මං දැන් හිටගෙන ඉන්නෙ පරණ ඉස්කෝලෙ ගේට්ටුව ඉස්සරහ. ඇතුලට යන්න කලින් තවපාරක් ඉස්කෝලෙ ඉස්සරහ එකෙල මෙකෙල වෙන්න හිතුනෙ ඇයි කියලා මං දන්නෙ නැහැ.
මේ මගේ ඉස්කෝලෙ. මට අකුරු කියල දුන්න ඉස්කෝලෙ. මං ප්‍රේමය මේකයි කියල හඳුන ගත්තු ඉස්කෝලෙ. දුක කියන්නෙ මොකක්ද කියල හඳුන ගත්තු ඉස්කෝලෙ. කොටින්ම කිව්වොත් ජීවිතේ වැඩි කාලයක් ගෙවලා දැම්ම ජීවිතේ කියවගත්තු ඉස්කෝලෙ.
ඔව්. මේ මගේ පරණ ඉස්කෝලෙ........
වාර විභාගෙ අහවර වෙලා ගෙදර යන මට වඩා අවුරුද්දක් බාල දිල්රුක්ෂිව මං එච්චර ලගින් දැක්කෙ එදා.
"ඉන්නවා මං ලොකු සර්ට කියන්නම්"
ඒකි ඒම කියද්දි බිම ඉහිරිලා තිබුනු ඒකිගෙ ඉස්කෝල මල්ලෙ තිබුනු වතුර බෝතලේ අරන් උගුරක් බීලා ඉතිරි ටික ඒකිගෙ ඔලුවට හලලා බෝතලේ බිම දාපු මං පණ එපා කියලා ගෙදර දිව්වා.
පහුවදා ඉස්කෝලෙදි ඒකට විදුහල්පතිතුමාගෙන් සබ්බුව වැදුනා. දිල්රුක්ෂිලාගෙ ගෙදර අය අපේ ගෙදර අය එක්ක හිතවත් උනා. ඒත් මට ඒකිව පෙන්නන්න බැරි උනා. හැමදාම උදේට ඒකිට රවලා එන්න මම ඒකි ඉන්න පන්තිය පැත්තට යන්න පුරුදු උනේ නිරායාසනේමයි...
කාලය ගෙවුනා. මං හතේ පන්තියේදි ඒකි ඉස්කෝලෙ එන එක නතර කලා. මගේ හිතට වෛරය පරද්දලා පාලුව කියන දේ දැනුනෙ ආන්න එදා. නසරානි තක්කඩි කොල්ලෙක් උන මං එදා ඉස්සෙල්ලම දිල්රුක්ෂි නැති පාලුවෙන් තැවුනා.
සතියකට පස්සෙ ආපහු ලස්සන වෙලා ඉස්කෝලෙ ආව දිල්රුක්ෂි දිහා මං බැලුවෙ වෙනදා බැල්මෙන් නෙමෙයි. ඒත් හැමදාම මං එයැයිට රවද්දි ඒකිගෙ ඇස් වල තිබුන වෛරය මං එකොලහ වසරට යනකලුත් තිබුනා. එයා ඒ වෙද්දි දහයෙ පන්තියේ ලස්සන කෙලි පොඩ්ඩක්. මගේ හිතේ ඒකි එක්ක කතා කරන්න ලොකු උවමනාවක්, හිතවත් වෙන්න දැඩි අවශ්‍යතාවයක් තිබුනත් ඒකිගෙ දැඩි බැල්ම මාව පස්සට තල්ලු කලා. ටිකෙන් ටික නසරාණි ගති අතැහැරපු මං පොත් කියවන්න යොමු උනේ මේ කාලේ. ඒ අවුරුද්දෙ සාහිත්‍ය උළෙලෙදි ගොලු හදවත කියෝපු මං, සඟරාවෙ පලකරන්න ලියපු මගේ සාහිත්‍ය විචාරය කියවපු එයා ඇවිල්ලා මට ප්‍රසංශා කරද්දි මගේ හිතේත් ඒ කෙල්ලගෙ හිතේත් වෛරය මැකිලාම ගිහින් මිත්‍රකම ඉපදුනා. අපි එදායින් පස්සෙ ඉස්කෝලෙ ආවෙ එකට. සමහර දාට බත් මුල බෙදාගෙන කන්න තරම් අපි හිතවත් උනා. මං සාමාන්‍ය පෙල කරලා අන්තිම දවසේ එයා මාව බලන්න ඉස්කෝලෙට ආව.
