සීයා..................


 
image from hollywood movie - "UP"





 ජීවිතය. ගලා යන ගගක් වගේ තමයි. මාධවට හිතෙන්නෙ ඌට සිද්ධ වෙන සිදුවීම් නිසාමයි. අකලට වයසට නොගියත් ගියත් කොහොම උනත් මාධවත් දැන් අවුරුදු 30ක නාකි හමක්. අපාස කරනවා නෙමෙයි නාකි උන්දලට. මාධවත් එක්කම වයසට යන අවට ලෝකයත් නාකි වෙලා. “නාකි" හරි අපූරු වචනය...…

මාධවට නාකි සීයා කෙනෙක් හිටියා. උන්දැ නාකි උනේ නමට විතරයි. මරණය තෙක්ම කාටවත් අත පාන්නෙ නැතුව මැරෙන්න පුලුවන් විදියේ ජීවිතයක් උන්දැ ගෙව්වා. මාධවගේ අතීත කතාවලින් එකක් කියන්නයි මේ උත්සහය. කාලෙකින් බ්ලොග් ලියන්න හිතුනාම ගොතන්න කතා ඌමනා නෑ මාධව වගේ ජීවිතේ ගෙවන උන්ට. උන්ගෙ ජීවිතයම කතාවක්. ඉතිං අහන්න මාධවගේ අලුත් අතීත කතාවක්.

නාකි වීම සොබාවිකයි. මොන සෙල්ලං දැම්මත් නාකි වෙනවා. කමකට නැතුව නාකි වීම කාළකණ්නි කමක්. ඒත් ඒම නොවන මිනිස්සුත් ඉන්නවා. මේ ලෝකේ මාධව දන්න එක්කෙනෙක් ගැන මේ කතාන්දරය. ඔහු මාධව සමග ගනුදෙනු කල ආකාරය මාධවට දැනීමක් නෑ. කෙසේ වුවත් එකල මාධවගේ ආකල්ප සමග මාධවට දැනුනු හැගීම් එක්ක මේ කතාව ගලා යාවි. ආකල්ප කාලයත් සමග වෙනස් වේවි. නමුත් කතාන්දර වෙනස් නොවේවි. ඉතිං. කතාව මේං


සීයා"

සීයා මාධවට ආදරේ කලාද කියන්න මාධව දන්නෙ නෑ. ඒකට කාරණා තිවනා. මාධවට නොදැනෙන්න සමහර විට ඔහු මාධවට ආදරේ වෙන්නැති. සිස්සත්තෙ පාස් වෙලා කිව්වම සතුටු මූන පෙන්නුවම උන්දැ ඔලුව අත ගෑවා යන්තං මතකයි. ඉදලා හිටලා කොන්ඩෙ කපන්න ගියාම ටවුමෙ තිබ්බ එකම තම්බි නානාගෙ ශ්‍රී ලංකා හෝටලෙන් බිත්තර පැටිස් අරං දුන්නා මතකයි. හැමදාම කට්ට කමට ඉස්කෝලෙ ඉස්සරහ උන්දැගෙ තේ කඩේට ගිහිං රුපියල් දෙකක් ඉල්ලුපුවම ලෝබ කමින් වගේ ඒක දීපු හැටි මතකයි. .තමයි මාධවගේ සීයා. “අපේ සීයා".

පීරිස් සිංඤෝ. ඒමයි උන්දැගෙ නම තිබුනේ. නැෂනල් අයිඩින්ටිටි කාඩ් එකේ තිව්නා මාධව දැකලා තිබුනා. ඊට අමතරව උන්දැගෙ මරණ දැන්වීමේ ගහල තිබුනෙත් ඒමයි. පීරිස් සිංඤෝ උපාසක මහතා කියලා. උස හීන්දෑරි මනුස්සයා. ලෝබයි. රස්සාවක් කියලා ඉස්තිර දෙයක් කලේ නෑ. ධෛර්යය වන්ත මනුස්සයා. ගමේ හැමෝගෙම ගවුරවය දිනන්න උන්දැට හොද පර්සනැලිටියක් තිබුනා. දාඩිය මාන්සියෙන් හම්බ කරලා අහිංසකව ලෝබකමින් ජීවත් උනා කිව්වැ හැකි. ලෝබ කමද අරපිරිමැස්සමද කියන්න දන්නෙ නෑ. මාධවට ඒ කාලේ හිතුන නිසා කියන්නම් ලෝබ කම කියලම

