තුන්වෙනි වටය ඉවර වෙද්දි ඒ අත් එකට හමු උනා.
මල්ලි පහක් දාන්ඩ....
ඒ හඩ මූල්‍ය සමාගමක ලොකු කලමණාකාර මහත්තැන් කෙනෙක්ගෙ. ආයතනයේ නම තරම්ම ලොකු තඩි බඩකුයි, ටිකක් කෙස් ගියපු හිසකුයි, හති දාන්නම ඇරුණ කටකුයි දාඩිය වැගිරෙන මූනකුයි උරුම කරගත්තු සද්ධන්ත මනුස්සයෙක්. ලාංකික කලමණාකාර පෙනුමට ටිකක් සමානයි ඉතින්.
පහක් දාපන් කිව්වෙ මාධවට. High five කියන්නෙ එහෙමත් නැත්තන් සිංහලෙන් දාපන් පහක් කියන්නෙ වැඩක් සාර්ථක වෙද්දි හරි සංතෝශෙන් දාන ඇක්ශන් එක.
විකට්ටුවක් ගියාම ක්‍රිකට් ටීම් එක එකාට එකාට අත් දෙකම උස්සලා දාගන්නෙ..නාස එකේ සල්ලි නාස්ති කරන ආකාශ විද්‍යා මහත්තුරු රොකට් එක යවලා කෑ ගහගෙන දාන්නෙ. හෝව් හෝව්. ඒක අත් දෙකෙන්ම දාන දහය. තනි අතින් දාන්නෙ පහ.
සුද්ද ඒකට දාපු නම තමා high five. උසස් පහක්..
මාධව හැමදාම වැඩ ඇරිල ගෙදර ගිහින් ක්‍රීඩා ඇදුම ඇදගන්නව. ඊට පස්සෙ එනව එයාගෙ පාසලට. ගෙට උඩින් නොවැ. ගිහින් දුවන්න ගන්නවා.. වට විසි පහක්. වටයක් කියන්නෙ මීටර දෙසීයක්. විසි පහක් කියන්නෙ මීටර පන්දහසක්. කි.මී. පහක්.
ඒ දිවිල්ල ඔහු හැමදාම ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට දුවද්දි ඊට විරුද්ධ පැත්තට දුවන මේ මහත කළමණාකාර හාදයාගෙ මේ පහක් දැමිල්ලට මාධව හුරු උනා.. නිහඩ වැඩි කතා නැති බැදීමක් ඒක..
හැමදාම මාධව වට විසි පහක් දුවද්දි ඒ උන්නැහේ වට පහ හයකින් නතර උනා.. ඒ හැටි. ඒ සරීරෙ උස්සන් වට හයක් කියන්නෙත් ලොකු දුරක්.. ඒ සරීරෙ පස්සෙන් ප්‍රෙශර්, කොරස්ටොරොල්, ශුගර් දුවගෙන එනවා. සෑහෙන්න රෝගී ලක්ශණ ටිකක් ඔහුව බදාගෙන ඇගේ එල්ලිලා ඉන්න බවත් මාධවට පේනව...මේ විදියට දුවල විතරක් නම් ඒව හලල දාන්න බෑ.. මාධව හැමදාම ඒ සද්ධන්ත බන්ඩිය දකිද්දි හිතනවා..
කොහොම උනත් දවසක්දා ඔහු වෙනදා වගේ නැතුව වට හයක් නිම කරලා හත් වෙනි වටය දුවන්න ගත්ත...... වෙනද වගේ හති හලාගෙන නතර වීම වෙනුවට හති හලාගෙන ඉදිරියට යෑම තෝරගෙන...
හෙමින්....... නමුත් අධිශ්ඨානශීලීව....
මාධව ඔහුගෙ විසි පහක් වන රවුම් ගොඩෙන් තවත් එක රවුමක් ආරම්භ කලා...
හයි ෆයිව්.... සද්දෙන් අත් එකට ගැටුණා.... වැඩි කතාවක් නැති මිතුදමක සාමාජිකයෝ දෙන්නෙක් හද නැති අමාවක මහ රෑක උසස් පහක් දැම්ම. වෙනද වගේම............
......................................................................................
2014 වසරේ එකමත් එක දවසක.......
