අම්මාවරුන්ගේ කදුලු






මාධව අතිශයින්ම සංවේදී වී ඇත්තේය

මේ කියන්නට යන්නේ අන්න ඒ කතාන්දරය වන්නේය. ඒ කතාව මාධව ආරම්භ කරන්නේ මේමය..

උතුරේත් දකුණේත් සිටිනා පාලකයාගේ වැරදි නිසාවෙන් ලාංකික මාතෘ භූමිය මත ගලා ගිය රුධිර ගංගා මෙතෙකැයි මැනීමට නොහැකිය. මිය ගිය උංගේත් මුංගේත් අප්පච්චිලා, අයියලා මල්ලිලා සහ කලත්‍රයින් උදෙසා ගැලූ කඳුලු වල ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකිය. අදත් ඒ අසරණයින්ගේ කඳුලු මත්තේ බුදියා සැප ගන්නා දේශපාලුවෝ මේ මාතෘ භූමියේ සිටින්නේය. ඒත් මළගිය සහ අතුරුදන් වූ ලාංකික අපේම මිනිසුන් වෙනුවෙන් සැලෙනා කඳුලට ලැබිය යුතු වටිනාකම කොහිද? එය ලැබී තිබෙන්නේද? ඒ අසරණයින්ට සහ මලගිය ඇත්තෝ උදෙසා සැබැවින්ම කැප වන්නෝ කවුරුන්ද? 



මේ පින්තූර දෙකේ සිටිනා අම්මලාගේ කතාව ඒකය. ඒ එකම රටක එකම ජාතියක සමහර අම්මලාගේ කතාවය. කදුලු කතාවය. ඒ අම්මලාගේ පිච්චෙනා පපු කැවුතු ඇතුලේ ඉකි ගසන කතාවය. ලාංකික බහුතරයක් නොදන්නා නොසිතනා නොතකනා කතාවය. ලාංකික අවාසනාවේ කතාවය.


ඒ අම්මලාගේ  දෙතනින් කිරි බී වැඩුනු පුරවැසියා දෙපසකට කර කොටවා ඇත්තේ දේශපාලනය විසින්ය. මාධව එය සපථ කරන්නේය. ඉතිහාසය සාක්ෂි දරන්නේය. දෙමළ මව් කිරේත් සිංහල මව්කිරේත් ඇති වෙනස කුමක්ද? දෙමලාගේ රුධිරයේත් සිංහලයාගේ රුධිරයේත් ඇති වෙනස කුමක්ද? “පර දෙමළුනි“ උඹලා අපේ සහෝදර සහෝදරයින්ය. අපි සිංහල නොවේය. අපි ලාංකිකය. උඹලා දෙමල නොවේය. උඹලත් අපි වගේම ලාංකිකයින්ය. මේ කතා කරන්නේ මාධවගේ හෘද සාක්ෂිය වන්නේය. උඹලා උයන  සාම්බාරු සහ දෝසේ ආසාවෙන් ගිලින මාධවලා උඹලාට වෛර කරන්නට හේතුවක් නැත. අප උයනා කිරිබත් ලූනු සම්බලය සමග ගිලින්නට උඹලා මැලි වන්නේ නැත. ඉතිං මාධවලාට උඹලා වෛර කරන්නේ ඇයි? ඉතිං මාධවලා උඹලාට වෛර කරන්නේ ඇයි?  ඒ කෙටවීම නිසාය. උඹලා එක්ක එකට අවුරුදු කන මාධවලාට උඹලා එක්ක වෛර බැදගන්න හේතුවක් නැත. එසේනම් ඒ හේතු ඇති කර ඇත්තේ උඹලාගේත් මාධවලාගේත් පඩංගු දේශපාලන පන්තිය බව තේරුං ගන්නා ලෙසට මාධව කියන්නේය.

වසර ගණනාවක යුද්ධයේ බියකරු මතක මාධවලා හොදින් අත් වින්දේය. ඒත් මාධවලා කාලයත් සමග තේරුං ගත්තේ උඹලාට මේ රට බෙදීමට උවමනා නැති බවය. ඒම එකක් ඕනෑ උඹලාව රවටනා දේශපාලකයාට බව මාධවලා තේරුං ගත්තේය. ලංකාවේ කුරිරු දේශපාලනය ජාතිවාදය උලුප්පා උංගේ පන්තිය වඩවා ගන්නා අන්දම මාධවලා වටහාගෙන ඇත්තේය. එය අදත් වන්නේය. ඉදිරියේදීත් වනු ඇත. ඒ මාධවලාට සහ උඹලාට ඇති ආදරයක් නිසා නොවන්නේය! උංගේම පැවැත්මට සියලූම ලාංකිකයින් කොටවනු ලබන්නේය. 
 
