කොලොම්පුරේ හිසරදය..............................



ගමට ආදරේ කරද්දි ගම දාලා යන්න බෑ! ගම කාලා හිටියත් මාධවට ගම දාලා යන එක තරම් අමාරු දෙයක් නෑ! මේක ලියන්න හිතුනේ මාධව මේ ගිය දවසක කොලොම්පුරේට පාත් උන නිසා තම කාර්යයකට! ඈවිත් බැරි නෑවිත් බැරි කොළඹ හැමදේම තියනවලු! ඒත් කොළඹ යන හැම වෙලාවකම මාධවගේ හිතට දැනෙන තනිකම කියලා නිමා කරන්න බෑ! පුදුමාකාර මානසික දුකක් දැනෙනවා කොළඹ පැත්තට හැරුනත්! මේ කියන්නේ අන්න ඒ කතාන්දරය..... ඒ සිතුවිල්ල ගැනයි! කොලොම්පුරේ හිසරදය.....


මාධවගේ ටවුමෙන් කොළඹ දුවන එක්ස්ප්‍රස් බස් එකකට නැගලා ඉදගත්තම හිත ගොඩාක් දුර යනවා! පැය 3ක් 4ක් අතර කාලයක් මේ සිතුවිල්ල එක්ක බස් එකේ ගිහින් අන්තිමට කොළඹ ගෙන්දගම් පොළවට පය ගහපුවම ඊළග බස් එකේ නැගලා ගෙදර දුවන්න හිතුනු වාර ගණන නිමක් නෑ! ටික ටික මාධවලගේ ටවුමෙන් ඈතට යන බස් එක අවිස්සාවේල්ල පහු කරන් කොළඹට කිට්ටු වෙද්දි හිත පුරාම මහා තනිකමක් ඇතුලු හැගීම් ගොඩක් පිරී ඉතිරී යනවා! ගමෙන් ඈතට යන විට දැනෙන සාංකාව සමග ශරීරයට ඇතිවන අපහසුව ඇතුලු ගොඩක් දේවල් එක්කම නගරය අප්‍රසන්න වෙන්න මාධවට වැඩි වෙලාවක් යන්නේ නෑ. ගමේ තියන සනීප සුළගට වගේ සිරුර සනසන්නේ නැති ගිනියම් අව් කාෂ්ටකේ කර වෙවී පදික වේදිකාව මත ඉදන් කෑ ගහන වෙලෙන්දුන්ගේ ජීවිතේ ඝෝෂාව අස්සේ එහෙන් මෙහෙන් බෙරිහන් දෙන රේස් දුවන ලේලන්ඩ් වල කන පැලෙන හෝන් සද්දේ කවදාවත් මාධව ගමේදි අහලා නෑ! ඉස්කෝලේ ගාවින් පැය 5කට පාරක් යන ගමේ බස් එක ඇරෙන්න කවදාවත් හෝන් සද්දෙකට කියලා මාධවගේ ගමේ වාහනයක් හෝන් සද්දේ දාගෙන යන්නේ නෑ! නිහඩ බව රජ කරන ගමේ අගය කොළඹදී ඉහටත් උඩින් දැනෙනවා.

ගමේ උදේ ඉදන් හවස් වෙනකම්ම ගස් කොළ වල සර සරය එක්ක හමන  සිසිල් සුළං රැලි වෙනුවට කොළඹ තියන දූවිල්ල පිරුණ ගද ගහන දුමෙන් පිරුණ රත් වෙච්ච සුළග අපිව සූරගෙන යනවා වගේ දැනෙනවා! අපේ ඉහ මොල හූරන් කනවා වගේ ඔලු පුච්චන ඉර ගමේදී නම් ගොඩක් මිතුරු ලීලාවෙන් මාධවලට සනීපයක් ඇති කරනවා! ගමේ හිරු අහිංසකයි! නගරයේ වගේ අපිට පීඩාවක් දෙන්නේ නෑ! ගස් කොල පිරුණු කැලේ අතරින් ගමට යන මාධව ඒ හැමදේම නිසා කොන්ක්‍රීට් වනාන්තරයක ජීවිතයක් කවදාවත් ආසාවෙන් ගෙවන එකක් නෑ!