ටෙක් කෝස් එක ඉවර වෙලා අවුරුදු දෙකක්. අපූරු මතකයන් ගොඩක් එක්ක ගෙවුන ජීවිතේ අහවරයි.සමාජයට - පාරට වැටුනම වයසට යද්දි රස්සාවක් තදටම උවමනා උන කාලයක මාධව තීරණයක් ගත්තා. උරුමක්කාරිය වෙනුවෙන්.. ඇත්තටම ඈ වෙනුවෙන්ම....
ඒ තමා ක්ශේත්‍රයෙන් පිට රස්සාවකට යන්ඩ. තොරතුරු තාක්ශණික අංශය අතාරින්න. අන්තිමට කාලයක් පුරා අසමත් වීම් ප්‍රතික්ශේප වීම් අස්සෙන් රක්ශණ ක්ශේත්‍රයට පය තබන්න අවස්තාවක් ලැබුනා. ආධුනික අලෙවිකරණ නිලධාරියෙක් විදියට...
රක්ශණ ක්ශේත්‍රය කිව්වම ලංකාවෙ හැමෝම පිලිකුලෙන් බලන පැත්තක් නොවැ. වාරික හොරා කන හොරු වැහි වැහල. කිසි වෙලාවකට නිසි කලට දෙනව කියන ක්ලේම් නෑ. සල්ලි දානවා විතරයි. ගන්න බෑ. කතාවට කියන්නේ බලු පූට්ටුවක් වගේ කියලා. පලාත් කළමණාකාර වෙලා ඉදපු සුසන්ත මහත්මයාම මාධවලගෙ මීටිමක එහෙම්ම කිව්ව.
තොපි මිනිස්සුන්ට බලු පූට්ටු විකුණන්න හදන්න එපා.. ජීවිතේ දීපන්..
ඒක එතුමා කීව හරි ප්‍රභල කතාවක්. කුණුහරුපෙ යටින් පැහැදිලි තේරුමක් තියනවා.
රක්ශණ ක්ශේත්‍රයට එන්න පහසු නෑ.. හැබැයි අපහසුත් නෑ. රැදෙන්න නම් බොහෝම අමාරුයි.
රක්ශණ නියෝජිතයින් සදහා වූ පරීක්ශණය සහ රක්ශණ නීතිය සම්බන්ධ පරීක්ශණයට මුහුණ දෙන්න ඕනි. ඒ ලයිසන් එක ලැබෙනකම් නියෝජිතයාට පඩියක් නෑ.
2014 වසර වෙද්දි ලංකාවේ ක්ශේත්‍රය වෙනස් වීම් රැසකට භාජනය වෙනවා.ජීවිත රක්ශණ සහ සාමාන්‍ය (වාහන, දේපල) රක්ශණ යනුවෙන් සමාගම් දෙකට කඩනවා. අන්න ඒම වෙද්දි මාධව වැටුනෙ ජීවිත රක්ශණ අංශයට.
ඉන්ටවීව් එකට යද්දි මාධවගේ ආච්චි අම්මා මරණ මංචකයේ. ඉන්ටවීව් එකට යන්න තිබ්බෙ එකම පරණ ඇදුමක්. ඉතින් ඒක ඇදගෙන ගියා.රැවුල කපාගෙන ඊලග ඉන්ටවීව් එකට එන්න කිව්ව. ඒකට ගියේ අත්තම්මගෙ හත් දවසෙ බණ දවසෙ.
ඉස්සෙල්ලම එදා වැඩ බාර අරන් රෑ බණ අහන්න අත්තම්මගෙ සුවඳ පිරුණු ගෙදරට ආවා.හා හා පුරා කියල කාලෙකින් ගත්තු රස්සාවේ පත්වීම් ලියුම පෙන්නන්න අත්තම්ම ගෙදර හිටියෙ නෑ.
ඕන්න ඔහොම ජීවිත රක්ශණ ක්ශේත්‍රයට පය තිබ්බම ඒක ජීවිතේට බද්ධ වෙනවා. නිකම්ම. මහ රෑ වෙනකම් ක්ශේත්‍රය පුරා දුවන්ඩ ඕනි. මාසික ඉලක්ක සපුරාලන්න උවමනයි. ක්ශේත්‍රයේ ප්‍රතිචාර සුව පහසු ඒව නෙමෙයි. කන්න වේලාවක් නෑ. සමහර දාට රෑ දෙක තුන වෙනකම් ටීම් එකේ කොල්ලො ගෙවල් වලට ඇරලලා ගෙදර එද්දි ගෙදරින් කිව්වෙ රස්සා එපා නතර වෙයං කියලා..