එදා අපි උන්නෙ ඔං ඔය පින්තූරෙ තියන ගහ යට බිම වාඩි වෙලා. යාලුවො එක්ක ගහගත්තු තීන්ත සහ නිල් වතුර නාගෙන උන්නු මං එයා එක්ක වරුවක් කතා කරන්න ඇති. පිට්ටනියේ කෙලවරේ තිබුන ඒ ගහ යට අපි හිනා වෙවී සමුගන්න වෙලාව වෙනකම්ම උන්නා.
ඇත්තටම අපි යාලුවොමද? ඒ ප්‍රශ්නෙ මං ඉස්සෙල්ලම මගෙන් අහගත්තෙ එදා......
උසස්පෙල කලා විෂය ධාරාවෙන් හදාරපු මං අවුරුදු දෙකකට පස්සෙ උසස්පෙල විභාගය අවසන් කරලා පාසලෙන් යද්දිත් අපි එක දවසක වගේම මේ ගහ යට තනි උනා. මොකක්දෝ හේතුවක් නොදැන යන්න කලියෙන් එයා කාටත් හොරෙන් මගෙ නළල ඉම්බා. ඒ ඇයි කියන්න මට තේරුන් ගන්න බැරි උනා. රතු උන මගේ කම්බුල් දිහා බලන් ඉඳපු දිල්රුක්ෂි රතු වෙන්න ගත්තු එයාගෙ දුඹුරු ඇස් මගෙන් හංගාගෙන දුවගෙන දුවගෙන එයාලගෙ පන්තිය පැත්තට ගියා. මං ඒ ගහ යට තව හෝරාවක් කැළඹුනු සිතින් තනි උනා.
ඇත්තටම අපි යාලුවොද? එදත් හවස මං මගෙන්ම අහගත්තෙ හවස පොඩි නින්දක් දාන ගමන්.
විද්‍යාපීඨයට ඇතුල් වෙද්දි එයාත් උසස් පෙල කරන්න සූදානම් වෙච්ච කෙල්ලෙක්. එයාගෙත් ආසාව ගුරුවරියක් වෙන්න. මගේ ප්‍රථිපලය අනුව මට විශ්ව විද්‍යාලයට යනවට වඩා ලාබයි රස්සාව එක්කම ඉගෙන ගන්න එක. ඒම හිතපු මං විද්‍යාපීටයට ගියේ කැමැත්තෙන්. ගුරුවරයෙක් වීමේ ආසාවක් මට නැතත් මට තිබුනා රස්සාවක් කරන ආසාවක්.
අවුරුදු හතරකට පස්සෙ මං කොළඹ ඉස්කෝලෙක සීමාවාසී පත්වීමක ඉඳලා, අනුරාධපුරයේ නොච්චියාගම ඉස්කෝලෙක ස්ථීර පත්වීම අරන් වැඩට ගියා. ඒ වෙද්දි මට අවුරුදු විසි පහයි. එස් එම් එස් යුගයක් ඒ වෙද්දි ඇවිල්ලා තිබුනා. මමත් දිල්රුක්ෂිත් අතර සම්බන්ධය තිබුනෙ මං පීඨෙ ඉඳලා ගෙදර ආවම එහෙ ගිය වෙලාවටත්, එස් එම් එස් කෙටි පණිවුඩ වලිනුත් විතරයි. ඒ ගෙදරින් අපේ මිතුරුකම් වලට කිසිදු බාධාවක් තිබුනෙ නැහැ.
දුර පලාතක ඉදන් නිවාඩුවට ගෙදර ආවම එයා මාව බලන්න එන වෙලාවලුත් තිබුනා. අන්තිමට මට ගමට මාරුව හැදෙද්දි මෙන්න ඇයත් ගමේ ඉස්කෝලෙ ලස්සන තරුණ ඉංග්‍රීසි ගුරුවරියක් වෙලා ඉන්නවා.
අපි දෙන්නා පෙරටත් වඩා ලං උනේ ඉස්කෝලෙ හුඟක් වැඩ වලදි එකට මුහු උන නිසා. අපි දෙන්නටම වැඩ කිරීමේ උණක් තිබුනා. ඒ වෙනුවෙන් කේලම් කියන කට්ටියකුත් වෙනම උන්නා. ඒත් කරපු දේ හරියට කරපු නිසා කාටවත් වරදක් අල්ලාගන්න බැරි උනා.
