කථා දෙකක්...!!!




මාධවගේ ජීවිතේ ඇත්තේ කතාන්දරමය!

ඒවා ජීවන කතාන්දර, දේශපාලනික කතාන්දර සහ තාක්ශණික කතාන්දර ලෙස වර්ග වන්නේය. අද මේ කියන්න යන්නේ ජීවන කතාන්දර වලින් ද්විත්වයක් ය!!
මේ ලියන මොහොතේ මාධව ඉන්නේ සුන්දර ප්‍රදේශයක දුක්බර වූ අවමංගල්‍යය උත්සවයකට සහභාගී වන ගමන්ය. අධික වැසි ඇද හැලෙනා ශීත කාලගුණය මැද්දේ රියදුරු අසුන මත ඉඳගෙන ඉද්දී පෙරදා මතක් වූ කතාවක්ද ඇතුලුව කතාන්දර ගොන්නෙන් කීපයක් මෙසේ කියාපාන්නට මාධවට සිතුනේය.

පලමු වැන්න
රණවිරුවෙකුගේ අවමංගල්‍යය උත්සවය.

මාධව කුඩා කාලයේ, මාධවගේ අල්ලපු ගෙදර උන් ප්‍රියන්ත මාමා ගැන මාධවට ඇත්තේ අල්ප මාත්‍රයක් වූ මතකයන් ය. මක් නිසාද යත් හෙතම උන්නේ යුධ හමුදාවේ ය. ඔහු ගෙදර උන්නේ කෙටි කාලයක් ය. මාධව ඔහුව පණ පිටින් ඉන්නවා දැක ඇත්තේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්‍ ය. ඔහුගේ මරණය සම්බන්ධ සිදුවීම් බිඳක් මාධවගේ මතකයේ ඇඳී ඇත්තේ‍ය. මාධව ඉලව් ගෙයක් සම්බන්ධව අත්දැකීම ලැබුවේ මෙම කී රණවිරු මලගෙදරින් ය..

ඊට පෙර මල ගෙවල් දැක ඇති නමුත් 24 පැය කීපයක් පුරාවට ගෙවුනු පලමු අත්දැකීම මේකය.

එනම් පාබල හමුදාවේ උන් ප්‍රියන්ත මාමාගේ අවමංගල්‍යය  ය.

යුධහමුදාවේ සිටියදී වෙඩි වැදීමකින් හෙතෙම මරණයට පත් විය. ඊට එහා දෙයක් මාධවට මතක නැත. අදටත් හොයා නැත. එක්තරා රැයක බලමින් සිටි කෝපි කඩේ දිස් වූ රූපවාහිනීය වසා දැමූ මාධවලාගේ ගෙදර ඇත්තෝ පහල ගෙදරට කඩිනමින් දිව ගියේ මිත්තනිය සහ මාධව පමණක් නිවසේ තනි කරදමාය.

ඉක්බිති දින කීපයක් පුරාවට ඇද හැලුනු වැසි මධ්‍යයේ මාධවලාගේ ගම් පියසේද ජීවත්වූ තවත් එක් රණවිරුවෙක් පොලවට භූමදාන වන තෙක්ම මතකයන් මාධවට ජායාවන් සේ මතකයේ ඇත. 

මහ වැසි, තද සුලං, පැමිණෙන මහ ජන ගඟ, ප්‍රියන්ත මාමා නිලඇඳුම ඇඳ නලලේ ප්ලාස්තරය ගසා නිදන මිනී පෙට්ටිය. ඒ වටා පිරී ඇති මල් වඩම්, ඉක්බිති හමුදා ආචාර මධ්‍යයේ භූමදානය, වෙඩි හඬ, කරුණා අත්තම්මාගේ හැඬුම හෙවත් දරුවෙක් අහිමි වූ මවකගේ විලාපය!

මේ මතකයන් අතරේ මාධගේ දෑසට අසුවු දෙයක් තිබුනේය. ඒ අපූරුම මතකය අදත් අවදි වී මාධවට මද සිනහා පහල විය. මාධවගේ ඒ අපූර්ව ආසාව වූයේ අවමගුලට පැමිණි යුධ භටයින් හිස පැලද උන් අපූරු හිස්වැසුමය.