උඹ ආයේ වැඩට යන්න ඕනි නෑ...
ඒත් ගෙදරට බරක් වෙන්න බෑ.. ඒ නිසා කැපවුනා...රස්සාව වෙනුවෙන්. ඒකෙන් මාධවට ලැබුන දේවල් කීපයක්. තඩි බඩක්. කමිශන් එකක්..පොඩි අලවන්ස් එකක්. නිදි බර දෑසක්. කට්ට කන්න පන්නරයක්. රියදුරු බලපත්‍රයක්. සිත ගිය රූපිකාවට ඇදුම් ගන්න හැකියාවක්. දෙමාපියන්ට සලකන්න හැකියාවක්. වැස්සෙ තෙමීගෙන බයික්කෙ පැදගෙන සිතුවිලි අතරේ අතරමං වෙන්න හැකියාවක්. කරුමෙට මූන දෙන්න තරම් ලොකු දිරියක් ආදී දේවල් ලැබුනා. ඕන දේකට අදටත් හිනාවෙලා මූනදෙන්න පුලුවන්විදියට ජීවිතය හැදුනා..
......................................................................
දෙදාස් දා හතරේ මැයි වෙනකොට.......
පලවෙනි මාස තුනේ ටාගට් බින්දුවයි. පුහුණු අවස්තා කීපයකට සහභාගී උනා. අභිප්‍රේරණය වීම් ගොඩයි. ඒ අභිප්‍රේරණය අස්සෙම ගෙවල් වලට ගිහින් අසාර්ථක ඉදිරිපත් කිරීම් වල යෙදුණා.
සේවාදායකයා මරණයට පත් වෙන්න හැකි ආකාර උගන්නලා ආවා. හදිස්සියේ මහත්තයා මලොත් ඇක්සිඩන්ට් එකෙන් නම් මිලියන තුනයි. බලන්ඩ මහත්තයා. ඒක වටිනවා නේද..
මලාම සල්ලි කන්නඩ මල්ලි. යන්ඩ යන්ඩ වද නොදී..
එතනින් ඉවරයි. හිස් අතින් එලියට බැස්ස.. අනික් උන් සේල්ස් අරන් එද්දි මාධවට අරන් යන්න උනේ හිස් ෆයිල් කවර විතරයි.
අසාර්ථක බව හිස මුදුනටම එකතු වෙලා..
ඔහොම මාස තුනක් ගත උනා.
ත්‍රයි මාසික පරීක්ශණය වෙද්දි මාධවට ලියුම ඇවිල්ල.
බැහැපං දොට්ට. උඹට මේක හරියන රස්සාව නෙමෙයි. ප්‍රාදේශීය කලමණාකාරතුමා ගාමිණී මහත්මයා ශාලාව දෙක වෙන්ඩ කෑ ගහද්දි ලැජ්ජාව කොඳු ඇට පේළියෙන් පටන් අරන් පපුවෙ පතුලටම ඇන්න..
මොන මගුලට මේකෙ ආවද.. මුංට කන්න දෙන්න. මාධවට එහෙම හිතුනා.
පහලට ගිය මාධව ඉල්ලා අස් වීම ලියන්න පටන් ගත්තා.
ටයි දාපු රස්සාවක් නැති වෙලා ගෙදර ඉන්න වෙද්දි, අතේ සතේ නැති වෙද්දි අසරණ කම, හොදට හිතට දැනුනා..
ඒත් ඊලග නිමේශය සියල්ල වෙනස් උනා. කාර්‍යාලීය කලමණාකාරතුමා ගත් තීරණය නිසාවෙන් මාධවට උසස්වීමක් එක්කම රැකියාවෙ රැදෙන්න අවකාශ
ලැබුනා..
...........................................................................
ඒ දෙදාස් පහලවේ ජනවාරි.....