ඒ කුරිරු යුද්ධයේදී දෙමලාව උසිගන්වා උන් මගින් සිංහලයාව ඝාතනය කලේය. මාලිගාවට බෝම්බ දැම්මේය. භීක්ෂූන් ඝාතනය කලේය. ඒවා වැලැක්වීමට හමුදාවක් ලෙස මැදිහත්වීමේදී උඹලාගේද සහෝදරයින් පියවරුන් දරුවන් වෙඩි උන්ඩයට ගොදුරු විය. අවසානයේ යුද්ධය නිමා විය. දේශපාලකයා විසින් අරඹන ලද කුරිරු යුද්ධය දේශපාලනය විසින්ම භෞතිකව නිමා කලේය. එය කල යුතු වූ දෙයක් වූ අතර එය සිදු වීම සම්බන්ධව මාධව ඇත්තෙන්ම සතුටු වන්නේය. එය සිදු කිරීම පිළිබදව කිසිවෙකුට ගෞරව කල යුතු නොවන්නේ යුද්ධය ඇති කලේද පාලකයින් බැවින් යුද්ධය නැති කිරීමද උංගේම රාජකාරිය වන නිසාය. කෙසේ හෝ යුද්ධය නිමා වූ නමුදු  බිදුනු හදවත් දිනා ගැනීමේ යුද්ධය ජයග්‍රහණය කරන්නට ලාංකිකයින් ලෙස අසමත් වී ඇත. උන් එය කිරීමට දෙන්නේද නැත. උන් යනු පඩත්තල දේශපාලකයාය! ලාංකිකයා බෙදී සිටිනා තරමටම කාළකණ්නි දේශපාලන අම්බැරුවන්ගේ කල්ල මරේය. දේශපාලකයාට කඩේ යන කඩේ යන පුරවැසි බහුතරයක් කඩේ යන්නේ මේ බව තේරුම් නොගෙන වීම ශෝක වීට කරුණක් වන්නේය.
 
කෙසේ වුවත් යුද්ධයක නිමාව වෙනුවෙන් රට ගෙවූ වන්දිය සුලු පටු නොවන්නේය. රටක ජවය වන්නා වූ තරුණ ශක්තීන් උණ්ඩයට ගොදුරු විය. අත්පා නැතිව අසරණ විය. ඒ උණ්ඩය පපුව පසාරු කිරීමේදී දෙමල සිංහල අදුනන්නේ නැත. ගිනි බින්ද විට ලැබෙන පලමු පපුවේම ලැගුම් ගෙන තරුණ ජීවිතයන් මාරයාට භාර කිරීම උණ්ඩ වල රාජකාරිය වන්නේය.

ඉක්බිති යුද්ධය හමාර වූ පසුද දේශපාලන පන්තිය එහි ගරුත්වය බෙදා ගැනීමට වලි කන්නේය. කාළකණ්නි කම ය. යුද්ධය ඇති කලේ උන් බව නොකියා මාධවලා ඇතුලු පුරවැසියන්ව චූන් කර උන් නිසා යුද්ධය දිනූ බව පම්පෝරි ගහන්නේය. යුද්ධ කිරීම නොව සාමය පවත්වා ගැනීම අසීරු කාර්යයක් බව මෙම අමනයින් තේරුන් ගන්නේම නැත. අවසානයේ හැමදේටම සොල්දාදු උන්නැහේලා කර ගැසිය යුතු වන්නේය. මාධවලා ඇතුලු පුරවැසියා දුක් විදිය යුතු වන්නේය. උං සැපම විදින්නේය. දේශපාලකයින් යනු රට ගිනි තියා යමරෙට සැපම විදිනා කූඩැල්ලෝය.

ඉතිං මේ අම්මලා වැලපෙන්නේ උංගේ දරුවන් වෙනුවෙන්ය. පාලකයින්ගේ වැරදි උදෙසා දිවි දුන් අම්මලාගේම  ලේ ටික වෙනුවෙන්ය. අකුරු උගන්වා උස් මහත් කර වයසට ගිය අම්මාව බලා ගන්නට සිටි පුතුන් වෙනුවෙන් මේ අම්මලා අඩන්නේය. විලිරුදාව හමුවේ වේදනාවෙන් බිහි කල දරුවන් මව් බිමේ පසට යට කර මේ අම්මලා විදින ගින්දර සුලු පටු නොවන්නේය. මේ පොලවේ මිනී වලවල් වලින් සෑහෙන ප්‍රමාණයක් මේ තරුණ ජීවිත වලට වෙන් විය. රටක මිනිසුන්ට මෙහෙම වෙන්නට ඉඩ හැදූ දේශපාලන පන්තියට මාධව වෛර කරන්නේය. කාළකණ්නි හැතිකරය විසින් රටම අදුරට දමා ඇති නිසා ඒ වෛරය සාධාරණය.

