අධික වර්ෂාවෙන් මිරීකී සීතලෙන් සීතලම වන සමයෙක ලියමි.......



ඇඟ සීතල කරවන් යන සුළග වැස්ස එක්ක එකට එකතු වෙලා අවට පරිසරය හුඟක් සීතල කරන මේ කාලේ මාධව එක පැත්තකින් නං ඇත්තටම ගොඩක් ආසයි!
වෙන මොනවත් නිසා නෙමෙයි මාධවට උක පුඩ දාගෙන හොඳට නිදා ගත්ත හැකි වන නිසා. කොහොම වෙතත් වැස්ස සමහරුන්ට නම් දැනටමත් පුදුමාකාර ලෙස කරදර කරලා ඉවරයි කියලා මාධව සැමදා රූපවාහිනී පුවත් අහන නිසාම දන්නවා. ඒ පැත්තනෙත් බලද්දි හරිම බේඳවාචකයක් කියලා කාට හරි කියන්න පුලුවන් කමක් නැත්තෙත් නෑ. කොහොම වෙතත් වැස්ස වැටෙන කාලෙට මාධවට තියන එකම ගැටලුව නං තමංගෙ රෙදි කෑලි ටික වේලගන්න විදිය තමයි ඉතිං.

වැස්ස එක්ක කාලය ගෙවද්දි අද දවසේදී, මාධව ඇඳට වෙලා කවදාවත් නිම නොවන විබාග වලින් තවත් එකකට මීටරේ පාදන අතරේ සිත විභාගෙන් ඈතට ගිහිං අතීතයට පියමං උනා. මේ කියන්න යන්නෙ එහෙව් කාලේ සිද්ද වෙච්ච කතාවක් එක්කම වර්ථමාන තත්වය පිලිබද සුවල්ප කතා ටිකකුත් දාලා මාධවගේ අලුත්ම කතාවක්. කියවන්නෝ කියවන බව මාධව දන්නවානේ දැන්!

කලින්ම කියන්න ඕනි මාධවත් ඕං තමංගෙ බ්ලොග් අඩවියට හැදුවා ඇන්ඩ්‍රොයිඩ වැඩසටහනක්! කැමැත්ත ඇත්තෝ මෙතනින් ගනිත්වා කියලා විතරයි කියන්න තියෙන්නේ! පහල තියනවා ඕං සබැදිය නොහොත් සිංහලෙන් කියනවනං ලින්ක් එක!

ඇන්ඩ්‍රොයිඩ වැඩසටහන - මාධවගේ කතාන්දර

ඔන්න කතාන්දරය එහෙනං!

අතීතයේ එක සිද්ධියක් තමා මාධව සුදීරයට නෙලපු හැටි! මේක මාධවලගෙ ඉස්කෝල කාලේ කතාවක්! නම කෙලින්ම දාන්නෙ සුධීරයා අදටත් මාධවගේ හොදම යාලුවෙක් නිසා! අදටත් මාධවලගේ ගෙදර යනවා එනවා, කරන කියන දේවල් මාධවටත් කතා කරලා කියලා සුධීරයට උදව්වක් ඕනි හැම වෙලේම මාධවටත් කියන, මාධවගෙත් කරදර වලදි ඇවිත් උදව් පදව් කරන මාධවලගේ ගෙවල් ලගම මිත්‍ර පරාණයක්.

ඉස්සර ඉස්කෝලෙ යන කාලේ මාධව දැන් වගේම තමා(මාධව හිතන හැටි! කාට හරි ඇනයක් උනානං කියපල්ලා!)! කාටවත් කරදරයක් නොවිච්ච සංසුන් කොලුවා! කොහොම වෙතත් සමහර විහිලු වලට මාධවයටත් මල නොපනිනවම නෙමෙයි! කොච්චර උනත් මාධව ඒවා ඉවසා දරාගෙන ඉන්න නං පුරුදු උනා ටික ටික ලොකු වෙද්දි! (පොඩි කාලේ නං දුවගෙන ගිහිං ගුරුවරුන්ගේ කනේ තිබ්බ එක ගැන දැන් මතක් වෙද්දිත් ලැජ්ජයි!)

