ප්‍රේමය සමඟ අධ්‍යාපනය

ප්‍රේමය ඇති වීම නැතිවීම සහ වෛරය හට ගැනීම අහස සහ මහ මුහුද වගේ නෙව. පෙම්වත් කතා ඇති තරම්. වෛරී කතාත් ඒ තරම්ම. එකම කාසියක දෙපැත්ත වගේ පුංචි ඉරි කැබැල්ලක් තරම් දුරකින් වෙන්වෙන, නැනෝමීටර ගානින් වෙන්වෙන ආදරයත් වෛරයත් මේ ලෝකය පෝෂණය කරනවා නෙව.

විරහව හරිම රසවත් වෙන්නෙ එතන වෛරය නැතිනම්. ඇස් රතු වෙන තරම් කඳුලු හලලා හලලා දුක තුනී කරන් ජීවිතේට මුහුණ දෙන උන් ශක්තිමත් ඇත්තයටම පිහියක් අරන් ගිහින් බෙල්ල කපලා සතුටු වෙන වෛරක්කාර හැතිකරේට වඩා. ඒ නිසා මිත්‍රවරුණි ප්‍රේමයත් විරහවත් විඳින්න පුරුදු වෙන්න. වෛරයට පයින් දෙකක් ගහලා එලවලා දාන්න.

ප්‍රේමය කිව්වම කවුරුත් හිතන්නෙ හරි නරක දෙයක් විදියට නෙව. අද තමයි සිරි ලංකාවේ පාසල් වල වැඩිපුරම දරුවන්ව හිංසාවට ලක් වෙන දිනය. රෝසමලක් ප්‍රේමයේ සංකේතය උන නිසා අහිංසක තිළිණයකට පුලුවන් වෙනවා අද දිනයෙදි ළමයෙක්ගෙ අනාගතේම අඳුරු කරන්න. ඇත්තටම ඒක වෙන්නෙ අහිංසක තිළිණයක් නිසාම නෙමෙයි. මානුෂීය හැඟීම් කළමණාකරණය කරන්න නොදන්න අමන පුද්ගලයෙක් නිසා වෙන්න පුලුවන්.

දරුවො කියන්නෙ චුට්ට ඇතිනම් හිත බිඳගන්න එව්වො. උන්ව පරිස්සම් කරන්න උවමනයි ඇත්තටම. ඒ නිසා වැලන්ටයින් නාමනේ උන්ව බිඳින එක නවත්තලා මානුෂීය ක්‍රමයකින්, ආකල්ප සංවර්ධනයකින් උන්ව හරි පාරෙ ගෙනියන කෙනා තමා දිනන්නෙ. අනික් අයටත් දිනුම අරන් දෙන්නෙ.

ආදරෙන් එකතු වෙන කට්ටිය වෛරයෙන් වෙන් වීම සහ සදාකල් වෛර කර කර හිඳීම මාධව දකින්නෙ ගලවාගන්න බැරි මානසික ව්‍යාධියක් විදියට. වෙන් වීමට හේතු හඳුනාගෙන එකිනෙකාට සමාව දීලා වෙන්වෙලා අදටත් මුහුණ බලලා කතා කරන එක තුල තියන රසවත් බව දන්නෙ කීයෙන් කී දෙනාද?

මාධව නම් ඒ රස හොඳට අඳුනනවා. තමන්ව දාල ගිය කිසි කෙල්ලෙක් එක්ක මාධව තරහ නැහැ. ඇයි තරහ වෙන්නෙ? ඇයි හිත කුණු ගොඩක් කරගන්නෙ? ඒ වෙනුවට ආයෙම දවසක අහම්බෙන් හමුවෙලා කිරි තේ එකක් බොන ගමන් අතීතය හාර අවුස්සන්නෙ නැතිව  රසවත් කතා බහක නිරත වෙලා සුභ පතාගෙන වෙන් වීම තමා නියම සතුට. නියම රස. ඒක හරි රහයි මිත්‍රවරුණි.

ඉතින් අද දහ හතර වෙනිදා. 

අද විතරයැ අමුතුවෙන් කට්ටිය කාමර හොයන් යන්නෙ? අද විතරද අමුතුවෙන් ගැට අන්නාසි කන්නෙ? ඇයි ගැට අන්නාසි වෙනුවන කොන්ඩමය සහ පොස්ටිනෝව ප්‍රමෝට් කරන්න බැරි? ඒකෙන් මාධව අදහස් කරන්නෙ නිවැරදි ලිංගික අධ්‍යාපනය ලබා දීම පමණක්මයි. නැතුව බුදිය ගැනීම එහෙම නෙමෙයි. දායක සභාව රෙදි උස්සන් එන එක නෙමෙයි කරන්න උවමනා වෙන්නෙ. කියන දේ කුමක්ද කියලා හරියට තේරුම් ගැනීම විතරයි.

