මාධවලාගේ පව්කාරකම සහ මාධවලාගේ කලකිරීම!!



මේ ලිවිම මාධව ලියන්නේ කලකිරීමෙනි. අධික කලකිරීම තුරුල් කොටගෙන මේ සිතුවිලි මෙලෙස අකුරු කරන්නේ ශ්‍රී ලාංකික පව්කාර කම කර මත මහා බරක් සේ හිස දරාගෙනය. කෝපයෙන්ය. ඊයම් බරුවක් සේ පපුව තුල  සිරවී ඇති වේදනාකාරී  සිතුවිලි සිර කරගෙනය. ශ්‍රී ලාංකික වීමේ පව්කාර කම ගැන කම්පා වෙමින්ය.


මාධවලා ඇතුළු ලාංකික සියලු දෙනා මෙන්ම ලෝකයම දන්නා ඒ කාරණය හරිම සරලය. එකම එක නොසලකා හැරීමකින් මව්වරු, පියවරු, දු දරු, සොහොයුරු, හිත මිතුරු සියලු ශ්‍රීලාංකික මෙන්ම විදේශික මනුස්ස ජිවිතද ඇතුළුව සියලුම ජිවිත තුන්සියයකට අධිකව අහිමි වී ඇත. තවත් පන්සියයකට අධිකව තුවාල ලබා දුක් විදින්නේය. ඉතිරි ජිවත් වෙන්නා වූ සියලු ශ්‍රී ලාංකිකයින් කම්පිතව විස්මිතව දුක් වන්නේය. කඳුළු සලන්නේය. මහා මගට විත්  නිදහසේ සැරිසැරීමට බියෙන් පසුවන්නේය. ඒ අතර අමනයෝ දෙසිය විසි පහ සහ මහා ගමරාල ඇතුළුව කාලකන්නි ටික එකට එකතු වී දැන් ශෝක දින සැමරුම් පවත්වන්නේය. ඒක ඒක රෙද්දේ ගොන් තකතීරු ප්‍රකාශ කරන්නේය. අන්තිමට වගකීම ගන්න එකෙක් නැති උනත් මරණයට වියදම් දෙන්නේය. මරණ වන්දි පුදන්නේය. ඒක එකා නිරීක්ෂණ චාරිකාවල යෙදෙන්නේය. ඇඟිල්ල දික් කර කර අරුට මුට බොලේ පාස් කරන්නේය. එච්චරය. තුප්පහි කාලකන්නි!

ආගම ඇදහීමට ගිය අහිංසක මිනිසුන්ට අහිමි වූ ජිවිත වල වටිනාකමට ලක්ෂ දහයක්  ප්‍රමාණවත්ද? එච්චරද? සති දෙකකින් සියල්ල අමතක වේද? උන්ගේ වේදනාව, මව පියා දියණිය, පුතු, සහෝදර සහෝදරියන් නැති වේදනාව අමතක වේද? ඒ හිස් බව පිරවන්න උන්ට පුලුවන්ද? අතදරුවන්ට මව් කිරි ටිකක් දෙන්න මුන්ට පුලුවන්ද? වයසක අම්මට තාත්තට සලකන්න එයාලගේ කැත කුණු අදින්න මුන්ට පුලුවන්ද? නංගිගේ කසාදෙට මහන්සි වෙන්න ඉන්න අයියා වෙනුවට උන්ට මහන්සි වෙන්න පුලුවන්ද? අඩුම තරමේ මැරිච්ච මිනිසුන්ගේ මිනිය කරගහන්නවත් එනවද? ගෙදර ගෑනි ඇතුළු පවුල රක්ෂා කරන පවුලේ මුලිකයාගේ වටිනාකම ලක්ෂ දහයද?  එච්චරද? මනුස්සකම ඉවර වෙයිද? වලක්වා ගන්න තිබ්බ සිදුවිමක් අතපසු කිරීම් සහ කඹ ඇදීම නිසා කෙලවාගෙන තිබෙන්නේය. එයින් කෙලවී තිබෙන්නේ උන්ට නොවේය. උන්ව ඒ තැන වලට පත් කල මිනිසුන්මය. දෙකට තුනට බෙදී උන්ව පත් කරන මිනිස්සුන්ටමය. නොකා නොබී බදු ගෙවා උන්ට පඩි ගෙවන මිනිසුන්ටමය. ඒ මාධවලා සහ ඒ මිනිසුන්ගේ පව්කාර කමය. උන්ගේ නොවේය. අමන රැලගේ කාලකන්නි කම අහිංසක මිනිසුන් පිටින් ගොස් ඇත. බුරු රැලකට ගිය රටකට වෙන කිසි පිහිටක්ද? බලා හිඳිම හැර වෙන දෙයක් මාධව වැනි සාමාන්‍ය ජනතාවට හිමි නැත. 

