ආසයි යන්නට අතීතෙට!




 මෙය අතීතයේ ලියූ කතාවක්ය! එකින් එක පෙල ගස්වා දැමීමට බලාපොරොත්තු වන්නේය! ඒනං කියවන ලෙස ආරාධනා කරන්නේය! නම් ගම් මේ කොටසේ සත්‍ය වන්නේය!
-- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - - -- - - - - - - - -
උපාසක සුපුනා සහ මාධව එකතු වී පිහිටුවා ගත් m7vidu කෝපරේෂන් හි අතුගෑමට ලේනා මහතා පත් කර ගත්තේ අතු ගෑම වැනි කටයුතු සඳහා එතුමා මහතාට එල පුහුණුවක් ලැබී ඇති නිසාය. අතුගෑම පිළිබඳව PHd එකක් කර ඇති ලේනා මහතා ප්‍රධාන කසල භාර තනතුරට පත් කල පසු සිය තනතුරේ දිවුරුම් දුන් පළමුවැනි දිනයේ අති උතුම් කතාන්දරයක් කලේය.



“ මාව මේ තැනට ගෙනාපු හැමෝටම ස්තූතියි! “
ඒක රත්තරං කතාන්දරයක්ය. මොනා උනත් පොර මුල අමතක කර නැති බවට ඒ ටිකම ඇතිය. එල කොල්ලෙක්ය.

ඉතිං එලෙස ආරම්භ වූ මේ m7vidu කෝපරේෂන් හි සභාපති වන්නේ මාධවය. උපසභාපති වන්නේ උපාසක සුපුනාය. මෙය ස්ටීව්ගේ ඇපල් කම්පැණිය මෙන් පිස්සු කෙලින එකක් නොවේය. සියලු දෙනාම එකාසේ වැඩ කරන්නා වූ අති උතුම් කෝපරේෂන් එකක්ය. මූලික අරමුණු බොහෝය. තාක්ෂණික අරුමය අරුමයක් නොවන බව කියා පෑම මෙහි ප්‍රදාන අරමුණ වන්නේය. එමෙන්ම ප්‍රධාන ව්‍යාපෘති කීපයක් ඇත. පළමු වැන්න මාධවගේ කතා බ්ලොග් අඩවිය නඩත්තු කිරීමය.දෙවනුව අන්තර්ජාලයේ හිඩැස් පිරවීමට වෙබ් පිටු සැකසීමය. කුඩා ප්‍රමාණයේ ජාලකරණ පද්ධති සැකසීමය. මේ ආකාරයට m7vidu කෝපරේෂන් හි ප්‍රධාන කටයුතු පවතින්නේය.


මේ කෝපරේෂන් එකේ වැඩට පැමිණි පසු උපාසක නිකම් සිටියේ නැත! සිය  මූනු පොතේ පිටුවේ “ආසයි යන්නට අතීතයට“ යනුවෙන් අදහසක් පල කලේය! එපමණක් නොව හෙතෙම අදහස ක්‍රියාත්මකද කලේය. සිරාවට මහන්සි වී වැඩ කලේය. මාධව සිය ජාලකරණ ව්‍යාපෘති වල සැලසුම් සකසන කල්හි උපාසක තෙමේ උදය රෑ දිවා රෑ නොබලා බොහෝ කාර්ය බහුල විය. අවසානයේ හෙතෙම කාල යානයක් තැනුවේ ඒ ස්ටේටස් එකේ ආනුභාවයෙනි. ඉක්බිති උදා වූයේ මහාර්ග කාල යානය විවෘත කරන්නා වූ ඒ අති උතුම් උත්කෘෂ්ට අවස්ථාවය.

සභාපති වශයෙන් එය විවෘත කිරීමේ මහඟු වරම මාධව මහතාට ලැබුනේ උපාසකගේ ආරාධනයෙනි. සිය පරිඝණකයේ සිට මොබයිලය හරහා මිතුරන්ට පණිවුඩ යැවීමට කෙටි පණිවුඩ සේවාවක් තමා විසින්ම සකසා ගත් උපාසකට මේක මහ ගේමක් නොවන බව මාධව දැන සිටියත් මාධව තෙමේගේ සිත තුල ලාවට බියක් විය. එනම් උපාසක තෙමේ විසින් තැනූ එස් එම් එස් ගේට්වේ එකේ “යන පණිවුඩ“ සේව් නොවන බවත් පණිවිඩය නිසි පරිදි ලබන්නාට ලැබෙන්නේද යන්න දැන ගැනීමට කිසිදු ක්‍රමයක් නොමැති බවත් දැනසිටි මාධවට ඇතිවූයේ කාළ යානයට නැගුණු පසු තමන්ට ගල්යුගයේ ගල් ගණින්නට මිසක් නැවත ඒමක් නැතිවේදෝ යන බය පමණක්ය.