"පොස්ටිනෝව" ගැන දාපු පෝස්ටුවට ආව කමෙන්ටු බැලුවමත් ඒම හිතෙනවා. ඇයි සිරි ලංකාවෙ තවමත් ඒ ගැන ප්‍රමාද?

ඇයි නිසි අධ්‍යාපනය මගින් අනාගත හානි වලක්වාගැනීම සිදු කල නොහැක්කෙ? නිසි ලිංගික අධ්‍යාපන කියන්නෙ අපූරු ආයෝජනයක්. රටකට කරන්න පුලුවන් අපූරුම ආයෝජනයක්. සිවුරු සහ වෙනත් ආගමික ප්‍රජාවට ඇඟිලි ගහන්න නොදී නියම සෞඛ්‍ය වෘත්තිකයින් සහ උපදේශන වෘත්තිකයින් විසින් අතට අරන් පවත්වාගෙන යා යුතු නියම ක්ෂේත්‍රයක්.

මේ රටේ තියෙන්නෙ යතුරු සිදුරෙන් බලන ප්‍රේමයක්. වැඩිපුරම අසහනකාරයෝ බැලුවම ප්‍රේමය හඳුනානොගත් කාරණා නිසා සිදු වන දේවල්. අධ්‍යාපනය නොමැති කමින් නිසි පරිදි තමාව කළමණාකරණය කර ගන්න බැරිව සිදුවන අපරාධ ක්‍රියා වැඩි වෙලා තියෙන්නෙම අධ්‍යාපනය නොමැති කම නිසාමයි. අදහස් හිර කරන් හැඟුම් නිදහසේ කියාගන්න බැරි ලාමක සමාජයක මේවා බලාපොරොත්තු වෙන්න වෙනවා කියලයි මාධව නම් කියන්නෙ!

වැඩිහිටියෙක් විදියට කෙලින් තීරණයක් අරන් තමන්ට පෙම්වතෙක් පෙම්වතියක් සොයාගෙන තමන්ගෙ අවශ්‍යතා දෙන්නා එක්ක සාකච්ජා කරලා ආවාහ විවාහ වීම නීතියෙන් අනුමත රටක හැමදේම පවුලේ අනෙක් වැඩිහිටියො මත්තෙ පැවතීම හරි අවුල් දෙයක්. ජාතිය, ආගම, කුලය මේ හැමදේම මත්තෙ එන වැඩිහිටි විරෝධතා නිසා අවුල් වෙන තරුණ ජීවිත එමට. හැබැයි මේ කවුරුත් මේ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කරනවද?

බැරිවෙලාවත් කවුරු හෝ ඒම දෙයක් ගමේ සමිතියක කලොත් රෙදි උස්සන් එන්න කී දෙනක් සූදානම්ද? පොඩි වයසෙන් බඩ උනාට කමක් නැහැ ඒවා උගන්නලා ළමයි නරක් කරන්න එපා කියන උන් කොච්චර ඉන්නවද? ඒඩ්ස් ස්වසනයෙන් බෝවන රටක් කියලනේ අපේ උන් කියන්නෙ! හරි සතුටුයි.

මාධව හිතනවා. ප්‍රේමයේ නාමයෙන් කරන්න තියෙන්නෙ බුදිය ගැනීම විතරක්ම නෙමෙයි කියන දේ පෙන්වලා දෙන්න පුලුවන් නම්?

තරුණ හිත් වලට ආලෝකය ගෙන එන දේවල් කියලා දීල මග පෙන්වන්න පුලුවන්නම්?

කසාදයට කලින් කරගන්න කොච්චර දේවල් මේ තරඟකාරී ලෝකයේ තියනවද කියලා කියලා දෙන්න පුලුවන්නම්?

වැලන්ටයින් කියන්නෙ ලංකාවේ වැඩියෙන්ම කෙල්ලො අනාථ වෙන කොල්ලො වීරයෝ වෙන දවස නොවේවි! 

එච්චරයි. 

ආදරවන්තයින්ගේ දිනය චොර නොවේවා මිත්‍රවරුණි

ප/ලි - මාධව මේ කතාවට ලේබලය දැම්මෙ දේශපාලනය කියලා මිත්‍රවරුණි. කුමක් නිසාද යත් සැමවිටම ආදරය දේශපාලනිකයි. එච්චරයි

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ලංකාවේ සදාචාර උන්දැලා හිතං ඉන්නේ ‘ලිංගික‘ කියලා කිව්වත් ඇති ගෑණු දූශණය වෙලා බඩ වෙනවයි කියලනේ...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිලිබඳව දේශන කරන්නෙ ආගමික සංස්ථාවයි, ගමේ ගොඩේ ගැහැණූ ටිකයි නේ. සෞඛ්‍ය වෘත්තිකයින් සහ අධ්‍යාපන වෘත්තිකයින් අතට මේ වැඩේ ගත්තනම් ඉවරයි

      Delete
Previous Post Next Post

Contact Form