උදුරාගෙන කාළකණ්නි විදියට කටයුතු කර ආකාරය අපූරුවට ඉතිහාසයේ සටහන් කර ඇත.
නන්දන වීරරත්න මහතාගේ "යාපනය ගිනිලෑම" පොත බලන්න.
එම පොතේ එන ආකාරයට තමන්ට අභිමත පරිදි දකුණේ පිරිස සහ පොලීසිය රැගෙන ගොස් යාපනයේ නොතිබූ කලබල ඇති කොට, මැතිවරණ නීති කඩ කොට කටයුතු කරමින් ජන්දය දිනාගැනීම පිණිස කටයුතු කර ඇත්තේ ජේ ආර්ගේ මහ දැනුවත් බෑනාය. ඒ් කාර්යයන් ගැන ලියූ පොතේ කරුණු අභියෝගයට ලක් වී නැති බව මාධවගේ අදහසයි.
යුද්ධය නිම කර පසු, මහින්ද යුගයේදී ත්‍රස්තවාදී චෝදනා මත මහ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැමුන් අතුරුදන් කරමින් සිදු කල සංහාරය ද ඒවැන්නකි. එහිදී යාපනයේ මාධ්‍ය ආයතන වලට පහර දීම ද අමතක කල නොහැකිය.
දැන් ඇත්තේ පුනරුද යුගය යැයි පාරම් බාන අනුර ප්‍රමුඛ ආණ්ඩුව පළමුවෙන්ම සාක්ෂාත් කර ගත යුතු කාරණා වලින් එකක් වන්නේ යාපනයේ මිනිසුන් තබා ඇති විශ්වාසය රැක බලා ගැනීම ය. ඒ වෙනුවෙන් යාපනයේ ගොස් පොඩි කතා ආතල් දීම ප්‍රමාණවත් නැත. රටේ අනෙකුත් පලාත් වලට මෙන්ම පහසුකම් සැපයීමෙන් මෙන්ම වෙනත් ක්‍රම වලින්ද ඔවුන්ව දකුණට බැඳ තබා ගත යුතුය. අවස්ථාවාදී, බල ලෝභී පැරණි පාලක පන්තිය කෙමෙන් කෙමෙන් අලු ගසන මොහොතක යලි සංහාරයන් ඇති වීම හෝ අවිශ්වාසය ඇතිවීමට ඇති ඉඩ අහුරා තබාගත යුතුය.
ඒයට උතුරේ ඉන්නා ජාතිවාදී දේශපාලනයටත් දකුණේ ඇති ජාතිවාදී දේශපාලනයටත් තිත තැබිය යුතුය. ඒ සඳහා අනුර ප්‍රමුඛ ආණ්ඩුව දැඩි තීරණ තීන්දු ගත යුතුය. දකුණේ මිනිසුන් උතුරේ මිනිසාව විශ්වාස කරනා යුගය එතකොට තව දුර නොවෙන්නේය.