සහකාර ඒකක කළමණාකාර තනතුර සමග කණ්ඩායමක් මෙහෙයවීම මාධවට භාර උනා.රක්ශණ ව්‍යාපාරයේ අඩියක් උඩට නැග්ගා. එල්ලිලා ඉන්න පිදුරු ගහක් හම්බුනා. මේ පාර නං වැටෙන්නෙ නෑ. මාධව හිතාගත්තා..
ආයෙම ටයි කෝට් දාන රස්සාවක්. විධායක නිලධාරියෙක්. ඉංග්‍රීසි වල වටිනාකම මාධවට ඉස්සෙල්ලම දැනුනේ එදා. කළමණාකරණ ශිල්ප ක්‍රම ඉගෙනගත්තා. රක්ශණ නීතිය සම්බන්ධ මූලික විභාගය ඉහලින් සමත් උනා. පලවෙනි පඩිය රු 70000යි. එදා ඉදන් ආපහු ඔලුව ඉස්සුව. කණ්ඩායමේ සාමාජිකයින් එක්ක හෙමින් හෙමින් වැඩ කලා. රෑ දාවල් නැතුව ඔවුන්ට උදව් කලා.. ව්‍යාපාරය ගොඩ නැගුවා.සමාගම පෝසත් කලා. මාධවගේ අත මිටත් යහමින් නොවුනත් තරමට සරු උනා.
ජීවිතය නැවත ආරම්භ උනා යැයි මාධවට සිතුනා...
.......................................................................
ලාංකික රක්ශණ අලෙවිකරණ ක්ශේත්‍රය මුදල් හම්බ කල හැකි ජීවිතේ දිනිය හැකි ක්ශේත්‍රයක් ලෙස මවා පෙන්නන්න ඒවායෙ පුහුණුකරුවෝ හරි දක්ශයි. දක්ශයාට තැන් ඇති බව පෙන්නන්න ඔවුන් සූරයි. අභිප්‍රේරණයන් ඔස්සේ ඔබව නිසි ලෙස සූරා කන්ඩ ඒ සමාගම් හරිම දක්ශයි. ලංකාවේ හුගක් මූල්‍ය සමාගම් වල නිලධාරීන්ගේ තත්වය ඕකයි. ලෙඩකට බේතක් ගන්න, විනෝද චාරිකාවක් යන්න වෙලාවක් හොයාගන්න නම් වෙනමම දුකක් විදින්න ඕන. රෝද දෙකක් මතට ජීවිතය උරුම කර කල් ගෙව ගෙව දුක් විදිමින් එසේ රස්සා කරමින් හම්බ කරන්නේ කුමටද..? කිසිවෙකුට උරුම නැති ජීවිතයක අනිත්‍ය බව දේශනා කරමින් මූල්‍ය සැලසුම් විකුණා හම්බ කිරීම - මරණය විකිණීම කරන්නෙ ඇයි...? හැබැයි මිත්‍රවරුණි වෙනමම කලාවක් ඒක.. මරණයට වටිනාකමක් දීම.
හැබැයි එහි නිපුණතාවය ලබා ගත් දක්ශයෝ එමට. ශ්‍රී ලංකාව පුරාම ඉන්නවා ඒම මිනිස්සු.කෝටි ප්‍රකෝටි ගණන් වටින ගෙවල් හදල.මිලියන ගණන් වටින වාහන පදින මිනිස්සු. අලෙවිකරුවෝ. මාධව වැඩ කලෙත් හැම වසරෙම සමාගම ගානේ ලබා දෙන ඇමරිකා සංචාරේ දිනාගෙන, ලොකුම ආදායමක් රක්ශණ ඔප්පු අලෙවියෙන් හොයන, ආන්න එහෙම සාර්ථකත්වයක් ලබාපු පුද්ගලයෙක් ළඟ..
ඒකෙත් වටිනාකමක් නැත්තෙම නෑ. පුදුම දේවල් ඉගෙනගත්තා. ඔහු මාධවව ප්‍රතිනිර්මාණය කලා කිව්වට වරදක් නෑ.
ඒ වෙද්දි ගෙවෙන්නෙ දෙදහස් පහලව අවුරුද්දෙ අන්තිම කාලෙ.. සීතල දෙසැම්බරේ මල් තුහින ඉහින මල් සමයක්.....
......................................................................