ලෙනින් පන්නයේ කොල පාට හිස් වැසුමක් හැඳ එයට අලංකාර පිහාටු ගසා ගාම්භීර ලෙස එහෙ මෙහෙ ඇවිදින සෙබලුන්ගේ වෙන කිසිවකටත් වඩා මාධවට සිත් ගත්තේ මෙම පිහාටු රැඳවූ හිස් වැසුමමය. 

මල ගෙදර අවසන් විය. සියල්ල නිහඬ විය.

එදා පටන් ළමා වයසේ උන් මාධව ගෙදර තිබූ මේ කියනා ලෙනින් පන්නයේ පාන්කඩ තොප්පියක් හොයාගත් මාධව, කොකා සහ දසකැලුමා සමඟ ගොස් කොහේදෝ ගමේ කෙලෝරක තිබුනු ගෙදරක කුකුළු කූඩුවක් අවුස්සා මහ විසාල කුකුල් පිහාටු ටිකක් අහුලාගෙන විත් ඉහත කී තොප්පි වල ගසා ගම වටේ වෙඩිමුර ආචාර පවත්වන්නට විය.

එකී සෙල්ලම හමාර වීමට මාසයක් හෝ දෙකක් ගත විය.
ඒ හමුදාව සම්බන්ධව මාධවගේ කුඩා කල මතක වලින් එකක්ය.

ඉන් පසුද සෑහෙන කාලයක් යනතෙක් රටේ තරුණයෝ නිදන මිනී පෙට්ටි ගම්මාන වලට ආවෝය. ගම්වල උන් මාධවලා වාගේ පොඩි උන් කුරුළු පිහාටු අමුණාගත් හිස් වැසුම් පැලඳ ආචාර වෙඩිමුර තැබීමේ සෙල්ලම් ද සිද්ද වුනෝය.

අම්මලා, වැන්දඹු බිරින්දෑවරු සහ ඔවුන් සදාකල්හිම සිය ප්‍රියතමයා නැති සොවින් තවමත් වැලපෙනවා ඇත.

මාධවලාට එය සෙල්ලමක් වුවද ඒක සෙල්ලමක් නොවන බව මාධවට වැටහෙන්න වසර ගණනාවක් ගතවිය. හිස් වැසුමේ අලංකාරත්වය තුල ඇති මරණය අරක්ගත් බියකරු යුද්ධයේ යථාර්ථය තේරුම් යන්නට බොහෝ කලක් ගත විය.

ඒ පලමු කථාන්දරය ය.

දෙවැන්න 
 
"ආදරණීය සැලකිල්ල"

මාධවගේ සිතේ ඈ සම්බන්ධව තවමත් ඇත්තේ ආදරණීය හැඟීම් ය. මරණය ලං වන තෙක්ම ඈ සම්බන්ධව මතක මාධව තුල පවතී යැයි මාධවට සිතෙන්නේ ය. විවාපත් වූ මාධවගේ සිතේ ඈට ඇති තැන නැතිවී නැතැයි වේලාවකට හිතෙන්නේය. ඈ......

එයට හේතුව ඇය මාධව සම්බන්ධව දැක්වූ සැලකිල්ල ය.

යම් අයෙක් ඉතා සුලු දෙයකින් හෝ ඔබ ගැන සැලකිල්ල දක්වනවාට ඔබ කැමැත්තේය. විශේෂයෙන් ඔබගේ සිත්ගත් ඇත්තියක් එසේ කරන කල්හි එය හෘද වස්තුවේ රිද්මය උත්කෘෂ්ට අන්දමින් ඉහල දමනු ඇත. ඔබව ප්‍රබෝධමත් කරනු ඇත. මාධවට ආන්න ඈව දැනුනේ ඇය තුල මාධව සම්බන්ධව තිබූ සුලු හෝ සැලකිල්ලමය!

ආන්න ඒ අන්දමින් මාධවගේ සිතට අරක් ගත් ඈ දැන් වෙන අයෙකුගේ අතිනත ගෙන ප්‍රිය බිරිඳක් වී ඉන්නේ ය. පුංචි සුරංගනාවියකට උපත දී මව්තුමියක් වී ඉන්නේය.මුහුණු පොතෙන් ඈ දකින කල්හි, ඒ සිනාව පිබිදී ඇති අයුරු දකිනා කල්හි මාධව සතුටින් පිනා යන්නේය.

