ඒක මහින්දගේ පුද්ගලික ගෙදරක්ද?

අනුර ජනාධිපතිවරයා පසුගියදා මහජනතාව අමතමින් රැස්වීමකදී කී පරිදි ලක්ෂ 46ක් ගෙවා මහින්ද රාජපක්ෂට කුලියට ඉන්න හෝ නැතිනම් ඉවත්ව යන්න පුලුවන් ය. මාධවගේ අදහස ජනාධිපතිවරයා වරද්දාගත්තේ මහින්දගේ නම පාවිච්චි කිරීම නිසාය. ඒ වගේම ආණ්ඩුවේ පොඩි පොඩි හිල් ගැන අමතක කරවන්න පොහෝට්ටු හැතිකරය සහ පාවෙන ජන්ද වෙත දැමූ පුංචි බෝලයක් ය. සමහර විට ඒකෙන් සතියක් දෙකක් ආණ්ඩුවට සහ විපක්ෂයට තමන්ගේ බැරි බැරියාවන් ගැන විලි වහගන්න පුලුවන්ය.

ජා. ජා. බ. හි ජන්ද පොරොන්දු අතර ප්‍රධාන එකක් වූයේ රටේ සාරය උරා බී ජීවත් වුනු පැරණි දේශපාලනික පන්තිය නඩත්තු කිරීම නවතාලීමය. කන්න බොන්න නැතිව අමාරුවෙන් බදු ගෙවන ජනතාවගේ මුදලින් දේශපාලනික පන්තිය නඩත්තු කරන සංස්කෘතිය නවතන බව පොරොන්දුවක් විය.

ජ ජ බ වෙත 3න් 2ක් දීමට ප්‍රධාන හේතුවක් වූයේද ඒකය.

දැන් අනුර කුමාර කිව්වේ මහින්ද මහතාට ලබා දුන් නිවසින් ඔහු ඉවත් විය යුතු බවය. මාධව කියන්නෙ කිව යුත්තේ ඒම නොවන බවය. කිව යුත්තේ කෙසේද?

විශ්‍රාම වැටුප් දෙක තුන ලබන විශ්‍රාමික ජනාධිපතිවරු, අගමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මේ සියල්ලොන්ගේම බිරින්දෑවරු නඩත්තුව අහවල් දින සිට නතර කර දමනවා කිව්වා නම් අර රුවන්ති මංගලාලා මාධ්‍යට අඩන්නේ නැත. උන්ට ඒකල මහජනතාව පෝලිං වල දුක් විඳිද්දී, මැරී වැටෙද්දී නැති අමාරුවක් රටේ සල්ලි පිල්ලි ගැසූ උන් ගැන මාර විදියට ඇත්තෝය. උන් මොන ජාතියේ කලාකාරයෝද කියා සිතෙන්නේ ආන්න එතකොට ය. අහිංසක මිනිස්සුන්ට කන්න බත් නැති බව මතක් වෙන්නේ ද ගෙයින් දොට්ට බහින්න කියලා කිව්වාමය. අනේ සන්තානේ උන්ගේ කඳුලු, කිඹුල් කඳුලු ය.

කෙසේ වෙතත් ඒ ජන්ද පොරොන්දුව ගැන මාධව දැඩිව උනන්දු ය. විශ්‍රාමික ජනාධිපතිවරු, අගමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මේ සියල්ලොන්ගේම බිරින්දෑවරු නඩත්තුව නතර වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. ඒවාට මාධව සතුව ඇති හේතු මේවාය.

මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේය. රනිල් මෛත්‍රී කැඳ හැලිය ඒ කාලේ මිය ගිය උන්ට දුන් සැලකිල්ල අමතක නැත. එහෙව් පහත් සැලකීමක් ජනතාව වෙනුවෙන් ලබා දුන් කාළකණ්නි දේශපාලනික උන්ට මහජනතාව තමන්ගේ වියදමින් සැලකිය යුතු ඇයි?