විසිටින් කාඩ් එකක් අතට දීල, පාරිභෝගිකයන්ට මරණය සමහ මුදල් ගැටෙන හැටි විස්තර කරන්න හරි පහසුයි. විවිධාකාරයේ රක්ශණ සැලසුම් වලින් පාරිභෝගික භවතුන් වෙත හරියටම හරියන සැලසුමක ඉදිරිපත් කරන්න මාධවට පුලුවන්. ඔහුගේ කණඩායමේ හොදම රක්ශණ විසදුම් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්නෙ මාධවට කියලා හැමෝම කතා උනේ නිකන් නෙමෙයි..ඉක්මණින්ම ප්‍රාදේශීය පුහුණුකරුවෙක් බවට පත් වීමේ අවශ්‍යතාවද මාධවට තිබුන නිසා මාධව සමාගමේ අලෙවි අවස්තාවන් ගැන හොදින් ඉගෙන ගත්තෙ අනාගත සැලසුමක් ඇතුව.
හදිසි අනතුරු ආවරණය මහත්මයට මිලියන තුනයි..මැඩම්වත් අපි එකතු කරමුකෝ. එයාටත් මිලියන තුනක් දෙන්නම්..ඒ සේරම හදිසියක් උන දාට පුතාටනෙ මුදලාලි මහත්තයෝ..
ඒම කිව්වම සමහරුන්ට ඒක හිතට දැනෙනවා...අපි ඇප්ලිකේශන් එක පුරවමු මහත්තයා. පාරිභෝගික මහතාම යෝජනා කරනවා.
ආන් එතකොට පැය ගණනාවක් තිස්සෙ මුවෙන් දොට්ට දාපු වචන වලට වටිනාකමක් ලැබෙනව. ඒ වචන වලින් තමා මාධවල වගේ දහස් ගානක්ගෙ බඩ පිරෙන්නෙ. ඒම හිතෙනකොටම හීන් සතුටක් මෝදුවෙනව. කොමිස් මුදල, මාසෙ අන්තිමට ගන්න අලවන්ස් එක අමතක වෙන්නෙ නෑ. හැබැයි මුදල් ගෙවල රක්ශණ ඔප්පුව අතට දෙනකම් හිතට නිවනක් නෑ. සමහරු ඉල්ලුම්පත පුරවලා සල්ලි පස්සෙ දෙන්නම් කියලා මගාරිනවා. සමහරු ඇත්තටම ලෙඩක් හැදෙන බයට දාන්නෙ. ආන්න එයාලට සමාගමෙන් මෙඩිකල් නියම කරනවා. එතකොට තව වදයක්. සමහර ඒවා නම් නිකම්ම අනුමත වෙලා සතියෙන් ඔප්පුව ලැබෙනවා. හුගක් අය හිතන්නෙ රක්ශණ ඔප්පුව රක්ශිතයාගෙ අතට දීල ආවම සම්පූර්ණ උනාය කියල...
ඇත්තටම ඒක ඒම නෑ.. ඔප්පුව රක්ශිතයාගෙ අතට දීලා සම්පූර්ණයෙන්ම පැහැදිලිව කියලා දීල එන්න ඕනි. වන්දි ලබාගන්න හැටි කිව්වට බෑ. ඒව ගෙවන්නෙ මේ මේ අවශ්‍යතා සපුරාලීමෙන් පස්සෙ කියල කියන්ඩ ඕනි. නැත්තන් පස්සෙ රංඩු. එතකොට තමා. යුද්දෙ පටන් ගන්නෙ.
රක්ශණයක වාරිකේ අනිවාර්‍යයෙන්ම දැමිය යුතුයි. එය ගිවිසුමේ.පැහැදිලිව සදහන් වෙනව. සමහරු එක වාරිකයයි දාන්නෙ..ආයෙ දාන්නෙ නෑ. ඒ වගේ කෙනෙක්ගෙන් වාරිකේ ගන්නවට වඩා ලේසියි ආය සැරයක් ඒ යෝදයට අලුත් රක්ශණයක් විකුණන එක. ඒ තරම් බැගෑපත් වෙන්ඩ ඕන වාරිකේ ගන්ඩ ඕන්. වාරිකේ නොගෙවීම පාරිභෝගික පැත්තෙන් ඔහුට ලැබෙන හිමිකම් නොලැබී යනවා මෙන්ම රක්ශණ අලෙවිකරුවාගෙ පැත්තෙන් අලෙවිකරුවාගේ අලෙවි හැකියාව සහ විකුණූ ඔප්පු සමාගමේ ප්‍රාණවත් ලෙස රදවා ගැනීමේ දර්ශකයන් පහල බැසීමක් සිද්දවෙනව. ඒක ඔහුගේ වෘත්තීය ගමන් මගේ ඉදිරි ගමනට බාධාවක්..