කොළඹ තියන ලොතරැයි කූඩුව මාධවලගේ ටවුමේ ආනන්ද අංකල්ගේ ලොතරැයි කූඩුවට වඩා වෙනස් උනේ කොහොමද?  කොළඹ ලොතරැයි මාකට් කරන නිසා වෙන්න ඇති! ටවුමේ තියන පුංචි කඩ පේලිය වගේ නැතුව කොළඹ තියන මාකට් එක මහා කන්දොස්කිරියාවක් උනේ කොහොමද? එකෙක් පරයා අනිකාගේ ඝෝෂාව කනට මහා වදයක් දෙනවා! ටවුමේ මිනිස්සු අතර හුවමාරු වෙන සුහද සිනහා වෙනුවට කිසි කෙනෙක් නොදන්න මූනු අතුරින් මාධව ඔහේ බලන් ඉන්නවා! මාධවට දෙපසින් නිමක් නැති මිනිස්සු ඇවිද යනවා! සිනා කටක් නැති, හැගීම් නැතිවුන ලෝකයක් වගේ දැනෙනවා! කිසිම තැනක නිදහසක නාම මාත්‍රයක් නෑ! එකා මත එකා නැගී සිටින ජීවිත යුද්ධයක් කොළඹ තියෙන්නේ! හැම මිනිසාම ජීවතයේ රේස් එකට අහුවෙලා! හිගන්නාගේ ඉදලා මහා ධනවතාගේ ජීවිතය හෙට ගැන අවිනිශ්චිත බවෙන් පිරී ඉතිරිලා ඇති! ඒ සැක සංකා නිසාම උන් රේස් එකක දුවනවා! හැමෝම එකා පරදවා එකා පසු පස! කිසි නිදහසක් නැති ඒ වගේ කාළකණ්නි ජීවිතයකට වඩා ගමේ තියන දුප්පත් නිදහස් ජීවිතය කොච්චර වටිනවද? ඒ ගැන කියන්න වචන නෑ!


කොළඹ හැම පුංචි එකෙක්ගෙම ළමා කාලය ටියුෂන් වලටම ගෙවිලා යනවා! අම්මලා තාත්තලා දුවන රේස් එකටම ළමයටත් යන්න වෙලා! 5 වසරේදී පටන් ගන්න කාළකණ්නි ශිෂ්‍යත්වේ ඉදන් ගුරුවරු + දෙමාපියන්ගේ සුසංයෝගය ළමයගේ ඔලුවට පුරවන තරගකාරී මනස කවදාවත් ගමේ කොල්ලෝ කෙල්ලෝ ගාව නෑ! කොළඹ සිසුවා හැමදේම ඉහලින් සමත් වේවි! හැම දනන් අතුරින් ඉහලටම යාවි! ගමේ ඉන්න කොල්ලෙක් දෙන්නෙකුත් එහෙම ඉහල යනවාම තමයි! නමුත් නගරයේ සිසුවාට ජීවිතයේ ලස්සන විදින්න ගොඩක් ඉඩ නැතිවේවි! ගමෙන් උඩට ගිය එකාට තරම්!


ඒක මාධවට හිතෙන්නේ කොළඹ ළමයින්ගේ ටියුෂන් කෙරුවාව දැක්ක නිසයි! කොළඹ පුරාවට එකිනෙකා මත තියන ව්‍යාජත්වය වෙනුවට ගමේ ජංගි ඇදන් දුවන පුංචි ළමයි ළග අව්‍යාජත්වය පිරිලා! උන් කිසි දෙයක මවා පෑමක් නෑ! ගමේ පහසුකම් නැති පුංචි පාසල වෙනුවට නගරය පුරා තියන දහසකුත් එකක් පාසල් වල පහසුකම් ඉතිරිලා! නමුත් උන් ගාව නැති දේ ගමේ ඉපදුනු ගොඩයා ළග තියනවා! ඒ තමයි අව්‍යාජත්වය!!

ගමේ ඉන්න ගවුම් වලින් සැරසුනු කෙල්ලන්ගේ ස්වාභාවික ලස්සන වෙනුවට කොළඹ තියෙන්නේ මේක්-අප් යුගයක්! හැම කෙල්ලක්ගේම ලස්සන සැන් පවුඩර් වලින් වසන් වෙලා! උන්ගේ සැබෑ ලස්සන වසාගෙන ව්‍යාජ ලස්සනක් මවා පාන නගරයක්! නගරයේ කෙල්ලන් සිත් වශී කරන්න දක්ෂයි! උන්ට ඕනිත් ඒ දේම වෙන්න ඇති! ඒත් උන් ළග ආදරේ තියෙන්නේ ගොඩක් අඩුවෙන් වෙන්න ඇති! මාධවට දැනිච්ච දෙයක් නිසා මාධවට එහෙම හිතනවා! ඒ කෙල්ලන් දකින මාධවගේ සිත ගොඩක් ව්‍යාකූල වී හැගීම් වල්මත් වී යනවා! ඒ නිසාම මාධව ගමේ දකින කෙල්ලගේ සුන්දරත්වයට ආසයි! ජින්ස් හා බ්ලවුස වලින් සැරසුනු බෝනික්කන් වෙනුවට ගමේ කෙල්ලකගේ ඇග වැසුනු ගවුම් පොඩිත්ත තුලින් ඇතිවල සුන්දරත්වය ඒ බෝනිකි කෙල්ලන් ළග නෑ!


