හන්දිය

 


එදා ඉර පායාගෙන එද්දී වෙනදාට වඩා හන්දියේ සෙනඟ. පොලීසියත් ඇවිල්ල වගේ. ඈතට පෙනුන දේවල් විපරම් කරන්න වටිනවා. උදේම වැඩට යන එක උනත් පස්සට දාලා විපරම් කරන්න හිතුනෙ අතීතයේ පටන් මේ හන්දිය විවිද දේවල් වලට ප්‍රසිද්ධ නිසා...

මං යන්තං කිරි එකා කාලේ 88 89 කාලය එළඹිලා මෙතන මිනී ඔලු කෝටු වල ගහල තිබුනාය කියලා කියන්නෙ 95 ඉපදුන සිතුම් මල්ලි. අනේ ඌ සමහර විට කියනවා ඇත්තෙ ඌගේ ඔලුව එතන ගහල තිබුනාය, එදා මැරුණාය පස්සෙ 95දි ඉපදුනාය කියලා වෙන්නැති. නැතිනම් 95 උපන් ඌ දැක්ක යැ 88 89 කාලේ ඒවා.

කෝම උනත් මේක තුම්මං හංදියක්. මන්ත්‍රි මුල්වෙලා බලෙන් ඉඩම අල්ලාගෙන මේ හන්දියේ පුංචි කඩ පේලියක් ගොඩනඟල "දැනෙන" සංවර්ධනයක් ගමට කලාය කියන්නෙ හන්දියේ කෙසෙල් කඩේ මලී නැන්දා. දැනෙන වෙනස උන්දැගෙ ගෙදරයි මන්ත්‍රීයි අතරෙ වෙන්නැති කියලා ඒකිට කින්ඩිය දාන්නෙ කඩයක් හිමි නොවුනු පාර අයිනේ අනවසර එලවලු කඩේ දාන් ඉන්න කමලාවතී නැන්දා. ගැහැණියක්ම තවත් ගැහැණියකට කෙලවන ලස්සන හැබෑවටම...

ආන්න ඒ හන්දියේ ලස්සනම ව්‍යාපාරය කලේ පියසිරි අයියා තමා. ඒ මල් සහ මාලු වෙලඳාම.

වෙනදා මේ හන්දිය හරි ලස්සනයි. මල් සහ මාලු වෙලඳාමට එන පියසිරි අයියා පුංචි පුංචි මාලු දාපු පොඩි ඉටි බෑග් අරන් ඇවිල්ලා මාලු ජෝඩු ජෝඩු දාලා වෛර්ණ මාලු විකුණන්න තියං ඉන්නෙ මේ හන්දියේ. ඉස්කෝලෙ යන පුංචි උන් ආසම දේ සල්ලි නැතත් මේ අහිංසක මාලු විකුණන දිහා ඇස් පිය නොගහ බලන් ඉන්න එක. 

නේක මල් පැල බිමින් තියලා ඒවට නිතර දෙවේලෙ වතුර ඉහමින් අවුව වැඩි නම් ආපහු වාහනේට දාලා ආරක්සා කරමින් රැක ගන්න මල් පැල තරම් ආදරයක් අර පුංචි මාලු කීපදෙනා කෙරෙහි නැති බව මට හැමදාම හිතුනා. පව් උන්.

මං ඇත්තටම අප්‍රිය කරන ආස නැති වැඩක් මේ මාලු පොඩි පොලිතීන් වල දාලා විකුණන එක. දවසක් පුරාවට මේ පුංචි වතුර ගොඩේ ඉන්න හිරවෙලා. සමහර මාලු මැරිලා එහෙම්ම. අනික ගිනි ගහන අවුවෙ. බලන් ඉන්න අපිට ලස්සන උනාට ඒ පැකැට්ටු ඇතුලෙ ඉන්න මාළුන්ට එහෙම නැහැ. ඇහුවම නං කියන්නෙ පැය විසිහරතක් ඉන්න ඇහැකිලු. 

අපිට පැය භාගයක් ඉන්න පුලුවන්ද එක ඉරියව්වෙන්. යකාගේ තර්ක. මට හැමවෙලේම ඒම හිතෙනවා උන් දකින වාරයක් ගානෙම. අහිංසක සත්තු මේම හිරකරලා වෙනුවට ලොකු ටැංකි කීපයක් ගෙනැල්ලා ඒවාගේ තියාන වික්කනම් මොකද? අර සිංගප්පූරුවේ එහෙම කරන්නෙ. 

තියන කම්මැලිකමට තමා ඒම පොඩි පැකට්ටු වල දාලා විකුණන්නෙ. මේ සේරම හිතන ගමන් ඉතින් හන්දියේ කලබලේ මොකක්ද කියලා බලන්න මාත් කාර්යාලයට යන එක පැත්තක තියලා එතනට කිට්ටු කලා. 

හත්දෙයියනේ වින්නැහියයි.

ලයිට් කනුවෙ එල්ලිලා ඉන්නෙ පියසිරි අයිය නේද?