කොහොම වෙතත් මේ කියන කාලේ තමයි මාධව 9 වසරට පාත් උනේ! චව්වා (චමුදිත - දැන් නං කොහේ ඉන්නවද මංදා! ඒ කාලේ ඌ දාගෙන ඉදපු කෙල්ල නං හම්බෙනවා! දැන් නං ඒකි හරි හැඩයි නොවැ! රාජ්‍ය සේවයේ බෝල කෙල්ලෙක් වෙලා! සුන්දරයි අප්පා!) මාධවගේ ඉස්සරහ දත කැඩුවෙ මෙන්න මේ කාලේ! දත් තිස් එක හමාර කියලා කාඩ් එකක් ගහලා තිබ්බ බක චින්තකගේ කාඩ් එක මාධවත් වැටුනේ මේ කාලේ! කොහොම වෙතත් 10 වසරෙදි මාධව හුටා වුනු නිසා (ගලාගෙ හුටපටේ!) ඒ නම ලොප් උනා! ඒත් චව්වා කඩපු දතේ ඉතිරි බාගේ  නං තාම කටේ තියනවා! දත පුරවගන්න කියලා හැමෝම කිව්වත් උනන්දුවක් නෑ ඒ ගැන මාධවට!

ඉතිං පදුරු තැලුවා ඇති! කතාව මේකයි! මාධවලගේ ගම දුප්පත් පුංචි එකක් කියලා මාධව කියලා තියනවනේ! හැම දුප්පත් ගමකම කෙලවරේ ඉතිං දන්නවනේ නේ! කරිඤ්ඤං එහෙම ඉතිං! (දැන් මේක කියවන කරිඤ්ඤං පෙරේත හැත්ත බුරුත පිටිං මාධවට මේල් එවන්න නං එපා!) ඉතිං නිට්ටඹුවක් තිබ්බ ඕං මාධවලගෙ පැත්තෙත්! කසිප්පු කාරයාගෙ නික් නේම් එක නිට්ටා! ඉතිං ඌ කසිප්පු පෙරන දිහා සහ උගේ ගෙදර තියන ඒරියා එක නිට්ටඹුව! ඔන්න ඔහොමයි මාධවලගෙ පුංචි ගම ළගින්ම නිට්ටඹුවක් තියෙන්නෙ! ලංකා සිතියමේ නං ඒ නිට්ටඹුව නෑ ඕං!

ඉස්සර හැන්දෑකොරේ ඔය නිට්ටඹුවට අල්ලිවත්තෙ වැඩ කරන කම්කරු ජනතාව පෙල ගැහෙන්නෙ පඩි වැඩි කරන ඉල්ලීම දිනා ගන්න නෙමෙයි! අමාරුවෙන් තේ වත්ත උදලු ගාලා දවසම කඹුරලා ගන්න තුට්ටු දෙක කසිප්පු වඩියට දිය කරන්න! කාළකණ්නි කමට බේත් නෑ කියනව වගේ මාධවලා හැම හවසම දකිනවා ඉතිං පෙරහැරේ යන කූමියෝ ටික වගේ කම්කරු ජනතාවත් මැයි රැලියෙ යන්නා වගේම ඇදෙන හැටි නිට්ටඹුවේ කසිප්පු තිප්පොලට.

ඔය තිප්පොලට පොලීසියෙන් පැන්නමත් හරි අපූරුයි නොවැ! මාධවලගේ ගෙවල් කැලෑව නිසා (දැන් නං පොඩි කොන්ක්‍රීට් පාරක් තිබුනත් ඒ කාලේ ප්‍රධාන පාරකට කියලා තිබ්බෙ පඩිපෙල් පේලියක් විතරයි!) හරි හමන් පාරවල් එහෙමට නැතත් කැලෑ අස්සෙන් හරීයට අඩි පාරවල් තිබුනා! පොලීසිය පැන්නත් අහුවෙන්නෙ බූලි ටික විතරයි ඉතිං! මොකද එක්කො පොලීසියම කතා කරලා අද එනෝ කියලා පණිවිඩේ එවනකොට කට්ටිය කලින්ම මාරු!! නැත්තං පාරවල් නොදන්නා කම නිසා පොලීසිය පරක්කු වෙද්දි බීමත්තු ටික මාරු! කොහොම වෙතත් ඔය දෙකෙන් එකක් නිසා ඔය රා මණ්ඩිය චිරාත් කාලයක් ඇත්තට පැවතියා! පොලීසිය පැන්නම අපේ සූර් මහත්තුරු කඩි රැල වාගේ ඇවිස්සිලා එහෙට මෙහෙට දුවන හැටි අලංකාරයි! අපූරුයි! දැන් නං රා පොල නැති නිසා මාධවලට සහනයක්! හැබැයි තිබ්බ කාලේ උනත් මාධවලට කරදර වෙලා නෑ ඇත්තටම!