අමන තුප්පහි දේශපාලන නායකයින් ජාතිවාදය වවාගෙන කෑවේය. තවමත් වවාගෙන කන්නේය. කාළක්ණ්නි කම නම් අසූචි පාංකඩයෙන් අපගේ උතුම් මාතෘ භූමිය වෙලා දමා, අන්ධකාරය වෙත රැගෙන ගොස් ඇත්තේ උංමය. උතුරේත් දකුණේත් වෙසෙනා අමන දේශපාලනික උවමනාවන් පිරිමැසෙන්නේ අසරණ අම්මාවරුන්ගේ කඳුලු මතින්මය. ඒ අම්මලා හෙලන කදුලක් පාසාම ලාංකික දේශපාලකයිනි, උඹලාට සාප වන්නේය. උඹලා පණුවෝ ගසා මිය යා යුතුය. 

සිංහල හෝ දෙමල වේවා සියලූම දෙනා එකම රටක මිනිසුන්ය. පණ ගැහෙන හදවත් සැමගේම එකම  හදවත් වන්නේය.පුරවැසි සැම දෙනාම සහෝදරත්වයෙන් සිටිය යුතු වන්නේය. අනාගතයේදී වත් යුද බිමකට පාර නොකපා සහෝදරත්වයෙන් ජීවත් විය යුතු වන්නේය.. දේශපාලන පන්තියෙන් බැහැරව එකිනෙකා හා සැකයෙන් තොරව ආශ්‍රය කල යුතුය. අවංක විය යුතුය. මේ අම්මලාගේ කදුලු වලට සාධාරණයක් ඉටු වීමට නම් ඒක විය යුතුමය. අන්න ඒ දිනයට ලංකාව සතුටින් ඉපිලෙනු ඇත. ඒ අම්මලා ගේ මලගිය පුතුන්ගේ ආත්මයන්ට සමාදානය ලැබිය යුතුය. ඒ අම්මලාගේ පපුවේ ගින්දර නිවා දැමිය යුතුමය. ඒ සදහා අවශ්‍ය වන්නේ එකම ජාතියක් ගොඩ නැගීමය.

ඒ ජාතිය එකම රටක් තුල, සැමට සාධාරණ එකම නීතියක් යටතේ, නොබෙදූ ජාතීන් වෙසෙන රටක් ලෙස, සියල්ලෝම ලාංකිකයින් ලෙස සිතන රටක් ලෙස, ලෝකයේ ඉහලටම රට ඔසවා තබන්න වැඩ කරන ජාතියක් ලෙස විරාජමාන වෙමින් එක්සත් විය යුතු වන්නේය.

එසේ වූ දාට මේ අම්මලා මාධවලාගේත් උඹලාගේත් හිස අතගා ආශිර්වාද කරනු ඇත්තේය. ඔවුන්ගේ වැගිරෙනා කදුලු අතරින් සිනහව මතු වනු ඇත. එදාට දකුණේ මාධවලාගේත් උතුරේ උඹලාගේත් උණුසුම් වැලද ගැනීම ලාංකික මාතෘ භූමියම මුසපත් කරනු ඇත. ඒ අම්මලාගේ තුරුලේ මාධවලාත් උඹලාත් ලබන මව් සෙනෙහස ලෝකයම දකිනු ඇත.

අන්න ඒ දිනයට ලෝකයම මාධවලාට ආදරය කරනු ඇත.................................

ලාංකිකයා යනු උදාර ජාතියක් බවත් එදිනට ලෝකයා තේරුම් ගන්නවා ඇත.

අන්න ඒ දවස එනතුරු මාධව සිහින මවන්නේය..............................

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මටනම් "ශ්‍රී ලංකික" කියන වචනේ ඇහෙනකොට කිසිම හැඟීමක් දැනෙන්නේ නෑ.

    කවුරුහරි තමුන් ශ්‍රී ලාංකිකයෙක් කියලා කිව්වොත් මුලින්ම මට හිතෙන්නේ මූ සිංහලයෙක් නෙමෙයි වගේ කියලා.

    ඊලඟට හිතෙන්නේ මූ තම්බියෙක් වෙන්න ඇති කියලා.

    ඊලඟට හිතෙන්නේ මූ මේ තමුන් ශ්‍රී ලාංකකියැයි කියන්නේ සිංහලයන්ගෙන් මොකක්හරි කඩා වඩාගන්න කියලා.

    ReplyDelete
    Replies
    1. හැඟීමක් නැත්තේ ජාතිය ඒ් තරං බාල්දු වෙලා නිසා ස‌හෝදරයා! ඔබගෙ බ්ලොග් අඩවියට ගියා! ඔබේ අදහස් ගැන දැන ගත්තා!!

      Delete
Previous Post Next Post

Contact Form