මාධවට මතක ඇති කාලෙක ඉදන් සීයා වයසයි. මාධවගේ තාත්තව පොඩි කාලෙම හදාගෙන වඩාගෙන උස් මහත් කරලා තැනකට ගේන්න උන්දැ ගොඩක් දුක් විදින්න ඇති. ඒවා නං කියන්න මාධව දන්නෙ නෑ. කොහොම උනත් මාධවලගෙ දුප්පත් පිය පාර්ශවයේ (මව් පාර්ශවයට නං ඉඩ කඩම් තිබුනා. මුදල් හදල් ඒ කාලේ හැටියට තිවුනා. ) නැන්දලා බාප්පලා ලොකු තාත්තලා අතරින් අවිවාහක උන්දැගෙ එකම පුතාවීමේ වාසනාව මාධවලගෙ පියාට උනේ මාධවගෙත් වාසනාවට කියලා කිව්වැහැකි. කොහොම උනත් අවිවාහක තමන්ට හිටි එකම පුතා කියලා හදාගත්තු පුතා ඉහලට යන හැටි දැකලා සතුටු උන උන්දෑ ඒවා පම්පෝරි ගහන්න ගියේ නෑ. උන්දෑ මාධවගෙ තාත්තට උගන්නපු නිසාම මාධවගේ ළමා කාලය සුව පහසු උනා. ඒ කාලේ උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියමන සනාථ වන තවත් එක කාරණයක්. දැන් ඒම නොවුනට. ඒ ගැන පස්සට කියන්නං.

ඉතිං කෝමෙන් හරි සීයාට මාධව පොඩි කාලේ ඉදං කතා කලේ "අපේ සීයා" කියල. “අපේ පුංචි" “අපේ ආච්චි" වගේ කැරැක්ටර් කීපයක්ම මාධවගේ ළමා ජීවිතේ ඉදන් තරුණ ජීවිතේ ඉදලා තියනවා. කොහොම හරි අපේ සීයා ගොවියෙක්. නැෂනොල් අඩිඩෙන්ටි කාඩ් එකේ ඒමයි තිව්නෙ මතක හැටියට. ඒත් උන්දැ ගොවියෙක් නෙමෙයි. වර්තමානයේ වචනෙන් නං උන්දැ ව්‍යවසායකයෙක්. පුංචි තේ කඩයක් කරන ව්‍යවසායකයෙක්. හැබැයි පාට් ටයිම් විදියට කරන තේ වත්තකුයි කන්නෙට කරන කුඹුරු කෑල්ලකුයි සීයට තිබ්බා. ඉතිං කුඹුරෙ ගොයම් කපන කාලෙට තිබුන ළමා සොමිය මේමයි කියන්න බෑ. ඒ තරං ලස්සන ලමා කාලයක්. මතක් වෙද්දිත් මාධවලට ලෝබයි

සිංහල අලුත් අවුරුද්දට ගමේ සියලු වැඩ වල ඔහු මූලිකයා උනා. අවුරුදු නැකැත් ඉටු කිරීමේදී ඔහු මාධවලාගේ නිවසේ මෙන්ම ගමේද ප්‍රධානියෙක් උනා. හිසතෙල් ගෑමේදී ගමේ සියලුම අයවලුන් ඔහුගේ ආශිර්වාද ලැබීමට වාසනා උනා. ඒත් මාධවට ඔහුව පෙනුනේ ඒමයි "නාකි අපේ සීයා" ඒත් කල්පනා කරන විට ඔහුගේ සැගවී තිබුනු ගාම්භීර බව දැන් මැවී පෙනෙනවා.