පාස්කුව පුපුරා ගියේය. පාස්කුව පිලිබඳ පුද්ගලිකව අත්දැකීම් දෑසින්ම දැක්කාට අමතරව, පාස්කුව ගැන සුනන්ද මහේන්ද්‍ර ලියූ වාර්තාමය පොත කියවූ මාධවට හිතුනේ අතීතයේ පාලනය ගෙන ගිය මුං කොච්චර අමන විදියට මිනිස්සුන්ව මුලා කර ඇතිද යන්න ය. පාස්කුවෙන් පසු රනිල් වික්‍රමසිංහගේ උද්දච්ච මාධ්‍ය හමුව යුක්තිය සාධාරණත්වය අගයන මිනිසුන්ට අමතක නොවී ඇතැයි මාධවට විශ්වාස ය. වින්දිතයින් සඳහා ලැබුනු වන්දිය සාධාරණද? වලක්වා ගත හැකිව තිබුනු ප්‍රහාරයකට මිනිසුන් බිලි දුන් ප්‍රීති වී විසිර ගිය උන්ට මහජනතාවගේ වියදමින් සැලකිය යුතු ඇයි?

රට බංකොලොත් කර, මහජනතාව පාරට ඇද දැමූ පාලකයින් දැන් දැන් එම පාරේ හිඟා නොකා හිඟා කද්දී බදු බරින් මිරිකා සූරා දැමූ පාලකයින් සුර සැප වින්දේය. මිනිසුන් පෝලිම් වල මැරී වැටෙද්දී උන් සැපට කා බී සුර සැප වින්දෝය. හොර ඔසු ලබා දී මිනිසුන් අන්ධ වෙත්දී උන් මල් ශාලා මතක් කර සිනා වීම අමතක කල හැකිද? එහෙව් කාළකණ්නි පාලකයින් තවදුරටත් මහජන මුදලින් නඩත්තු විය යුතුද?

ජීවත් වීමේ අයිතීන් ඉල්ලා අරගලයට පහර දී මිනිස්සුන්ව ඝාතනය කිරීමට උත්සහ කරමින් කටයුතු කල කාළකණ්නින්ව තවදුරටත් මහජන මුදලින් නඩත්තු විය යුතුද?

ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාගේ මේ “පොරාන්දුව” ඉෂ්ඨ වීම අනිවාර්යය ය. නලින්ද ඇමතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කී පරිදි සියලූම විශ්‍රාමික ජනාධිපතිවරු සහ වැන්දඹු බිරින්දෑවරු නඩත්තු නවතාලීම ගැන නව කැබිනෙට්ටුව ඉතාමත් ඉක්මණින් තීරණය ගෙන ක්‍රියාත්මක කල යුතුය. එමෙන්ම ඒ තීන්දුව අතීතයට පමණක් නොව අනාගතයට ද බලපැවැත්විය යුතුය.

ඒක “මහින්දට” විතරක් කඩිනම් කිරීමෙන් ඒ කටයුත්ත පෞද්ගලික පලිගැනීමක් ලෙස පෙනී යාම මෙන්ම, ඒසේ අර්ථ දැක්වීමට අවස්ථාවක් ලබා දීම, වැලේ වැල් නැතුව ඉන්නා කාළකණ්නි දේශපාලන සංස්කෘතියේ පාදඩ පොහොට්ටුවො කීප දෙනාට රත්තරන් අවස්ථාවක් වනු ඇත. ඒ නිසා කඩිනමින් සියල්ල සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙමින් මේ ගැටළුව ඉදිරියට මතු නොවන සේ නිමා කල යුතුය. ඒනම් මහජන මුදලින් දේශපාලකයින් නඩත්තුව අහවර විය යුතුය.

ඉතින් අවසානයට කිය යුත්තේ, මාධවලා ඇතුලු සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කරන අයවලුන්ගේ බලාපොරොත්තු බිඳ නොවැටිය යුතු වීමට නම් ආණ්ඩුව සිය පොරොන්දුව ඉටු කිරීම සිදු කල යුතු බවය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form