Tuesday, January 28, 2020

එක දවසක කතාන්දරයක්





ඉතාමත් දිගු කලක සිට ගෙවී ගත වන  කාලය පුරාම මාධව ඇය ගැන හිතුවෙ නෑ. එදා මෙන් ප්‍රභලව ඒ හැඟීම් මතු වෙන්න ඉඩක් ඔහු දුන්නෙ නෑ. කිසි විටකදී. නමුදු ඇතැම් විට ඔහු පැරදුමට ලක් වී තිබෙනවා. සිහින කෙසේ වලකන්නද? සැබෑ ජීවිතයේදී ඉඩ නොදුන්නද, සිහින ඇයව ඔහු කරා ගෙන ඒමට පුරුදු වෙලා. ඒ මන්ද? තවමත් යටි සිත ඇයට ඇලුම් කරන නිසාද?


මාධවට සිතා ගන්න බෑ. වෙන්වී ගිය එක් දිනක සිට මාධව තීරණය කරණුයේ ඇයට යලිදු ඔහුගේ සිත පුරා අරක් ගැනීමට ඉඩ නොදිය යුතු බවයි. ඇයට ඇගේම සිහින ඇති බවත්, ඒවා ශපත කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ මිතුදමට එය මහත් බාධාවක් වනු ඇතැයි මාධව තරයේම විශ්වාස කලා. එසේ හෙයින් ඇයගෙන් නොලැබෙන ආදරය මාධව සොයා ගියේ වෙනත් පාර්ශවයින්ගෙන්. නමුදු මාධව ඇතැම් විට තනිවී සිටින්නේ යැයි හිතෙන තරමට ඈ විසින් ඔහුට කරන්නා වූ බලපෑම ප්‍රභලයි.

සැබෑ ජීවිතයේදී ඇයව තමාගේ කර ගැන්මට වර්තමානයේ තවදුරටත් මාධවට ඉඩක් නෑ. නමුදු එදා සිටම ඇය මාධවට කැමැත්තෙන් සිටියාදැයි කියා දැන් මාධවට සිතෙනවා. ඇය කෙතරම් ඉගි ප්‍රමාණයක් මාධවට ලබා දුන්නද මාධවගේ සිතුවිලි  අඥාන ලෙසින් හැසිරී ඇති හෙයින්ද මන්දා ඒවා අවබෝධ කර ගැන්මට උත්සහ කලේ නෑ! නැතිනම් ඔහුම ඔහුට බල කරන්නට ඇති. ප්‍රේමය ඇගේ හදවතින් නොපතන ලෙසින්.....

සිත පවතින්නේ අපේ හදවත තුල යැයි මාධවට සිතෙන්නේ මෑත කලක සිට නොවේ. ඇය ගැන සිතනා කාලයේදී හැම විටම ඔහුගේ සිත් තුල පිබිදෙන හැගුමන් ගැන සිතුවිලි මවද්දි මාධවගේ හදවත අමුතු රිද්මයකට ස්පන්දනය කරන්නට වූවා. හදවතින් පොම්ප කරන්නා වූ හැම ලේ බිදුවක්ම තම ශරීරය තුලා දිවෙන අයුරු ඔහුට මනාව දැනුනා.  එම හද ගැස්ම යලි යලිදු විද ගැන්මට මාධව හැමවිටම ආසයි. සිය මොලය තුල පවතින සිත හදවත වෙතට ගෙනැවිත් ඇත්ද? ශරීරය නම් වූ අප ජීවිතය තාවකාලිකව රදවා ඇති ඇට මස් ලේ නහර වලින් සැදුනු මේ රූපකාය තුල අපගේ සිත තැන්පත්ව ඇත්තේ සැබැවින්ම හදවත තුලද? එසේනම් ඇය ගැන කල්පනය කරන කල්හි මාධවගේ සිත අමුතු ආකරයට රිද්මයකට ස්පන්දනය වන්නේ ඇයි? මාධවට එය සැබැවින්ම ගැටලුවක්....

ගෙවුනු කාලයේ සිදුවුනු සිදුවීම් අතුරින් එක් සිදුවීමක් උපයෝගි කරගෙන මාධවගේ හදවත ගැහෙන්නා වූ ඒ කතාව විස්තර කිරීමට මාධවට පුලුවන් වේවි. නමුදු සිදුවීම් සියල්ලකම එකතුවක් වන සම්පූර්ණ  කතාව බොහෝ දිගයි.... එය මාධවගේ ආදරය තුල මේ තරම් යැයි කීමට බෑ. නමුදු නුවර වැව දළදා මාලිගය අභියස ලෙ‍ලෙන විශාල වෘක්ෂ රාජයාගේ සෙවනේ, රැජින හෝටලය ඉදිරිපිට පදික වේදිකාවේ ඇයව මුන ගැසීමට මාධවට හැකි වූ දවසේ කතාව මනරම්. 

