පුහුණු ගුරු මෙනවියකගේ චින්තාව





මගේ සීමාවාසී ගුරු පුහුණුව විශේෂ අධ්‍යාපනය තුල ආරම්භ කළ දින සිටම පුංචි හුරුබුහුටි පුතෙකු වෙත මාගේ අවධානය ඇදී ගියේය. මට නොදැනීම ඔහු මාගේ ආදරය දිනාගෙන තිබුනේ අන් දරුවන්ටත් වඩා ඉහළිනි. දරුවා කෙරෙහි තිබුනු විශේෂ ඇල්ම නිසාම එම දරුවා ගැන ජ‘නලයේ තිබූ සටහන්ද මටත් නොදැනීම වැඩිවිය. මා ඉගෙන්වීමේ කටයුතු ආරම්භ කල දිනයේ දුටු ඒ දරුවා එදින තම මව සොයමින්  කඳුළු සැලුවේ ඒ ඔහු පාසලට පැමිණි මුල් දින කිහිපයේ නිසාවෙනි. ඔහු සපත්තු, ටයි, මේස් ගලවා බිම වාඩිවී හඩයි. කෙතරම් උත්සහ කලද ඔහු එයින් මිදුනේ නැත. ඉගැන්වීමට දරුවා සහභාගී කරවා ගැනීමට මා නොගත් උත්සහයක් නැත. දරුවා කළේ පොත පුරා කුරුටු ගෑම හෝ පොත විසිකර දැමීමයි. මා සියල්ල නිහඩව ඉවසා සිටියේ දරුවාට පාසලට හුරු වීමට යම් කාලයක් අවැසි වන බැවිනි. නමුත් එසේ නොවුනි. මට වැරුදුනි. දරුවාගේ වෙනසක් නැත. හෙතෙම දිගින් දිගටම මෙසේ ක්‍රියා වල නිරත විය. කුමක් කළ යුතුද? මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. දරුවා මගෙන් ඉගෙනගැනීමට අකැමැතිද? දහසක් ප්‍රහ්න මගේ සිතට නැගුනි.

මම මගේ ජ‘නලය තවදුරටත් කියවාගෙන ගියෙමි. දරුවා පිළිබදව බොහෝ දෑ එහි සදහන්ව ඇත. එක්තරා දිනයක මගේ සටහන් පොතේ මෙසේ සඳහන් වී තිබිනි. “ ප්‍රාථමික පාඩමෙන් පසු මා පන්තියට පැමිණෙන විට දැකගැනීමට හැකිවූයේ සපත්තු මේස් ගලවා දමා ඇඳුම් කිලිටි කරගෙන සිටින දරුවාය. මා ඔහුට සැර කොට සපත්තු දමා ඇඳුම් පිලිවෙළට සැකසුවෙමි. බිම වාඩි වී සිටීම නිසා කලිසම පිටුපස විශාල කුණු පැල්ලමක්ද විය. “

මෙවැනි කරුණු මාගේ සිතට වද දෙන්නට විය. මේ දරුවා මෙසේ හැසිරෙන්නේ මන්ද? මාසයෙන් මාසයට කාලය ගෙවී ගියේ කාලය රන් හා සමාන බව පසක් කරමිනි. ඉදිරි  මාසය තුළද දරුවාගේ වෙනසක් මා බළාපොරොත්තු උවද එය එසේ සිදු වූයේ නැත. ඒ නිසාම දරුවාගේ මව සමග මේ ගැන කථා කිරීමට මාගේ සිත මා පෙළඹවීය. ඔහුගේ මවගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ “දරුවා පෙර පාසලේදීත් දැක්වූ හැසීරීම මේ ආකාරයමද“ යන්නයි. “ මොන්ටිසෝරියේදීත් ඔහොම්මයි ටීච“ යන්න මවගේ පිළිතුර විය. එයින් මා සෑහීමට පත් නොවුනෙමි.

මෙම දරුවා අන් අය සමග කතාවක් නැත. සපත්තු මේස් ගලවා ඔහේ බිම හෝ පුටුවක වාඩි වී සිටියි. වරෙක කළහාකාරී අයුරෙන් හැසිරෙන, විටෙක කම්මැළිකමින් ඔහේ බලා සිටින දරුවා විටෙක පන්තියෙන් එලියට වී සිට නැවත පන්තියට පැමිණේ. පැත්තකට වී නිහඩව බලාගත් අත බලා සිටින්නේ තමාට කල්පනා කිරීමට බොහෝ දේවල් ඇති අයුරිනි.