වසර තුනක් පුරාවට වාරික නිසි පරිදි ගෙවන්ඩ උවමණයි කියල නීතියේ තියන නිසාම අලුතින් ලබා දෙන හැම ඔප්පුවක්ම වසර තුනක් යනකම් පණ වගේ රකින්න ඕනි. නැතිනම් එක වාරිකයක් නිසා පාරිභෝගිකයන් ලක්ශ මිලියන ගණන් අහිමි කරගන්නවා..
අවශ්‍ය වන්නෙ දැනුවත් කිරීම.. ආවට ගියාට බලු පූට්ටු දැමීම නෙමෙයි සැබෑ මූල්‍ය සුරක්ශිත බව ඇති කිරීමයි උවමනා වන්නෙ..
එහෙම වැඩ කටයුතු සිද්ද වෙද්දි වසරක නිමාව සටහන් වෙමින් තිබුනා..
......................................................................
අදුරේම තව වටයක් නිමා වෙද්දි මාධවට මතක් උනා තමන් හීන මැවූ හැටි. හැමදේම බොද වෙලා ගිය හැටි, ඒව වෙනමම දිග කතාන්දර. මහ වැස්සෙ තෙමි තෙමී කැඩුන බයික්කෙ තල්ලු කරල තල්ලු කරල තල්ල්ලු කරල පණ ගන්වගෙන කලකිරීමෙන් ගෙදර ආව හැටි, හීන බොද වෙලා යද්දි, සමීපයි කියල හිතන් ආදරේ කරපු අයගෙ කෙනහිලිකම් දනෙද්දි හිත ගල් උනු හැටි, ආයෙ ආයෙම මතක් උනා. ඒ වෙද්දි ආයෙමත් උසස් පහක් දාන්න වරමක් ආව....
ම...ල්.... ලි.... හ..හ්... ෆ්...හ්..යි..ව්...
පුදුම හතියක්නෙ යකෝ මූට. එක්කො නවත්තන්නෝනි.. අනේ මන්ද..මාධව එහෙම හිතුව. මාධව තමන්ගෙ අත උස්සලා පහක් දැම්ම.විසි පස් වෙනි වටය ආරම්භ කලා. කළමණාකාර මහතාට විරුද්ධ දෙසට ඇදී යන ගමනින්ම ආපසු හිස හරවා හැරී බැලූ මාධවට පෙනුන ඔහු අදුර තුලට ඇදී ඇදී යන හැටි.....
........................................................................
දෙදහස් දාසයේ මුල් මාසයක නිමාව සටහන් වෙමින් තිබ්බ..
මහ වැසි අව්වට තෙමී කර වෙවී සමාගම් පොහොසත් කරන අලෙවිකරුවාට උරුම වී ඇත්තේ බොහෝ විට අසහනයෙන් පිරි දිවියක්.
නිදහසක් නෑ. කොච්චර කලත් සමාගමට වගේ වගක් නෑ. වසර ගණනාවක් ඉලක්ක සපුරාලූ අලෙවිකරුවා එක මසෙක අසමත් වීම ඔහුව බිමටම දාල පාගන්න බලාන ඉන්නවා මහ පුටු වල ඇත්තො. නිරෝගී බව ගැන හුදී ජනයාට දේශන පවත්වන අලෙවිකරුවොන්ට රටේ නැති ලෙඩ. පවුල් දිවියක් කියන්නෙ වෙලාවකට හීනයක්. මව් පිය සෙනෙහේ ගැන හිතන්න කාලයක් නෑ. කිසිවකට වේලාවක් නෑ. අලෙවිකරණයේ ඉලක්ක හීනෙනුත් ඇදට කඩා වැදිල පිස්සු කෙලිනවා... ඉලක්ක ප්‍රස්තාරයේ ඇති ඉලක්කම් මහරෑ හොල්මන් ඔලුකටු වෙලා මස් නැති ඇටකටු සැකිලි අතකින් නලලට තට්ටු දානවා..