ඉතිං "අපේ" සීයාගෙ ජීවිතේ සරලයි. අදින්නෙ සරමයි කමිසයයි. ජීවිතේ අන්තිම කාලේ වෙන තෙක් පාවහන් පැලදුවේ නෑ. පරණ කළු ඒත් ගාම්භීර කුඩ කෑල්ලක් සීයට තිබ්බා. කොන්ඩෙ පිලිවෙලට කපලා පෙනුමට ඉන්න උන්දැ තරුණ කාලේ හෙන කොල්ලෙක්. හැන්ඩියා. හේතුව කුමක් උනත් සීයා අවිවාහකයි. තමන්ගෙ එකම අවිවාහක නංගි සුමනාවතී එක්ක මාධවලා දැන් ඉන්න ගෙදර වාසය කලේ කාටත් කරදරයක් නැතුව. ඒක අදටත් ඒමම්යි.

උන්දැ කවදාවත් සිල් ගත්තද මාධවට මතක නෑ. හැබැයි වෙසක් පෝයට නං පන්සලට ගියා. වල් ඌරු මස් කන්ඩ උන්දැ ආසයි. ජයරත්නගෙ මන්දට අහුවුනු නැවුම් ඌරු මස් ගෙනාවම ආච්චිට කියලා උයං කන්ඩ ආසයි. කරෝල කෑල්ලක් නැතිව බත් කන්ඩ උන්දැ මනාප නෑ. ජාතික ආහාරය වගේ කීලං කෑල්ලක් තිබ්බනං උන්ද වහ උනත් කාවි.

මාධවල සීයා තේ කඩේ කලේ මාධවගේ ඉස්කෝලෙ ඉස්සරහමයි. ඒ කාලේ මාධව සෙන්ට්‍රල් එකේ ළමයෙක්. දැන් සෙන්ට්‍රල් එක ඉස්සරහිං ගියාට එතන තියන චම්පි අක්කගෙ කඩේ අල්ලපු කෑල්ලේ, දැන් නං දිරල ගරා වැටිල තිබුනත් මාධවලගේ සීයා ඉදපු කාලේ ඒක ඉස්කෝලෙ මහත්තුරු ගැවසුන අපූරු පොඩි තේ කඩ කෑල්ලක්. පුංචි වීදුරු රාක්කෙක දිලිසි දිලිසි තිබ්බෙ හැමදාම සරල කෑම ජාති කීපයක්. කිඹුල බනිස් ඇත්තම කිඹුලෙක් වගේ විසාලෙට තරම් අවංක කිඹුල බනිස්. දැන් වගේ හිගන බනිස් නෙමේ. හොදට සීනි කැට තවරලා. මාලු බනිස් ඉස්කිරිඤා්ඤාා, ගල් බනිස් හුලං විස්කෝතු පිරිලා. ඇයි තව ආප්ප, ලැවරියා. හැබැයි අවශ්‍ය ප්‍රමානෙට. සීයගෙ විධායක පුටුම ඒමත් නැත්තං කැසියර් මේසය උඩම සීනි බෝල පුරවපු ලොකු බෝතල් කීපයක්. ඒ කාලේ සීනි බෝලයක් සත 10 ඉදන්. මාධව සත ගණන් වල ඉදන් රුපියල් ඩොලර් ලෝකවල ගනු දෙනු කලත් සීයා ගනුදෙනු කලේ පුංචි රුපියල් සත එක්ක විතරයි.