ඉතිං මේ දරුවා පිළිබදව මගේ සිතෙහි ඇතිවන්නේ කියාගත නොහැකි සෙනෙහසකි. ඔහු වෙනුවෙන් ඔහුගේ අනාගතය සවිබල ගැන්විය යුතු යැයි මට සිතුනි. පාසල තුලින් දරුවාව මග හැරුණුහොත් ජීවිතයේදීද දරුවාව මග හැරෙනු ඇතැයි මට සිතේ. එබැවින් දරුවා පිළිබදව යමක් කිරීමට, කැපවීමට මම සිතේ අදිටනත් සටහන් කර ගත්තෙමි.

පෙරළාගෙන ගියෙමි ජ‘නලය තවදුරටත්. තැන් තැන් වල දරුවා පිළිබදව බොහෝ සටහන් ඇත. ඔහුගේ හැසිරීම වෙනසක් වී නැත. තවත් එක්තරා දිනක තැබූ සටහනක් දුටු මාගේ සිත බොහෝ කළබලයට පත් විය. එහි “ දරුවා වෙනදාට වඩා ප්‍රචණ්ඩ ලෙස පන්තිය ඇතුලත හැසිරෙන බව මට දැකගැනීමට හැකි විය “  යනුවෙන් සදහන් වී තිබුනි. දරුවා තව ඉදිරියටත් මෙසේ හැසිරෙයිද? මගේ සිතෙන්ම මම ප්‍රශ්න කළෙමි. දරුවාව පිළිබදව නෙතු යොමා බලා සිටියෙමි. දරුවා පාඩම් වලට සහභාගී වීමක් නොමැත. සපත්තු ගලවා ඇඳුම් අපිරිසිදු කර ගනියි. සුහදව අන් අය සමඟ කටයුතු කිරීමක් නැත. මේ සියල්ල දරුවා දිහා බැලීමෙන් මා දුටු දේ පමණි. දරුවා ඇතැම් අවස්ථා වලදී අසරණව බලා සිටින බවද මා දැක ඇත. එවිට මට සිතුනේ හය හතර නොතේරෙන මේ දරු පැටියා හෙට දින මේ කුරිරු ලෝකයට කෙසේ මුහුණ දේද යන කරුණය.

මොහොතකට මගේ දෙනෙත් පියාගතිමි. අතීතය නැවත ආවර්ජනය කළෙමි. ජ‘නලය තුල තිබූ දේටත් වඩා බොහෝ කරුණු මට චිත්‍රණය විය. ඔහුගේ සිතුම් පැතුම්, ඉරියව්, අතින් පෙන්වමින් කියන්නට තැනූ දෑ, සෑම දෙයක්ම මාගේ සිහියට නැඟුනි. දරුවා මගෙන්ද ගිලිහී ගියහොත් දරුවා ඒ තුලින් අනාගතයේදී ඇතුවන ගැටලුද මම දුටුවෙමි. පියාගත් දෙනෙත තවත් තද කොට සිතා ගත්තේ මේ පුංචි දරුවාව මගේ සෙනෙහසින් ගිලිහෙන්නට නොදෙන බවයි.


මාධව , මෙය එක්තරා සීමාවාසී ගුරු මෙනවියකගේ සමීක්ෂණ ව්‍යාපෘතියකින් උපුටා ගනු ලැබූයේ ඇගේ පූර්ණ අවසරය මතය.  ඇගේ අරමුණු යහපත් එකකි. විශේෂ අවශ්‍යතා ඇති එම දරුවාගේ ජීවිතය යහපත් කිරීම ඇගේ පරම අවශ්‍යතාව වී ඇති බව මෙම “හැගුම්බර ව්‍යාපෘති කතාන්දරය“ කියවූ මාධවට පසක් විය. මෙය කියවන්නා වූ පාඨක ඔබටද එසේ සිතෙනු ඇතැයි මාධව විශ්වාස කරන්නේය. කෙසේ වුවද, මෙසේ සීමාවාසී ගුරු මහත්ම මහත්මීන්, මෙනවියන්ගේ මෙවැනි උදාර අරමුණු හුදෙක් ව්‍යෘපෘතියකට පමණක් සීමා වීම ප්‍රමාණවත්ද? මාධවගේ අදහස එයයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවීම මුදලින් ගිණිය නොහැකි වන්නා වූ මහාත් අනර්ඝ පුණ්‍ය කර්මයකි. එසේ හෙයින්, මාධවගේ ඉල්ලීම මෙසේ දක්වන්නේය.

හුදෙක් ව්‍යාපෘතියක් උදෙසා දරුවාට පිහිට නොවන්න. සැබැවින්ම ඔහුගේ ජීවිතය උදෙසාම පිහිට වන්න. එය ඔබේ ජීවිතය තෘප්තිමත් කරනු ඇත.


Comments

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

school stories! පාසල් කතා! ලස්සනයි! සුන්දරයි!