අවසානයේ සිදු වී ඇත්තේ විශ්වාසය මුලික කොටගත් සමාජයක් අවශ්‍ය වී ඇති රටක අවිශ්වාසය රජ වීමය.

ඒ වගකිව යුතු එක කොටසකට කිවයුතු ටිකකින් හරිම පොඩ්ඩක්ය.

මේ ටික වග කියන්න ඕනි අනික් එවුන්ටය. මරාගෙන මැරුණ එවුන්ගේ ඉතිරි එවුන්ටය. තවත් මරාගෙන මැරෙන්න හිතන් ඉන්න එවුන්ටය. 

මේක මාධවගේ අදහස වන්නේය. මාධව හැමදාම විශ්වාස කරන දේය. ඒ මනුස්සකම පමණක්ය. මනුස්සකම සහ අවිහිංසා වාදය මාධව ගරු කරන දර්ශනය වන්නේය. මොන යම් ආගමක් හෝ කිසිම දර්ශනයක් හෝ විප්ලවයක් වෙනුවෙන් හෝ අයිතිවාසිකම් ලබා ගැනීම හෝ වෙනුවෙන් මිනිසුන් අමු අමුවේ ඝාතනය කිරීම මාධව පිළිකුල් කරන්නේය. අතිශය දුර්ලභ ජිවිත වන මනුස්ස ජිවිත නැසීම කිසිසේත්ම අනුමත කිරීමක් මාධවගෙන් නැත. මනුස්සයා ආධ්‍යාත්මිකව  සංවර්ධනය වන්නේ නම් මිනි මැරීම සිදු නොවිය යුතුය.

උබලා මිනිස්සු මැරුවේ උබලාගේ ආගම වෙනුවෙන්ය. කිසිම දෙවියෙක් ආගමක් උදෙසා  මනුස්සයෙක් මැරීම අනුමත කරන්නේ නැත. තවත් මිනිසෙකුගේ බෙල්ල කැපීම අනුමත කරන්නේ නැත. එහෙම දේශනා කරනවා නම් ඒ දෙවියෙක් නොව යකෙක්ය.  උබලාගේ රෙද්දේ ආගම නිසා මිනිසුන් මරන්නේ නම් උබලා මිනිසුන් වන්නේවත් උබලව ඔය කියනා රෙද්දේ දිව්‍යලෝකයට යන්නේවත් නැත. උබලා අපායටවත් සුදුසු නැත. මිනිසුන්ට ගරු කරන්නට ඉගෙන ගත දිනට උබලාට දෙවියනුත් ගරු කරනු ඇත. දිව්‍යලෝකයට වඩම්මා ගනු ඇත.එය ඉගෙන ගන්නා ලෙස මාධව ඉල්ලා සිටින්නේය. තවත් මිනිස් ජිවිත බිලිනොගන්නා ලෙස ඉල්ලන්නේය.

 ඉතින්,

මේ ලිපිය මෙතනින් කෙටි කිරීමට මාධව සිතන්නේය. කිව යුතු බොහෝ දේ ඇතත් වැඩක් නැත. මිනිසුන් මරාගෙන කිසිවෙකුටත් ලැබෙන ශාන්තියක් නැති බව කවදා අවබෝධ කරගන්නේද?  ශාන්තිය ඇති වන්නේ මනුස්සකම් රජ වූ විට බව අවබෝධ කරගත් ඒ දිනට ලෝකය සුන්දර වනු ඇත. අන්තවාදී වීම සහ මනුස්ස ඝාතන වලින් ආගමක් රැකීමට නොහැකි බව නොදන්නා අමනයින්ට නිසි පිළිතුරු දිය යුතු කාලය එළබි දැන් හුගක් කල්ය. එහෙත් මේ ලංකාවය. මිනිසුන්ට මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. හැමදාම සිදු වුයේ අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම පමණක්ය. මුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වීමටද නොහැකිය. උන්ගෙනුත් භිෂණය හැර බලාපොරොත්තු විය හැක්කක් නැත.  කෙසේ වුවත් තැලෙන්නේ අහිංසක ලාංකිකයින්ය. 

මාධවලා ඇතුළු ලාංකිකයින්ට මේ ආකාරයට මැරී මැරී ජීවිතය ගෙවීමට සිදු වී ඇත.

එය ලාංකික මාධවලාගේ පව්කාර කමය. මේ ලියවෙන්නේ මාධවලාගේ කලකිරිමය.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form