මගේ 50 වැනි බ්ලොග් ලිපිය....



මං මගේ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර.
ඇත්තටම කියනවනම් ඒක නිවැරදිව ලියන්න පටන් අරන් අවුරුද්දක් විතර වෙලා. මං බ්ලොග් එක හැදුවට ඒක නොලියා ඉන්න හේතු ගොඩක් තිවුනා. මං අද විශේෂ පෝස්ට් එකක් දාන්නම්! හැම දෙයක්ම ගැනම ලියලා. ඒත් නොලියවුනු, නොකියවුනු දේවල් ගැන සමාව ඉල්ලනවා. එහෙම වෙන්න කලින්ම.

 මං බ්ලොග් එකක් හැදුවෙ මං එක්තරා දුරකතන සමාගමක තාවකාලික පුහුණුවක් ලබන කාලයේ. ඒ කියන්නෙ දැනට අවුරුදු දෙකක් විතර ඇති. ඒත් මං දැනන් හිටියේ නෑ කොහොමද බ්ලොග් ලියන්නෙ කියලා. මං ඒ ගැන තේරුමක් තිබ්බෙම නෑ. ඉතිං මං ඒක නිකං පෙනුම විතරක් ඩිසයින් කරලා ඔහේ තිබ්බා. මාස ගාණක් නිකං...

ඉතිං මං ඒ කම්පැණි එකේ ට්‍රේනිං ඉවර කරලා පාරට වැටුනම, ඇත්තටම වැටුනෙ ආපහු ටෙක් එකට. ඩිප්ලෝමා එක කරන්න ඕනි නිසා මං ආයෙත් ටෙක් එකට ගියා. ටෙක් එකේ මාස 2 තුනක් නිකංම ගෙවුනා. ඔහේ වැඩ කටයුතු එක්ක ගෙවෙන්න ගත්තා. මං මූනු පොතට ඇබ්බැහි වෙලා හිටියත් ඒකත් එපා වෙලා තිබ්බ කාලයක් මේක. දැනුත් මං මූනු පොතින් ඒ හැටි වැඩක් ගන්නෙ නෑ. මං මූනු පොතින් ඈත් වෙන්න විදියක් හෙව්වා.

ඔහොම කල් ගෙවෙද්දි මං අහම්බෙන් දැක්කා මූනු පොතේ තියනවා අනුරාධගේ බ්ලොග් කියලා ෂෙයා කරපු ලින්ක් එකක්. මං ගිහින් බැලුවා. ලස්සනට පිළිවෙලකට ඒ බ්ලොග් එක කරලා තිබ්බා. ඒක පටන් අරන් එච්චර කාලයක් ගෙවිලත් නෑ. මටත් මගේ නිකං තියන බ්ලොග් එක මතක් උනා. ඒත් මං ඒක හදන්න දන්නෙ නෑ. මෙන්න මේ කරුණු ගැන මං දැනං හිටියෙ නෑ

1. සිංහල යුනිකෝඩ් භාවිතයෙන් කරන ටයිප් සෙටිංග් -  යුනිකෝඩ් බාගෙන ඉන්ස්ටෝල් කරගත්තට ඒකෙන් ටයිප් සෙටිංග් කර ගන්න මං දැනං හිටියෙ නෑ.

2.  බ්ලොග් ඩිසයින් ටෙම්ප්ලේට් හදන්න, හොයා ගන්න - ගූගල් දෙයියගෙන් හොයා ගන්න මට මතක් උනත් ඒවා අප්ලෝඩ්  කරගන්න, වෙනස්කම් කර ගන්න මං දැනං හිටියෙ නෑ.

3.  බ්ලොග් පෝස්ට් ගැන -  බ්ලොග් පෝස්ට් ලියන්න ඕන තරම් අදහස් තිබ්බට ලියන්න දැනං හිටියෙ නෑ.

මේ වගේ තව තව ලෙඩ මට තිබ්බා. ඒත් මට අනුරාධගේ බ්ලොග් එක දැක්කට පස්සෙ ආශාව වැඩි උනා. මං හිතා ගත්තා කොහොම හරි මං ඒක කරන්න ඕනි කියලා. මං තිබ්බ මේ අඩුපාඩු හදා ගන්න විදියක් ගැන මං හිතුවා. මට ඒ ගැන අහගන්න කෙනෙක් නෑ. මට ඒ ගැන හොයන්න ගෙදරට ඉන්ටර්නෙටි තිබ්බෙත් නෑ. ක්ලාස් එකේදි මේවා හොයලා ඉගෙන ගන්න වෙලාවක් නෑ.ඉතිං මං කරේ මේ ගැන මූනු පොතේ මේ ලින්ක් එක එව්ව එකා ගැන හොයපු එක. බලද්දි ඒ අපේ අනුරාධ කියලා මල්ලි කෙනෙක්. මං පොර එක්ක මේ ගැන කතා කලා.