කෙසේ උවත් හිත් කුහරයට දහිරිය උපදවා ගත් මාධව යානයට නැග්ගේය. පහසුවෙන් ඉඳගත්තේය. බෙල්ට් එක දමාගන්නට සැරසුනේය. එවිටම උපාසක ආපසු පැමිණ මාධව මහතාව යානයෙන් එලියට ඇදගත්තේය. ඒ ක්ෂණිකවම අසල සිටි කසල බාර ලේනා මහතාට කණ රත්වෙන්න දෙකක් ගසා අමු තිත්ත කුණු හරුප දෙකක් කීවේ වටේ සිටි සැම අමන්දානන්දයට පත් කරමින්ය. කිසිත් හිතාගන්නට බැරි සිත් ඇති පිරිසගෙන් පළමුව කට ඇරි මාධව මහතා  “ඔබතුමා ලේනා මහතාට කන් කොත්තු දුන්නේ ඇයි“ දැයි බයෙන් ඇසීය. උපාසක පරල වී රවා බැලූ ආකාරයට මාධව සභාපතියා බෙහෙවින් බියට පත් විය. නුවරදී  මුලු මහත් මහයියාවටම අඩි ටික දී ඇති උපාසක මේ අවස්තාවේ මාධවලාගේ ටවුමටත් අඩි පොල් දෙන්න බැරි කමක් නැතැයි කියා සිතූ මාධව තෙමේ යටහත් පහත් ව ආයෙමත් එම ගැටලුවම ඉදිරිපත් කලේය. හෙතෙම සරලව කීවේ මේකා කාල යානයේ රිවස් ගියර් එක දමා ඇති බවය. එහෙයින් අතීතෙය නොව තව ඩිංගෙන් අනාගතයේ නවතින බව හෙතෙම පැහැදිලි කලේය. අතීතෙට යෑමට සිටි මාධවට එය ඇසූ සැනින් සියොළගම සීතල වී ගියේ තව ඩිංගෙං නවතින්නේ වොලීගේ ලෝකයේ හෝ එතනිනුත් එහා යැයි සිතුවිල්ලක් සිත පුරා හමා ගිය හෙයින්ය. එවිට ලේනා උපාසකගෙං ඇසුවේ “ ඒක හැන්ඩ් බ්රේක් එක නෙමෙයිද “ යන්නය. ඒ ක්ෂණික ආයෙමත් ලේන පැටියාව හම  ගහන්න ගිය උපාසක මොහොතකින් පැමිණ සිටි අමුත්තංගේ දෑත් වලට සිරවී සිටි අතර ගොර ගොර හඩින් කෑ ගා කීවේ “යකෝ මේක ටූ ස්ට්‍රෝක් කාල යානයක් “ බවය. එවිට ලේනා මහතා ඇසුවේ “එහෙමනං මං ටූටි ටිකක් අරන් එන්නද?“ කියාය! ඒ ඇසූ උපාසක තෙමේට අසූ හාරදාහට නැගුනු අතර තව දුරටත් ගොර ගොර හඩින් කියූ දේවල් මෙහි පල කල නොහැක.

කෙසේ හෝ මාධව කාල යානයට නැගුනේය. සියලු දේ හරි යැයි උපාසක කිව්වේය. එසේ හෙයිං අතීතෙට යන්න කියා කික් එක ඇදීමට ගත් උත්සහයන් සියල්ල ව්‍යර්ථ වීම නිසා රියදුරු පදවියට ලේනා මහතා පත් කිරීමට ක්ෂණික තීරණයක් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගත්තෝය. එය කන වැකුණු සැනින් ලේනා මහතා කසලත් අතැර දමා පැන දිවීමට තැත් කල හෙයින් පිරිස උපාසකව අතහැර ලේනා මහතාව ඩැහැගැනීඹට ගත් උත්සහය අති සාර්ථක විය! අතින් පයින් එහෙන් මෙහෙන් අල්ලා කුදලා ගත් ලේනා මහතාද කැටුව යලි කාල යානය අසලට පැමිණි උපාසක සහ මාධව මහතා තීරණය කලේ තිදෙනාම ඩබල් දමා අතීතයට යා යුතු බවය!

අවසානයේ තිදෙනාම අත්වැල් බැඳගෙන කාල යානයට ගොඩ වූයේ ලේනා රියදුරු පදවියට පත් කරමිනි! තිදෙනාගෙන් රියදුරු බලපත් හිමි නියම වැඩකරුවා වූයේ ලේනා මහතා හෙයින් උපාසක සහ සභාපති යුවල පසුපස අසුනේ ඈඳි ගත්තේ ආරක්ෂාව ගැන සියලු දෑ ලේනාගේ රියදුරු දෑතට මෙන්ම කකුලටද දෙවි පිහිට පතමිනි!
අවසානයේ ලේනා මහතා විසින් කාල යානය පන ගන්වා ක්ලච් එක අල්ලා එකට දමා සෙමෙන් ක්ලච් එක රිලීස් කල විට යානය කෙමෙන් කෙමෙන් කාලය හරහා කෙසේ වෙතත් මාර්ගය හරහා ආඩා තඩේ ගමන් අරඹා ඇති බව තිදෙනාටම දැනුනේ යානයේ මද කුදු වූ වැනිල්ල නිසාවෙනි. ලේනා මහතා උපාසකගේ පතුරු අරිමින් කෙලවරටම අදින ලද ඇක්සලරේටරයෙන් පමණක් කාල යානය කළමණාකරණය කරන අතරතුරේ මාධව කාලය හරහා යන ගමනේ විසිතුරු මෙලෙස ලිවීමට කල්පනා කලේ යලි ඒමක් ගැන බලාපොරාත්තු රහිත බව නිසාවෙන්මය.

ඉතින් මිතුරනි පළමු වාර්ථාව මෙසේ නිම වන අතර මාධවගේ කතා තුලින් දිගටම තිදෙනාගේ කාල සංචාරයේ වගතුග බලාපොරොත්තු වන්න!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form