ඉලක්ක ගේනවද කියලත් අහනවා....
අන්තිමට නිදිබර නෙත් දල්වාගෙන ඉලක්ක හොයන්න උදේම පිටත් වෙනව. ගෑස්ටික් සහ සෙම අලෙවිකරුවාගේ නිත්‍ය සහකරුවන් බවට පත් වෙනව.
කොහොම හරි රක්ශණයක් විකුණුනු දාට නම් මාධවලාට හරි සතුටුයි. පුදුම සතුටක් මාධවට දැනෙනවා. අවට මල් පිපිලාය .කදුකරය නිල්වන් ය. තේ වතු වල දලු නෙලන කාන්තාවෝ සුකුමාලය. ඔවුන් සමග දලු ගස් අතර ඒ මේ අතට නටා ගයා සැනසෙන්න සිතෙන්නේය.. සිත ගිය තැනැත්තිය මතක් වී චුම්බනයක්, ආලිංගනයක් අවශ්‍ය බව තදේට දැනෙන්නේය.
ඒ ඉලක්ක සපුරාලීමේ සතුටය.
හැබැයි ඇගේ අම්මා නිවසේ ඇති බව මතක් වූ විට චුම්බක බල බිදී යන්නේය. ඒක වෙනමම දුකක් ය.
බයික්කේද එදාට ප්‍රීතියෙනි. කැඩෙන්නේ නැත. කදිමට වංගු වල නැමී නැමී ඉදිරියට ඇදෙන්නේය. හිත පුරා අහස උසට බලාපොරොත්තු රැසකි.
සමාගමේ අලෙවිකරණ රාත්‍රියේ සම්මානය ලබා ගැනීම, විදේශ ගමන් සිහිනය, සිහින මෝටර් රථය හැමදේම එක පෙලට සිහින මවමින් මාධව රෑ බෝ වී නිවෙස කරා එන්නේය...
..............................................................
එසේ එන දිනෙක මාධවගේ ජංගමයට සහෝදර කළමණාකරුවෙකුගෙන් ඇමතුමක් ලැබුණේය..
සුබ සන්ද්‍යාවක්. මාධව...!
පුරුදු ලෙස මාධව එසේ කිව්වෙය.. ඒ පුරුද්ද අදටත් ඇත්තේය..
මචන් ගාමිණී සර් නැති වෙලා...
සුබ සන්ද්‍යාව නිමා විය. මාධව නිහඩ විය. සිතිවිලි ගලා එන්නට පටන් ගත්තේය.
ප්‍රාදේශීය කලමණාකරු විදියට සේවය කරපු ගාමිණී මහත්මයා කොට මනුස්සයෙක්.හැබැයි මනා පෞරුෂයක් තිබ්බ.සමාගම වෙනුවෙන් සෑහෙන්න කැප උන මනුස්සයෙක්. පලාත් කලමණාකරු විදියට උසස් වෙලා මාස.කීපයයි.
මාධවගෙ ත්‍රයිමාසික අසමත්වීම හමුවේ අස් වෙලා යන්ඩ කියූ හැටිත් පස්සෙ හිත හදල හෙමීට හෙමීට ක්ශේත්‍රය තුල රදවාගත්තු හැටිත් මාධවට මතක් උනා. ආපු හැම කොල්ලෙක්ම අවංකව දියුණු කලේ තමන්ගෙ දරුවෙක් වගේ. බොන්ඩ ගියාම දෙයිය. අලෙවිකරණ ප්‍රගති රැස්වීම් වලට එද්දි ඩිකියෙ ගල් අරක්කු බෝතල් දෙකක් තුනක් දාගෙන එන්නෙ කොල්ලොන්ට. උතුම් නායකයෙක්.
මහ රෑම මාධවල බණ්ඩාරවෙල ගියා. ඒ වන විටත් සහෝදර මහත්වරු රැසක් බණ්ඩාරවෙල ඔහුගෙ නිවසට රොක් වෙලා හිටිය. අඩක් වැඩ නිම කල නිවෙසක වසර දහයක් වයසැති කුඩා දරු දෙදෙනෙක්ගේ පියෙක් වූ රක්ශණ සමාගමේ පලාත් කළමණාකාර තුමා වූ ගාමිණී සර් ඒ ගෙදර සාලෙ මැද නිසලව සැතපිලා උන්න..