අපි දෙන්නගෙ දෛවයෙන් ගෙනාපු සිදුවීම සිදු උනේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ කරද්දි. එතකොට මං ස්ථාන මාරු ඇවිල්ලා අවුරුදු දෙකකට ළගයි. අන්තිම දවසේ සරඹ පෙලපාලිය බලන්න අපි දෙන්නා අර ගහ මුලට වෙලා හිටගෙන උන්නා. සරඹ පුරුදු කරන්න වාදනය හදලා ඒ කටයුත්තෙ ඉඳන් බර ඇද්දෙ දිල්රුක්ෂියි මමයි. අපිට භාර වෙලා තිබුනෙ ඒ කටයුත්ත. අපි ඒක හොඳට කලා. අපේ ළමයි රැසක් එක්කාසු වෙලා ලස්සනය සංගීත රාවය ඔස්සේ රිද්මයට ක්‍රීඩා පිටියෙ ව්‍යායාම කරන හැටි අපි සතුටින් බලන් උන්නා. අපේ දෙන්නාගෙම හිත් අතීතයට පාවෙලා ගියා. අපිත් ඉස්කෝලෙ ඒම කලා නෙව ඒ කාලේ නිල ඇඳුම් ඇඳන්. මට හිතුනා. එයා අපූරු බැල්මකින් මං දිහා බැලුවෙ ඒ වෙලාවෙ. ඒ ඇස් බබලනව සතුටින්. ඒ ඇස් දැකපු මං කිසිත් නොහිතාම ඇගේ අතින් අල්ලාගෙන ඒ චූටි අතැඟිලි මගේ අතින් පටලව ගත්තා.
එදා ක්‍රීඩා උළෙල අහවර වෙලා හෝරා කීපයකින් මොණරාගල අහසේ ඉර බැහැගෙන යනකම්ම සාරියක් පටලවගත්ත ලස්සන පුංචි කෙල්ලෙක් සහ ඇයගේ මිතුරා ඒ ගහ යට මතක එක්ක තනි උනා. පැටලුනු අත් සිත් එසේම තිබියදීත්...........
ඉර බැහැල ගිහින් හනි හනික අඳුර උදා උනා......
...............................................................................
මං ඉස්කෝලෙ ඇතුලට නොගිහින් ගිහින් කල්පනා කරනවා. මං තාම බලන් ඉන්නවා. මොකක් නිසාද? මොනා බලාපොරොත්තුවෙන්ද? කියන්න තේරුමක් නැහැ. එක්තරා කාලයක් හිත පුරා ඇතිවුන හැඟීම තවමත් එහෙම්ම දැනෙනවා. අතීතයේ ස්මරණ කියන්නෙ බොහොම භයානක දේවල්. අතීත ප්‍රේමයේ සෙවණැලි කවදාවත් අපිව අතැහැරලා යන්නෙ නැහැ. මේ තරම් වේදනා ආන්න ඒ නිසයි. හිතේ හිරවුනු ඇනයක් වරින් වර රිද්දනවා වගේ මට දැනෙන වේලාවන් එමටයි. සමහර වේලාවට හුස්ම නාල්ලා ඇස් පියාන ඒ වේදනාව මඟාරින්න මං උත්සහ දරනවා.
ඉතින් අද අවුරුදු ගාණකට පස්සෙ පාසලේ ආදි ශිෂ්‍ය සංගමේ සමුළුවට ආව මං නොදැනීම සිතුවිලි අතර තනිවෙලා.
...............................................................................
එදා අත් පටලෝගත්තු එක "ගමේ එකෙක්ට" මහ දෙයක් වෙලා තිබුනා. පාසලේ අපි දෙන්නගෙ මිත්‍රකම් පෙන්නන්න බැරි කට්ටියකුත් උන්නා. ඊටත් වැඩ කරන රජයේ නිලධාරීන්ට හිරිහැර කරන්නෙත් ඒ සේවයේ අයමයි. ඊරිසියාව සහ වෛරය, ක්‍රෝධය හනික ඉහලට නැගුනා. අපි දෙන්නව අල්ලලා පෙත්සම් පිට පෙත්සම් වැදුනෙ අර හැන්දැවේ අත් අල්ලාගෙන ඉඳපු වෙලාවෙ ගත්තු පොටෝ එකටත් එක්කම
මේ රට දෙන්නෙක්ට නිදහසේ අත් අල්ලන් ඉන්න බැරි තරම් ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද?
දිල්රුක්ෂිලගෙ අම්මලා ඇවිල්ල අපේ ගෙදර රණ්ඩු ඇති කරද්දි, මං නිසා දිල්රුක්ෂිට පාසලේ ඉන්න බැරි බව කියද්දි මං මාරුවක් අරන් ආයෙම යන්න ගියා. ඒ වෙනුවට කරන්න වෙන දෙයක් මට හිතාගන්න බැරි උනා.