ඇත්තටම මං මගේ පළවෙනි පෝස්ට් එකෙත් කියලා ඇති. අනුරාධ මල්ලි මට ගොඩක් උදව් කල විත්තිය. පොරට මං ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනි ආයෙත්. එදා මල්ලි කරපු උදව් නිසා අද මං බ්ලොග් ලියනවා. අනුරාධ මල්ලි මට ලින්ක් වගයක් දුන්නා ඒවයින් ටෙම්ප්ලේට්ස් බාගන්න කියලා. ඒ කරලා අප්ලෝඩ් කර ගන්න කිව්වා. ඔය වගේ උදව් කලා. සිංහල බ්ලොග් යුනියන් එක ගැන මං කිව්වා. මං එහෙම එකක් ගැන දැන ගත්තෙ මල්ලි නිසායි. ඇත්තටම ගොඩක් තෑන්ක්ස් මල්ලි උඹට.

ඉතින් මං වැඩේ පටන් ගත්තා. මුලදි මට වැඩේ අවුල් උනා. අකුරු සම්බන්ධ ගැටලු. තව තව ගොඩක් දේවල්. මං ඉවසීමෙන් වැඩේ කරන්න පටන් ගත්තා. මගේ බ්ලොග් එකේ නම මාධව's කථා උනෙත් ඔන්න ඔය වගේ සිංහල ටයිප් බැරි කමේ අවුලක් නිසා තමයි. ඒත් මං ඉක්මණට වැඩේට පුරුදු උනා. ඒත් මං නම වෙනස් කරන්නෙ නෑ. ඉතිං එහෙම පටන් ගත්ත මං අද මේ ලියන්නෙ 50 වෙනි පෝස්ට් එක. මං ඒ ගැන සතුටුයි. ගොඩක්.

ඒත් බ්ලොග් ලියන ගොඩක් අයට වගේ මට ඉන්ටර්නෙට් තිබ්බෙ නෑ. මං එක්කො ක්ලාස් එකේ නිදහස් වෙලාවක මොකක් හරි ලිව්වා. මට ඕනි උනේ කොහොම හරි මේක දිගටම කරන් යන්න විතරයි. මට ගෙදරට ඉන්ටර්නෙට් තිබ්බෙ නෑ. මං අපේ අයියගේ N 80 ඉල්ලගෙන මොබිටෙල් 25 ඩිලයිටි එකක් දාගෙන ඉන්ටර්නෙට් ගියේ කෙහෙම හරි බ්ලොග් පෝස්ට් එකක් දාන්න තියන ආසාවටමයි. දැන් මං ඩොන්ගල් එකක් අරන් ඉන්ටර්නෙට් යනවා. හැම නිදහස් වෙලාවකම මොනා හරි දානවා. ඇනික් අයගේ බ්ලොග් බලලා ඒවයින් අදහස් ගන්නවා. ඒත් මං කිසි දෙයක්, කිසි කෙනෙක්ගෙ දෙයක් කොපි කරලා මගේ බ්ලොග් එකේ දාලා නෑ. මං එහෙම කරන්නෙ නෑ. මේ සේරම මං හිතන සහ මගේ අත්දැකීම් වල කතා වල එකතුවක්.

සිංහල බ්ලොග් සංගමයේ කට්ටිය ඇත්තටම මට ගොඩක් උදව් වෙලා තියනවා. මගේ බ්ලොග් එක සම්බන්ධ ප‍්‍රශ්න වලට ගොඩක් උත්තර ලැබිලා තියනවා. මට ගොඩක් අය, අපි එකිනෙකා දැකලා කතා කරලා නෑ, උදව් කරලා තියනවා. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

මගේ බ්ලොග් එකේ දැනට කට්ටිය 12ක් ඉන්නවා. ඒ අයට මං ගොඩක් ස්තූති කරනවා මං එක්ක මේ තාක්කල් හිටිය එකට. ඒ වගේම ඉස්සරහටත් මං එක්ක දිගටම ඉන්න කියලා මං ආදරයෙන් ඉල්ලනවා.


මං බ්ලොග් ලියන්න ගත්තෙ මගේ ආතල් එක තියාගන්න. මට මගේ හිතේ තියන දේවල් කියන්න මූනු පොතට වඩා බ්ලොග් ලිවිල්ල හොදයි කියලා හිතුනා. ඇත්තටම ඒක එහෙමයි කියලා මට දැන් හිතෙනවා. ඒත් මං සාර්ථක වෙලා නෑ තවම. මොකද මගේ බ්ලොග් පෝස්ට් වලට ඇවිත් තියන කමෙන්ට් එහෙම බලද්දි ඒක මට දැනෙනවා. ඒත් මං එක්ක ඉන්න, මගේ බ්ලොග් එක බලන හැමෝටමත් මං ස්තූතිවන්ත වෙනවා. මොකද ඔයාල මට ශක්තියක් වෙලා තියන නිසා...............

ඉතිං දිගටම මං එක්ක ඉන්න. මාධවගේ කතා එක්ක...........






4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. තව තව ලිපි ලියන්න මමත් පොඩි සුබ පැතුමක් දෙන්නම් ..!!

    ReplyDelete
  2. තව ලියන්න මාධව , අපි එනවා රස විඳින්න

    ReplyDelete
  3. ස්තූතියි මාත් එක්ක හිටියට! ඒ වගේම මාත් එක්ක දිගටම ඉන්න.

    ReplyDelete
Previous Post Next Post

Contact Form