ඉතිං සුධීරගේ කතාවට ගියොත් ආයෙම, ඔන්න ඔය නිට්ටට ඉන්නවා පට්ට දුවල ටිකක්! දැන් නං උං බැඳලා කරලා ළමයි තනාලා බිරින්දෑවරු විදියට ජීවිත ගතකරන නිසා දැන් දුවලා කියන්න බෑ! දුවලා හෝ හෙමින් ගිහිල්ල හරි දැන් ඔයින් ඉන්න බාලම කෙලීගෙ නම කියලා සුධීරයා මාධවට විහිලු කරනවා! ඕක තමයි සුදීරයට අම්බානක කන්න උන කේස් එක! සුදීරයත් මාධවලගේ ගෙවල් ළග නිසාම  මිනිහා දන්නවා රා කතා සේරම!

ඉතිං ඔන්න ඔයින් ඔහොම දවසක් සුධීරයා මාධවට යකා නගින්නම විහිලු කලා! කට්ටියම ඉස්සරහ! අද නම් ඒක මාධවට මතක් වෙද්දිත් හිනා යන දෙයක් උනාට ඇත්තටම එදා ඒක එහෙම උනේ නෑ! පැනපු ගමන් සුධීරයගෙ සුදු ෂර්ට් එකේ උඩ බොත්තං ගැලවෙන්නම ළගට ඇදල ගත්තු මාධව සුධිරයට දිඩි දිඩි ගාලා නෙලනවා විතරයි මතක. මාධව ඇස් දෙකත් පියාගෙනම වැඩේ දීලා! සුධීරගෙ මුෂ්ටි පාරවල් දෙක තුනක් මාධවගෙත් එහෙන් මෙහෙන් දැවටෙනවා මාධවට මතකයි! ඒත් කේන්තිය සහ මාධව සුධීරට වඩා උස වීම නිසා වැඩි හානි සුධීරයට කියලා හැමෝටම තේරුණා. කොහොම හරි වැඩි වෙලාවක් ගියේ නෑ! වලිය ඉවරයි! සුධීරයව බිත්තියක මුල්ලට හිර කරගෙන තමයි මාධව ඌට නෙලලා තියෙන්නෙ! ඉතිං මාධවට දුකයි මොනා උනත්! මාධවට මතකයි! තමන්ම සුධීරයව කැන්ටිමට එක්කං ගිහිං කටු දෙකක් අරං දීලා ආයෙම යාලු උන විදිය!

වැස්සත් එක්ක සමහර මිනිස්සුන්ගෙ ගුණ යහපත් කම් හේදිලා යනවද කියලා මාධවට හිතෙනවා! දැන් නං මාධවට ලැජ්ජත් හිතෙනවා වෙලාවකට! තමන් වැදගත් කියලා හිතන් ඇසුරු කරපු කියපු සමහර නෝනලා මහත්තුරු ගැන මතක් වෙද්දිත්! මුලු සමාජයම මිනිස්සුන්ව මනින්නෙ බාහිර පෙනුමෙන් කිනය එක මාධව දන්නවා! මාධව ඒක අත්විඳිනවා! ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳලා බාටා කෑලි දෙකක් දාගෙන ටවුමට බහින මාධව දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති නෝනලා මහත්තුරු, මුදලාලිලා මාධව ටයි දාලා ෆුල් සූට් වලින් බහිද්දි මාර බැලිල්ලක් බලන්නේ රස්තියාදුකාරයෙක් එක පාරට මහත්තයෙක් උන හැටි අරුමයකි කියලා වෙන්නැති! ටී ෂර්ට් එකට නැති හිනාව ටයි එකට, ෂර්ට් එකට තියෙන්නෙ ඇයි කියලා මාධවට හිතාගන්න බෑ! ඇඳුමකින්, පෙනුමෙන් මිනිහෙක්ව මනින්න තරම් සමාජය පහතට වැටිලා!