ඒ කාලේ සෙන්ට්‍රල් ඉස්කෝලෙ මාත්තුරු තේ බොන්න සීයගේ කඩේට හැම පැයකම එනවා. සීයගෙ තේ එක රසයිද කියන්න මාධව දන්නෙ නෑ. ඒ ගැන දුකක් හිතේ කොනක තියනවා. ජීවිතේදි හමුවන සමහර දේවල් මාධව අදුන ගන්නෙ නෑ. ඒක ළමා මාධවලගෙ වැරැද්දක් නෙමෙයි. පුංචි කමට නොදන්නා කමට වෙන දේවල්.

හැමදාම සමහර වෙලාවට ඉස්කෝලෙ ඇරිලා කඩේ නොදැක්ක වගේ යද්දි උන්දැට දුක හිතුනද මාධව දන්නෙ නෑ. සමහර විට සල්ලි ඉල්ලන්න ආවේ නැති නිසා සතුටු වෙන්නත් ඇති. කෝම උනත් ඒක ඒ කාලේි මාධවගේ ඇටිටියුඩ් එක. මනස. තමන්ගෙ සීයා හිගන තේ කඩයක් කරනවා කියන්න, කිව්වම පන්තියේ උං හිනා වෙයි. තාත්තටත් එක්ක... මාධව හිතුවෙ ඒමයි. ඒත් දැං දන්නවා. සීයා කඩේ කලේ නැත්තං, මාධවලගේ තාත්තා ඉගෙන ගත්තෙ කෝමයැ.? උන්දැගෙ කාසි වලට පින් සිද්ද වෙන්න අද මාධවත් ඉගෙන ගෙන. කරන රස්සාවෙන් තත්වය මනින්න බෑ. මාධව දැන් ඒක දන්නවා. හොරකං නොකර වංචා නොකර කරන අවංක රස්සාව උතුම්. මාධව දැන් ඒක දන්නවා. මාධව දන්නවා දැං දාඩිය මහන්සිය කියන දේ.. පොඩි කාලේ නොතේරුණාට.


අතුරු කතාවක් මේක. ක්‍රිකට් වලට මාධවලා පෙරේතයි. ඒත් සීයට ක්‍රිකට් තහනම්. ගෝන බරු කණ්ඩායම. ඒමයි සීයා මාධවලට කිව්වේ. කුඹුරේ ක්‍රිකට් ගහද්දිවත් උන්දැට ඉන්න බෑ. වේස පුතාල, තොපි බල්ලෝ කියල බැනල යන්නේ ඒ නිසයි. ඒ තරහ ක්‍රිකට් වලට නෙමෙයි. ක්‍රීඩකයින් මහ වගා පාලුවෝ නිසා මිසක් වෙන ලබ්බකට නෙමෙයි. සීයා වවන බව බෝග විනාශ වන නිසා.

උන් ඉක්මණින් වයසට ගියා තව තවත්. නමුත් ධෛර්ය එසේමයි. පෙර සේ කඩයට ගියා. තේ වත්තේ වැඩ ටික තනිවම සිදු කර ගත්තා. තේ දලු කැඩුවා. ගෝනියට දමා ෆැක්ටරි ලොරියට දීමට අරන් ගියා. වෙහෙස වූවා. විඩාව දැනෙන්න ඇති. එහෙයින් සමහර දින වලදී මාධවගේ උපකාරය පැතුවා. මාධව උපකාර කල දින වලදී ඔහු සතුටු වූ වාද කියන්න මාධව දන්නේ නෑ. නමුත් ඔහු ගිමන් හරිමින් දලු ගෝනිය කර තබා යන අයුරු දුටු විට මාධව ඔහුට අනුකම්පා කලා. ඔහු සිත් පිත් නැති අයෙක් සේ මාධව සමග ගනුදෙනු කල ඔහුත් මිනිසෙක්.