කොහොම වුවත් මේ ගැන කියන්න බොහෝ දේ තිබුනත් මේ ඇති. අන්තිමට කොහොම කොහොම හරි කොළඹ ඉදන් නැවත ගමට එන බස් එකට නැගලා වාඩි උනාම හිතට දැනෙන සනීපය නිම කරන්න බෑ! පැය කීපයක් හිටිය ඒ ටිකට කොළඹ එපා වීම තුල මාධව කෙසේ කොළඹට වී දින ගනන් ගෙවන්නදැයි හිතෙනවා! බස් රථය ටික ටික නගර පසු කර කොළඹින් ඈත නිල් වන් කදු වලල්ල තුලින් සිය නගරයට ළගා වෙන විට ආපසු දැනෙන හුරු පුරුදු දේශගුණික වෙනසේ සිට නැවත සියලු හැගීම් නිසි පරිදි හොද අතට හැරෙන්න මොහොතක් ගත වෙන්නේ නෑ! සීතල සුළග බසයේ කවුලුවෙන් මූන පුරා ගලාගෙන යනවිට දැනෙන මිහිරියාව එක්ක සියලුම අප්‍රසන්න මතක හැගීම් ඉවත් වෙලා ආයෙමත් ගමේ ගොඩයාගේ හැගීම් ඉස්මතු වෙන්න මාධවට තත්පරයක් ගත වෙන්නේ නෑ!


හැදි ගෑරුප්පු වලින් කන නෝනලා මහත්තුරු ඉස්සරහ මාධව අතින් බත් අනාගෙන කන්නේ ගෑරුප්පුවේ කෑම බැරිකම නෙමෙයි! අතින් අනන බත් එකේ රස දන්න නිසාමයි! පේමන්ට් එකේ ඉදන් බත් එක බිම එලාන උනත් තරු පහක ඉදන් කෑවත් මාධවට ඒක ගින්නක් නෙමෙයි! ඒ මොන දේ ටවුමේ ඉදන් කලත් ගමේ මාධව කවදාවත් නගරයට ආදරය වෙන්නේ නෑ! අදටත් බාටා කෑලි දෙකක් දාගෙන හිගන්නා වගේ හැමදාම එකම සයිඩ් බෑග් එකත් එල්ලගෙන නුවර, කොළඹ යන මාධව කවදාවත් නගරයට සත 5කට ආදරේ වෙන්නේ නෑ!  ගමට තරම්!!!


මේ හැම දේම එක්ක මාධවට කියන්න ඕනි මෙපමණයි! ගමේ ගස් ගල් අතරින් ගමේ මිනිස්සු එක්ක ගෙවෙන ජීවිතය තරම් ජීවිතයක් කිසිම තැනකදි ආයේ ලබන්න බෑ! කවදාවත්! කිසිම තැනකදී!

- - - - - - - - - - - - - - - - - - - - - - - - -

ප/ ලි! - (කොළම ඇති හොද දේ ගැන කියන්නට මාධව දන්නේ හුගක් අඩුවෙන්! මාධව කොළම ගිහින් තියෙන්නේ අතේ ඇගිලි ගානටවත් තරම් නැතුව ඇති! ඒ නිසා මේ ලිපිය ගැන මාධවගේ පැත්තෙන් සිතා බලන මෙන් ඉල්ලනවා! )

ප/ ලි! - කොළඹට ප්‍රේම කරන්නෝ කමා කරත්වා! මේ මාධවගේ® අදහස පමණි! ©



7 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මමත් කොළඹට කැමති නෑ දැන්නම්..

    ReplyDelete
  2. ලෙසටම ලියල තියෙනව අයියෝ......(Y)

    ReplyDelete
  3. ඒත් උන් ළග ආදරේ තියෙන්නේ ගොඩක් අඩුවෙන් වෙන්න ඇති! // :- වෙන්ඩ ඇති නෙමේ ආදරේ නෙමේ තියෙන්නෙ සල්ලි වලට තියන කෑදරේ.

    කොලබම නැවතිලා රස්සා කරන කට්ටියටත් වෙළද කලාප වල වැඩ කරන කට්ටියත් මොන දුකක් විදිනව ඇත්ද..???

    ReplyDelete
  4. කොළඹ විටක් හොඳයි විටක් නරකයි....වෙලාවකට සුන්දරයි..වෙලාවකට අසුන්දරයි....නමුත් ගම... නාස්පුඩු කිතිකවන් යන සිහිල් සුලං රැලි.....ම් ..උබ රත්නපුරෙ පැත්තේද මලේ

    ReplyDelete
    Replies
    1. නැත! මම සමණල අඩවියෝ පොරක් වෙමි මිත්‍රයා!!

      Delete
  5. Dinesh - ඒ මොකෝ බං! ඇති වෙලා!

    අග්නි ධාරා... - ස්තූතියි!

    දූපත් වැසියා - හම්! මටත් ඒක හිතුනා බං! සල්ලි!

    රාජ් - මං ෂීතල පැත්තක මචං! රත්නපුරේ අහලකවත් නෑ! සිරිපා පහස ලබන පැත්තක!

    ReplyDelete
  6. පස්ට.........මටත් වෙලාවකට කොළඹ ලාචෝරු...

    ReplyDelete
Previous Post Next Post

Contact Form