කොච්චර උසස් ඇඳුම් ඇන්දත් ඒ හැම මිනිහගෙම නිරුවත ඒ ඇඳුම් ඇතුලෙ තියනවා! කවදාවත් තමන් කරන්නා වූ පාදඩ වැඩ ඇඳුමෙන් වහගෙන යන්න බෑ! තමන් නැති තැන හරි ඒ ගැන මිනිස්සු කතා වෙනවා! ලැජ්ජ කරනවා! පිලිකුල් කරනවා! මාධවටත් එහෙමයි! මාධවත් දැන් සමහර මිනිස්සුන්ව තම ජීවිතෙන් ඈත් කරන්නේ එයාලගෙ දුරකථන ඇමතුමකටවත් උත්තර දෙන්න හිතෙන්නේ නැති තරම්ම පිළිකුල් වෙලා නිසා! ඒ මිනිස්සු උදේ හවා බණ ඇහැව්වත්, ගේ පුරාම පිරිත් දාගෙන හිටියත් හිත ඇතුලේ තියන පාපකාරී සිතුවිලි අයින් වෙන්නේ නැත්තං, කරන පාපකාරී වැඩ නවත්තන්නෙ නැතුව ඒවා හරියි කියලා පම්පෝරි ගහනවනං, එයාල වගේ අය ආශ්‍රය කරන්න මාධවට හිතක් නෑ! ඒ දේ, ඒ වැරැද්ද ආයෙ මාධව කරන එකකුත් නෑ! සිදු වෙන හැම දේකින්ම මාධව යම් කිසි පාඩමක් ඉගෙන ගන්නවා! හැම නරක සිදුවීමකින්ම ගන්න පුලුවන් හොඳ දේවල් හැම එකක්ම අරන් ඒ හැම දෙයක්ම ජීවිතේට ලොකු පාඩමක් කරගන්න මාධව උත්සහ කරනවා!

කොහොම වෙතත් මේ ගෙවෙන කාලය මාධවට ගොඩක් කරදරකාරී එකක් උනත් මාධව ඒ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න පටන් අරන්! කෙනෙක්ට බනින්න පුලුවන් උපරිම කුණුහරුපෙන් බැන්නත් මාධව ඒවට, ඒ කෙනාට ඒ භාෂාවෙන්ම උත්තර දීලා ඒ බනින්නාගේ ගානටම වැටෙන්න යන්නෙ නෑ! ඒ දේ කරන්න පුලුවන් ඉවසීම මාධවට තියනවා කියලා මාධව හිතනවා! විශ්වාස කරනවා!

ලිපියේ අවසානයට පුංචි දෙයක් ලියන්න හිතුනා මාධවට,
වැස්සට තෙමෙනකොට මිනිස්සුන්ගෙ හොඳ ගති ඉතිරි වෙලා නරක ගතිගුණ ඉවත් වෙලා යනවනං, හරියට මැණික් ගරණකොට බොරලු ඉවත් වෙනවා වගේ?

එහෙම වෙන්නෙ නැති නිසයි මාධවට හිතෙන්නෙ, වැස්සට තෙමෙන හැම මනුස්සයෙක්ම අන්තිමට නවතින්නෙ නරකින් පිරුණු අමනුස්සයෙක් විදියටයි කියලා!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හප්පේ සෑහෙන්න හිතන්න දේවල් ටිකක් තියෙන ලිපියක්,//එහෙම වෙන්නෙ නැති නිසයි මාධවට හිතෙන්නෙ, වැස්සට තෙමෙන හැම මනුස්සයෙක්ම අන්තිමට නවතින්නෙ නරකින් පිරුණු අමනුස්සයෙක් විදියටයි කියලා!//
    ඒ අස්සේ චන්ඩි වැඩත් කරලා, හෙක් හෙක්. ඔහොම යමුකෝ. ජය.

    ReplyDelete
Previous Post Next Post

Contact Form