ලොකු ඉටි කවරයක් අස්සට අත පය බැඳපු පියසිරි අයියව බස්සලා බාගයක් වතුර පුරවලා ඉතිරි බාගේ හුලං පුරවලා හන්දියේ ලයිට් කනුවක එල්ලලා තියනවා මං එතනට ගිහාම ඉස්සෙල්ලම දැක්කෙ. 

හරියට අර විකුණන්න ඉන්න මාලු පැටව් වගේම හිරට හිරේ මිනිහවත් පොලිතීන් පැකැට්ටුවකට දාලා ලයිට් කනුවෙ එල්ලලා.

පිටින් දැන්වීමකුත් අලවලා පොලිතීන් කවරේ!

ඒ තිබ්බ දැන්වීම කවුදෝ හයියෙන් කියෙව්වා.

"මින් පසු මම මාලුන්ට හිරිහැර නොකරමි. උන්ව අලෙවි කිරීමේදී පහසුව සලසමින් අලෙවි කරමි."

ඒම ලියලා තිබුන බෝඩ් එක පැකැට්ටුවෙන් ගලවලු පොලිස් නිලධාරියා පියසිරිව බිමට බාන්න කියලා වටේ උන්ට අණ කලා. ඊළගට එතනින් ආව බස් එකේ නැඟපු මං වැඩට ගියා. බස් එකේ ජනේලෙන් මං දැක්කෙ පියසිරි අයියා වෙවුල වෙවුල කොර ගහමින් තමන්ගෙ ගෙදර දිහාවට යන විත්තිය. එදායින් පස්සෙ පියරිසි අයියා එතන මාලු වික්කෙ නැහැ

හන්දියේ මාලු පාරාදීසය වියැකිලා ගියා..

කවුරු උනත් එකාතකට ඒ කරපු වැඩේ හරියැ කියලා මටත් හිතුනා. ලේසිය නෙව බලන්නෙ. අනික තමන්ට අයිති නැති ජීවිත විකුණද්දි එක්කො මරලම විකුණන එක හරි සාධාරණයි කියල ආයෙමත් මටම හිතුනා. එතකොට එකාතට මරණ වේදනාව විතරයි. මුං පැකට්ටු අස්සෙ හිරවෙලා හුස්මක් කටක් ගන්න නැතුව පල් උන වතුර අස්සෙ.......

ඒ ගැන හිතද්දි පියසිරි අයියට පැකට්ටුව ඇතුලෙ කෝමද දැනුන හැටි කියලා හිතිල මගෙත් අත පය කොර වෙලා යන්න වගේ හැඟීමක් දැනුනා.

ඉතින් වෙනදා වගේම හන්දියට ඉර එලිය වැටුනා. සිතුම් මල්ලි වෙනදා වගේම ඌ නොදැකපු 88 89 කාලේ ගැන බේගල් ඇදබාන්න හන්දියට බැස්සා. උගේ චන්ඩිකම් හන්දියටම සීමා වෙද්දි මලී සහ කමලා නැන්දලා සුපුරුදු පරිදි කෙස්වලු පටල ගත්තා. මාසෙකට පාරක් මන්ත්‍රීගෙ චක්ගෝලයා ඇවිත් කාගෙ කාගෙනුත් කඩ කුලී එක්කාසු කරගෙන යන්න ගියා. කඩපේලිය ආයේ දියුණු උනේ නැහැ. ඒ විදියටම දියසෙවෙල් බැඳුන බිත්ති තව තවත් දුර්වර්ණ වෙලා ගියා. ඒ මොන දේ සිද්ධ උනත් පරණ මල් මල් හන්දියේ ආයේ කවදාකවත් පණ තියන වෛර්ණ ලස්සන මාලු පැටව්  පැකට් වෙලා නං විකිණුනේ නැහැ.

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හරිම අධියතාර්ථවාදී පිවිසුමක්! පුළුවන් එවුන් කොතෙකුත් ඉදිදී බැරි එකෙක් එල්ලන්නේ බැරි එකෙක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මං කිව්ව කතාව හරියටම තේරුම් ගත්ත පුද්ගලයෙක්! ස්තූතියි සහෝදරයා!

      Delete
  2. යකෝ එදා උනෙත් ඔය වගේ දේවල්ම තමයි! අතරිං පතරිං බලයේ හිටපු උනුයි යුනිෆෝම් කාරයොයි ඉඩං නඩු කාරයොයි කරපු මගුල් ඒ ගිණුමටම බැර උනාට!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමාජ මාධ්‍ය තිබුනනම් ඒ කාලේ! ඒම නැතිනම් හරි හමන් සන්නිවේදනයක් තිබුනනනම් සියල්ල වෙනස් වෙලා අනිවාර්යයෙන්ම....

      Delete
  3. සත්තු කෙරෙහි තියෙන අනුකම්පාව පියසිරි අයියා කෙරෙහි නැති උනේ මොකද? සැබෑ අවිහිංසාවාදියෙකුට තවත් ප්‍රචන්ඩත්වයක් දියත් කරන්න හිත හදා ගන්නේ කොහොමද>

    ReplyDelete
  4. සුන්දර මතක සටහනක්

    ReplyDelete
Previous Post Next Post

Contact Form