උණුසුම් දවසක් නොවූවත් මාධවට උණුසුම දැනුනා. ලා නිල් වර්ණ සල්වාර් ඇදුමකින් සැරසී සිටි ඇය සුන්දරයි. පෙර සේම මිතුරන් සේ ඔවුන් දොඩමලු වූවා. ඇය ඇගේ ඥාති සොහොයුරිය පැමිණෙන තෙක් කල් මැරුවා. මාධව නම් ප්‍රාර්ථනා කලේ ඇයගේ සොහොයුරියගේ “පමාව“ පමණයි. නමුදු කෙටි අවස්ථාව මාධවට ඈ කෙරෙහි තිබෙන්නා වූ ප්‍රේමය විස්තර කිරීමට අවස්ථාව නෑ. මිතුරෙක් සේ දොඩමලු වුවද, මාධවගේ සිත තුල එදාද හදවතේ රිද්මය දෝංකාර දුන්නා. පුංචි කෙල්ලක්.සම වයස් උනත් මාධවට ඇය ගැන හැමදාම සිතුනේ එහෙමයි. සුලගට ලෙලෙමින් වද දෙන කෙහෙරැලි අතින් සකසන්නට මාධවට උවමනා උනා. නමුදු කරන්නට බෑ. සිත බයයි. ඇගේ ඇස් දෙස සෑම විටම බලා ඉන්නට උත්සහ කලා. සුන්දර ඇස් යුගල. පෙර දා දිනක දුටු ආදරය තාමත් ඇතැයි මාධව සිතනවා. ඒ සිතුවිල්ලම මාධවගේ හදවත තව තවත් ස්පන්දනය වන්නේ පිටත ලෝකයටද ඇසෙනා තරම්. එක්තරා දිනක මෙන් ඇගේ අතැගිලි වල මාධවගේඅතැගිලි පටලා ගන්නට ඕනෑ උනා. නමුදු ලෝකය නපුරු වේවිද මන්දා? මාධවට තවත් බයයි. ඇයගේ කන්කලු කතා බස් අතර මාධවගේ අවධානය බෙදී ගියද සිත ඈ පිළිබදවමයි. අවංක හැඟුමක් මාධව ප්‍රකාශ කලා. “අද ඔයා ලස්සනයි“. ඇය එයට තවත් සුන්දර මදහසකින් ප්‍රතිචාර දැක්වූවා. මරණය උනත් පිළිගන්න හිතෙන ඒ දුර්ලභ සුන්දර සිනහව.

කෙමෙන් කෙමෙන් ලංව පියරව තැබූ දෙදෙනා දළදා මාළිගාවටම ඇතුලු වූවා. නමුදු පාඨක ඔබ සිතනා අයුරින් මාධව ඇය සමග දළදා වන්දනා කලේ නෑ. ඇයට ඇයගේ සොහොයුරිය හමුවන තෙක් ඇය සමග සිටියා පමණයි. පත්තිරිප්පුව දෙසට තැබූ මද දුරක පියවරයන් මැකී යද්දී හමුවේ ඇයගේ සොයුරියගේ පැමිණීම දෙදෙනාගේ හමුව නිමා කලා. මාධව ආපසු හැරුනා. ඇය සොයුරිය සමග යන්න ගියා.. ආරක්ෂක කුටිය තුලට වන්නට මොහොතකට පෙර ආපසු  වරක් හැරී බැලු මාධව දුටුවේ දුර ඈත මලුව දෙසින් ඈ පියවර තබා යන බව පමණයි...

පෙර දිනෙක මෙන් ඇය හැරී මාධව දෙස ආපසු බැලුවාදැයි මාධව දන්නේ නෑ.......

හදවත ආදරයෙන් හිරි වැටුනු  මොහොතක කතාන්දරය එසේ නිමා වූවා....

නමුදු..... කෙටි පණිවිඩය..... මාධව ඇයට යැවූ......  ඇය දහසක් දේ තේරුම් ගත්තාද මාධව දන්නේ නෑ...

එහෙත්. මාධව සිතූ පරිදි... එම කෙටි පණිවිඩය මාධවගේ හැගුම් පිළිබදව දහසක් දේ ප්‍රකාශ කලා.....

I can tell you, today was a one of most beautiful day in my life! 

“මට කියන්නට පුළුවන්, අද ගෙවුනු දවස මගේ ජීවිතයේ ලස්සනම දවස් වලින් එකක්! 

1 comment:

Your Comments / ඔබේ ප්‍රතිචාර