තමං කරපු තේ වගාව, කොහිල පාත්තිය, අර පුංචි කලුවර තේ කඩේ තරං සම්පත් උන්දැට වෙන නෑ වගේ මාධවට පෙනුනට උන්දැ තමන් හදා වඩා ගත්තු පුතාට ආදරේ කලා. නිහඩවම. ඒ තමයි සීයගෙ හැටි. මාධවගෙ තාත්ත සතියකට රට යද්දි වත්, මාධවගෙ ආත්තම්මා, සීයගෙ එකම අක්කණ්ඩි මිය පරලෝ යද්දි වත් වගේ වගක් නැතුව හිටිය උන්දැ හිත ඇතුලින් කදුලු හලන්නැති. සරම බැනියම ඇදපු ඒ පෞරුෂත්වය කවදාවත් සැලුනෙ නෑ. මරණය ළගදිවත්.

උන්දැගෙ මරණයත් උන්දැ තරම්ම සරලයි. එක රෑක අමාරු උනා. පපුව කෑක්කුමක් කිව්වා. මාධවලා උන්දැව අරං ගියා ගමේ රෝහලට. ගමෙං යැව්වා නගරෙට පහුවදා දවල් වෙලා. ඒ යද්දි ඇම්බියුලන්ස් එකේදි අන්තිම වචන ටික කොදුරලා තිබුනා "මගේ පුතා මං බලන්න එයි නේද?” ඒ කියලා ඇස් පියාගත්ත උන්දෑ ආයෙ කවදාවත් ඇස් ඇරියෙ නෑ.

කොකයි දසකැලුමයි නගරෙ ඉස්පිරිතාලෙට යද්දි සීයා ගිහිං. සුදු රෙදි කඩකින් උන්දැව පොරවලා තිබුනා. එදා ඉදන් සියලු දේ මාධවට අද වගෙ මතකයි. මල ගේ. මිනී පෙට්ටිය. ඒ ඇතුලෙ එදා වගේම "පර්සනැලිටිය" තියාගෙන වැතිරිලා සීයා ඉන්නවා. මාධවගේ තාත්තාගෙ ඇස් වලින් වැටුනු කදුලු. ඒ කදුලු වල තිබ්බ කතාව. සීයට අවසන් ගෞරව දක්වන්න ආව මහ සෙනග. පාංශ කූලය දෙන විට දසකැලුමාගේ දෑස් මෙන්ම මාධවගේද දෑස් කදුලින් තෙත් වී තිබුනු අයුරු. මාධව ඔහුට ආදරේ කලේ නෑ. උන්දැ ලෝබ කුණු සීයා. ඒත් ඒම උනා. මාධවගේ දෑස්ද තෙත් වී තිබුනා. සිත යටින් ඔහුට ආදරේ කල නිසාද? මල ගෙදර පිරෙන්න ඔහු හම්බකල සියලුම දේ පෙනෙනනට තිබුනා. මාධවට හුගක් දේ වැටහුනා.

ඔහු නොහිටින්න මාධව අද මෙතන නෑ. ඔහු දැමූ අත්තිවාරම මත සියලු දේ ගොඩ නැගුනා. ඒ තමයි සාර්ථක ජීවිතය. ඔහු මහා කල් පවතින සමාගම් ගොඩ නැගුවේ නෑ. නමුත් දුප්පත් ව්‍යවසායකයෙක්. ගොවියෙක්. කුඩා තේ වතු හිමියෙක්. ඔහු පුංචි මුදලකින් ජීවත් උනා. සරල චාම් අයෙක්. අවිවාහක වූ නමුත් දරුවෙක් අරන් හදා වඩාගෙන උගන්වා ඔහු යහපත් පුරවැසියෙක් බවට පත් කලා. අවසානය තෙක් ස්වාධීනව ජීවත් උනා.

මිය යන විට ඔහුට ඔහු ගැන ආඩම්බර විය හැකි පුද්ගලයෙක් උනා.


Comments

  1. හුගාක් කාලෙකින් හොඳ කතාවක් ..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා

      Delete

Post a Comment

Your Comments / ඔබේ ප්‍රතිචාර

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

school stories! පාසල් කතා! ලස්සනයි! සුන්දරයි!