ජංගම දුරකථන අංකය වෙනස් කරගෙන අගනුවරට වෙලා උන්නු මම ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගෙන රස්සාවෙන් අයින්ම වෙලා කලකිරුණු සිතින් රටින් යන්න ගියා. දිල්රුක්ෂි මාව හොයනවා කියලත් මං දන්නවා. ඒත් මං බයගුල්ලෙක් වගේ ඇයව තනි කරලා යන්න ගියා. හිතේ මොකක්දෝ වෛරයක් මේ රටේ මිනිස්සු ගැන ඇති උනා. ඒ වෛරී සිතුවිල්ල තුල මට ප්‍රේම කරපු එකම එක ලස්සන හදවතක් ගැන මට සිහියක් නැතිම වෙලා ගියා. අම්මලාවත් මං ඉන්න රටට ගෙන්නගත්තු මට ආයෙම ලංකාවට යන්න හේතුවක් තිබුනෙ නැහැ. මං කසාදයක් කර ගත්තෙත් නැහැ. ඒත් එකම එක දවසක ලැබුනු පණිවුඩය මාව ලංකාවට ගෙන්නන්න සමත් උනා.
Annual Get Together මොණරාගල මහ විදයාලය
මුහුණු පොතේ තිබුනු පණිවුඩය දැකපු මම හනික ලංකාවට එන්න පිඹුරුපත් සැකසුවේ කඩිනමින්. මොකක්දෝ හේතුවකට මට යන්නම උවමනා උනා. ඉතින් මං හනික ආවා. කාවවත් නැතිව ගිය මං කාවවත් නැතිව ලංකාවට ආවා. අනිච්ඡානුග සිතුවිල්ලකට ඒ දේ කරන්න පුලුවන් උනා. ඇත්තටම මං මෙහෙ ආවේ පරණ යාලුවෝ බලන්නද? පරණ ඉස්කෝලෙට ආදරේටද?
ඒ ප්‍රශ්නය මං මගෙන්ම කීප පාරක් ආය ආය අහගන්න ඇති............
උත්තර නැති ඒ ප්‍රශ්නය හිතේ දරාගෙන මං දැන් කටුනායකින් බැහැලා ඇවිත් දුර කතර ගෙවාගෙන ඔං ඉන්නවා පාසල් ගේට්ටුව ගාව.
මං දැන් හිටගෙන ඉන්නෙ පරණ ඉස්කෝලෙ ගේට්ටුව ඉස්සරහ. ඇතුලට යන්න කලින් තවපාරක් ඉස්කෝලෙ ඉස්සරහ එකෙල මෙකෙල වෙන්න හිතුනෙ ඇයි කියලා මං දන්නෙ නැහැ.
මේ මගේ ඉස්කෝලෙ. මට අකුරු කියල දුන්න ඉස්කෝලෙ. මං ප්‍රේමය මේකයි කියල හඳුන ගත්තු ඉස්කෝලෙ. දුක කියන්නෙ මොකක්ද කියල හඳුන ගත්තු ඉස්කෝලෙ. කොටින්ම කිව්වොත් ජීවිතේ වැඩි කාලයක් ගෙවලා දැම්ම ජීවිතේ කියවගත්තු ඉස්කෝලෙ.
ඔව්. මේ මගේ පරණ ඉස්කෝලෙ........
ඉස්කෝලෙ ගේට්ටුව ඇරිලා යතුරුපැදි, සහ මෝටර් රථ පාසල ඇතුලෙ පෝලිමට නවත්තලා තිබුනා.ඇත්තටම අපේ පාසලෙන් උගත්තු හුඟක් බිහිවෙලා තිබුනා. ඒ කාලෙ ඉඳන්ම දොස්තරවරු, ව්‍යාපාරිකයෝ, ගුරුවරු වගේම විදේශගතවත් හුඟ දෙනෙක් උන්නා. ඒ හැමෝම වගේ ඇවිල්ල ඇති. වාහන කන්දරාව දැකපු මට ඒමත් හිතුනා.
මං හෙමින් හෙමින් ඇවිදගෙන සම්මන්ත්‍රණ ශාලාවට නොගිහින් පිට්ටනිය අයින දිගේ ඇවිදන් ගියා. පාසල හුඟක් වෙනස් වෙලා. අලුත් අලුත් ගොඩනැඟිලි රැසක්. විද්‍යාගාර දෙකක් තිබුනු ඉස්කෝලෙ දැන් විද්‍යාගාර පහක් තියනවා. මුහුණු පොතේ තිබුනු විදියට එයින් එකක් අංග සම්පූර්ණ සුහුරු පන්තිකාමරයක්.