එකල යොවුන් ඈ අදටත් එසේම සුන්දර යුවතියක්මය. 

මේ කතාව ඈ මාධව ගැන සැලකිලිමත් වූ ආකාරය ගැනය. මාධව ටෙක් ආවේ නැති නම් සොයා බැලුවේය. කෑම නැති නම් සොයා බැලුවේය. මාධව ආසා දේවල් ගැන විමසිලිමත් විය. මාධවගේ පූසන්ටද ඈ ආදරේ විය. ඒ ඈ කෙටි කාලයකින් මාධවගේ සිතැඟි හඳුනාගෙන උන්නු ආකාරය ය.

ඈ මාධවට ආදරය කලාදැයි මාධව නොදන්නාමුත් මාධව සිත පුරා ආදරේ කල ඈගේ හොඳම ගතිගුණය වන "සැලකිලිමත්කම" ගැන මේ කතාව කියවෙන්නේය. මේක පොඩි කාරණාවක් වුවද ගත යුතු දේ ඔබට වැටහෙනු ඇත.

ඇය තුල මාධව කෙරෙහි තිබූ සැලකිල්ල ගැන කුඩා උදාහරණයක් කීම ප්‍රමාණවත් වනු ඇතැයි මාධව සිතන්නේය!
 
මාධව සංගීතයට ආසා කරන්නේය. හැබැයි හන්දි වල බෙරිහන් දෙන සංගීත කරච්චල වලට ආසා නැත.  "Unplugged" හෙවත් ශාලාවක් තුල නේක ආකාරයේ සංගීත භාණ්ඩ වාදනය කරමින් පවත්වනා වූ අපූරු සංගීත සංකලනයන්ට ය මාධව ආසා කරන්නේ.

ටෙක් ජීවිතය නිම වී කාලයකට පසු එක්තරා සැන්දෑවක මාධව රූපවාහිනී යන්තරයේ බලමින් උන්නේ කාගේදෝ අන්ප්ලග් ප්‍රසංගයක්‍ ය. එය විඳිමින් බලමින් කුල්මත් වෙමින් සිටිනා කල්හි ජංගමයා නාද වූයේ කෙටි පයින්ඩයක් ලද බව අඟවමිනි.

"Dear, ITN balanna.oya aasa deyak pennanawa"

ලෙස එහි සඳහන් වී තිබුනේය.

ටෙක් ජීවිතයෙන් ඈත් වී වසරකට පමණ පසුවත් ඈට මාධවගේ ප්‍රියතම සංගීත රුචිය මතකයේ තිබීම නිසාම ඈ පිලිබඳව මාධවට අපූරු කුල්මත් හැඟීමක් ගෙන ආවේය.

ඔබ යම් කෙනෙක් ගැන සැලකිලිමත් වන්නේ නම් එයම ආදරය වන්නේය.

ප්‍රේමය එහි තිබෙන්නේය. 

මාධව ඒ බව තදින්ම විශ්වාස කරන්නේය.

අදටත් ඈ විසින් දැක්වූ එබඳු ආදරණීය සැලකිලි මාධවගේ සිතේ මතක අතරේ තැන්පත්ව තිබෙන්නේ ආන්න ඒ නිසාමය.

ප්‍රේමය නිසාමය.

අවසාන වශයෙන් කිවයුත්තේ සැමතැනම තිබෙන්නේ ප්‍රේමයමය. එය විවිධාකාරය. දරුවා මලශෝකයෙන් අම්මා විලාප දෙන්නෙත්, කෙනෙක් තවෙකෙක් ගේ සුලු දෙයක් ගැන පවා විමසිල්ලට භාජනය කරන්නෙත් ප්‍රේමය නිසාමය.

ඉතින්, මාධව විශ්වාස කරන්නේ එක දෙයක් මය.
එනම් ප්‍රේමය නොමැති ලෝකයක් නොපවතිනු ඇත!








2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form