ඔහුගෙ බිරිදත් සහෝදරයත් හැඩූ කඳුළෙන් පසෙකට වෙලා උන්න..
ඔහු යටතෙ සේවය කරපු මාධව වැනි තරුණයෝ බොහොමයක් මහ වැස්සෙම තැන් තැන් වල එක් රැස් වී කතා කරමින් උන්න....
පලාතම වැස්ස. බණ්ඩාරවෙලම අදුරු වෙලා..මාධවගෙ හිතත් අදුරු උනා..
හැමෝටම ජීවිතය ගෙනිහින් දෙන හැටි උගන්නපු ගාමිණී සර් අඩක් වැඩ කරපු නිවෙසක පාලු රැයේ සගයොත් එක්ක ඉන්නවා.වෙනදට මදු විතේ බලපෑමෙන් අවංක හැගුම් තෙපලූ එතුමා අද දොඩමලුව සැරිසරන සහයො රැසක් මැද අද නිහඩ වෙලා..
සමාගම වෙනුවෙන් ලක්ශ ගණන් මිලියන ගණන් හම්බ කරන්න එක පළාතකම බර ඇද්ද පුන්චි මනුස්සයෙක් අද නිහඩ වෙලා..
මේ යන විදියට මාධවටත් ඕකම තමයි. සමාගම් කාරයෝ හෙට තව ගාමිණී කෙනෙක් බදවා ගනී..
ඔහුට ගාමිණීට දුන් පඩියම ගෙවයි.
හැබැයි ගාමිණී සර්ගෙ ළමයින්ට තාත්තෙක්, ඒ ආදරණීය බිරිදට සැමියෙක් දෙන්ඩ ඒ සමාගමට පුලුවන්ද..
මාධව තමන්ටම කියාගත්ත...
ලංකාවේ මේ තියන මරවන වැඩ කරන ක්‍රමේ ගැන මහාම මහ කලකිරීමක් එක්ක ආයෙම බණ්ඩාරවෙලෙන් එන්න පිටත් උනා..
ටික කාලෙකින් මාධව රැකියාවෙන් ඉවත් උනා..
සියල්ල උඩු යටිකුරු උනා...
ඉලක්කම් ලොකු ගණනක පඩියක් ගත්තු කාලය නිමා උනා..
රක්ශණ ජීවිතය අවසන් උනා...
..........................................................................
සිතුවිලි එසේ වන විට මාධවගේ විසි පස් වන වටය අවසන් උනා. අනෙක් පසින් ඒ කලමණාකරුවා උසස් පහක් දැමීම වෙනුවෙන් කිසිදාක යලි පැමිණියේ නෑ....
රාත්‍රිය මුලුමනින්ම අන්ධකාර උනා........
...................................................................................
~ ලාංකික මූල්‍ය සමාගම් හිමිකරුවෝ රෝද දෙකක් මත තරුණ ජීවිත තබා ඔවුන්ගේ මඩිය තර කරගැනීම සිදු කරන්නේ ඇතැම් විට අමානුශික ආකාරයෙන් ය. අනතුරු වලින් හා රෝගාබාධ වලින් මියෙන සේවකයා වෙනුවෙන් සොච්චම් රක්ශණ මුදලක් ගෙවා පසෙකට වන්නේය.
~ සැබැවින්ම ගාමිණී කුමාරසිංහ මහතා මිය යන විය ඔහුගේ වැඩිමහල් දරුවා පහේ ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානම් වෙමින් සිටියේය. ඔහුගේ නිවෙස දුටුවිට මාධව දැඩි කම්පණයට පත් විය. අසනීප තත්වයන් නොසලකා ඔහු සේවයට කැපවිය. හදිසි හෘදයාබාධයකින් මියෙන විට ඔහු හතලිස් පස් වැනි වියට ආසන්න වයසක පසුවිය.
~ ප්‍රාණවත් ඔප්පු - active insurance policies - වාරික නිසි කලට ගෙවමින් පවත්වාගෙන යන රක්ශණ ඔප්පු
සුසන්ත ද සිල්ව - තොරතුරු වලට අනුව දැන් ඔහු රක්ශණ සමාගමක සාමාන්‍යාධිකාරි වරයෙකි.