පාසල කෙසේ වෙනස් උනත් පිට්ටනිය අද්දර රූස්ස ගහ අතීතයේ මතක හුඟාක් දරාගෙන නිහඩව තේජාන්විතව තවමත් සුළගට නැලවෙමින් බලන් ඉන්නවා. මේ පාසලේ ළමයි කන්දරාවකට අවුරුදු ගාණක් තිස්සෙ හෙවන දීපු, මගේ කුළුදුල් වගේම අවසාන ප්‍රේමණීය අත්වැල් බැඳගැනීම සියසින් දැකපු ඒ රූස්ස ගහ දැන් වියපත් වෙලා. මට දැන් වයස අවුරුදු තිස් පහක්. ඒ රූස්ස ගහ ඊටත් වඩා වයස ඇති. මං ගිහින් ගහේ පිට පොත්ත හෙමින් අතගෑවා. අවු කාස්ටකේට ඒ පොතු කර වෙලා. මගේ හදවට වගේම කර වෙලා. එකවරම මගේ ඇස් කඳුලින් බර වෙලා පියවෙද්දි ටිකක් ඈතීණෟ ඒ පියවර හඩ මට ඇහුනා.
ඔව්! අවුරුදු ගාණක් ගතවෙලත් තාම හීනෙන් වගේ මගේ හිත අඳුනන දිල්රුක්ෂිගේ ගාම්භීර පියවර හඩ නොවෙනස්ව....
ඇස් පිල්ලම් ගහල කඳුලු සඟවාගත්තු, කෙල තලියක් ගිලල හැඟුම් ආපහු ගිලගත්තු මං ඒ පැත්තට හැරුණා. හතර වසරෙදි මගේ තක්කඩිකම නිසා තෙත වතුර පාරෙන් පෙඟිල උන්නු වෛරී ඇස් තියන කෙල්ලගෙ ඉඳන් අන්තිමට මං ඉස්කෝලෙන් ස්ථාන මාරු වෙලා යද්දි කඳුලු පුරෝගෙන ගේට්ටුව ගාව හිටපු දිල්රුක්ෂිගේ බොඳ වුනු රූපය වෙනකම්ම ජායා මාත්‍රයන් මං ඉදිරියේ මැවිලා අතුරුදහන් උනා.
ඇබින්දක් තර උනු ඇය, ලස්සන දරුවෙකුත් උකුලෙන් වඩාගෙන මෙන්න ඇවිල්ලා ඉන්නවා එදා වගේම හිත නිවන්නා වූ මඳහස අරගෙන මං ඉස්සරහින්ම.......
දිල්රුක්ෂි, මගේ අතින් අල්ලපු පාසල් හිතවතී එදා වගේම සුන්දර කෙල්ල......
එදා වගේම අපූරු හිනාව තවමත් ඇය සතුයි....
හෙමින් හෙමින් පියවර තබල ඉස්සරහට ආව දිල්රුක්ෂි එයා ළගින් ඇවිදන් ආපු හොඳට ඇඳ පැලඳ ගත්තු මහත්මයගේ අතට ඒ ලස්සන දරු පැටියව දීලා මං දිහා පුදුමෙන් වගේ බැලුවා. ඊළගට දුවගෙන දුවගෙන දුවගෙන ඇවිල්ලා මාව වැලඳ ගද්දී මගේ හිතේ යකඩ බරුවක් වගේ හිරවෙලා තිබුනු හැම හැගීමක්ම ලොකු සුසුමක් එක්කම අහසට පාවෙලා ගිහින් හිතේ බර නැත්තටම නැති වෙලා ලොකුම ලොකු කියාගන්න බැරි විදියේ අපූරු සැහැල්ලුවක් දැනුනා.
එදා ඒ රූස්ස ගහේ තුරුපත් බොහෝම සංතෝශයෙන් සුළගට නැලවුනා.................
(ජායාරූප ස්තූතිය - ශානිකා දිල්රුක්ෂි වෙත )
+++++++++++++
ReplyDeleteස්තූතියි සහෝදරයා
Deleteහොද ලස්සන අනුවේදනීය කතාවක්. ගසේ පින්තූරයත් එහි පසු බිමත් කතාවට අපූරුවට ගැලපෙනව.
ReplyDeleteඉහත ජායාරූපය තමා කතාවට මුල උනේ.
Deleteසුපුරුදු තේමාවක් උනත් සිත් ඇදගන්නා විදියට ලියවිලා තියනවා. “ ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනා“ ගීතය මතක් උනා.
ReplyDeleteතේමාව සුපුරුදු උනාට හැඟම් සුපුරුදු නැහැ. හැමෝටම අනන්‍ය වූ විරහවක් තියනවා
Delete