සරුංගල් යැවූ මාධව සහ තවත් කතාන්දර




ඒ කලාව සැමටම බැරිය! මේ සරුංගල් යැවීම ගෝල්ෆේස් බීච් එකේ අපේ අලුත් පරම්පරාව යවන්නා වූ සරුංගල් යැවීමට එහා ගිය දෙයක්ය.



 ඒවා සිහිකිරීම සිතේ සැහැල්ලුව මෙන්ම දුකක්ද ඇති කෙරෙනුයේ නිරායාසයෙන්මය. කුමක් නිසාද යත් මේ ලියවෙනුයේ මාධවගේ ළමා කාලයේ කතාන්දරයක්ය. මේ කියන්නා වූ කාලය මීට වසර 15කටත් පෙර අතීතයේ ආවර්ජනයක්ය! දැන් ඉන්නා උංගේ විකාර ළමා(නොවන) කාලයන්ට වඩා මාධවලා සැබෑ ළමා කාලය රස වින්දේය! දැන් ළමුන්ට ළමාකාලය නැත! එය අම්මලාගේ කාළකණ්නිකමට යටපත් වී ඇත............

ඉතිං මිත්‍රවරුනි මේ කියන්නා වූ කාලයේ මාධවයා බච්චාය! එනම් ළමයාය! දැන් ඉන්න ළමයා යැයි කියාගන්නා ළමයින්ට වඩා මේ මාධවලාගේ ළමා වර්ශන් එක ගුණ යහපත් කමින් පිරිලාය! සිරාය! දැන් නම් මාධවලාගේ ගන්න දෙයක් නැතත් එකල මාධවලා උතුම් ළමා පරම්පරාවක්ය! අද උං හතේ කණිසමේ අමා බලද්දී එදා මාධවලා බැලුවේ හවස යන දොස්තර හොඳ හිත කාටූනය පමණක්ය. අද හය ශ්‍රේණියේ උං ගැබ් ගනිද්දී (ගැබ් ගන්නේ කොහොමද? ) මාධවලා එහෙම දේවල් ගැන අසාවත් නැත! සිරාම කතාව ඒකය! එකල මාධවලාගේ මුවේ තිබුනු “ මේ ගහේ බොහෝ “ ගීතය වෙනුවට අද අල්ලපු ගෙදර අවුරුදු 4ක් නැති පුංචි එකා කියන්නෙ සුපිරි ඉස්ටාර් ශිහාන්ගේ “ මේ ඇස් දිහා බලාන මයෙ රත්තරං “ ගීත ඛණ්ඩයක්ය! අද අවුරුදු 10ක් පිරුණු තැන ළමයාගේ අතේ තියෙන්නෙ ජංගමයක්ය! නැත්තං පරිඝණකයක්ය! ප්ලේ ස්ටේෂන් එකක්ය! ඒවා ගැන හිතලාවත් නැති එකල ඒ වයසේදී දෙසැම්බර් මාසයේදී ගමේ මාධවලාගේ අතේ එක් දෙයක් නොවරදවා තිබුනේය! එයට “සරුංගලය “ කියා කියන්නේය!

සරුංගල් යැවීමට පෙර සරුංගල් හැදිය යුතුය! එය කලාවකි! මාධවලාගේ ගමේ සරුංගල් වල ඉරටු වලින් තැනූ සැකිල්ල මත සව් කඩදාසි ඇලවීමෙන් සරුංගලය ලස්සන වන්නේය! ගමේ සුළග, සැමදේම උඩට අරං යන්න හදන ගෝල්ෆේස් හුළග මෙන් චන්ඩ නැත. සියුම්ව ගලාගෙන ඇවිත් සැම සිත් නිවා පහන් කර යන්නේය. ඉතිං මේ ගම්මානයේ සුළගට ගැලපෙන්න සරුංගල් නිර්මාණය විය යුතුය. එය සැබැ සරුංගල් නිර්මාණකරුගේ දක්ෂතාව පෙන්වන්නේය. සරුංගල් යැවීමටත් වඩා උතුම් විනෝදාත්මක රාජකාරිය වනුයේ සරුංගල් සැදීම බලා සිටීම! නූල් හා ඉරටු කෝටු ගැට ගැසී විජ්ජා කරුවන් ලෙස මාධවලා ඉදිරියේ නිමවෙන සැකිල්ල, සැකිල්ල මත සව් කරදාසි ඇලවී සරුංගලය වර්ණවත් කරන්නා විට ඉවසුම් නැතිව බලා සිටීම හා අවසාන රැල්ලද අලවා නිම වූ සැනින් හැඩ බැලීම ආදී කටයුතු එමටය!

ඉතිං මාධවලාගේ ගමේ මේ කියනා ආකාරයේ සරුංගල් සාදන වැඩකරුවන් කීපදෙනෙක් සිටියෝය. අංක එක වූයේ බූමිතෙල් බී අකාලයේ පරලෝ බලා ගිය නාලකයාය! හෙතෙම සාදන සරුංගල් ගැන මාධව එකල පැහැදිලි ඊරිසියාවකින් සිටියේය. මක් නිසාද යත් හෙතෙම තැනූ සරුංගලය පොළවට ලම්භකව එක එල්ලේ ඉහල යැවිය හැකි නිසාය. මාධවලා හැදූ සරුංගල් පොළවට ආනතිය අංශක 60ක් විතර ඇල වී යන නමුත් හෙතෙම සිය සරුංගලය එක එල්ලේම අංශක 90කින් ඉහල යවන්නේය.කෙසේ වුවත් කිසි දිනක මාධවට ඔහුගෙන් සරුංගලයක් නිර්මාණය කර ගැනීමට වරමක් නම් නොලැබුනේය.

අංක දෙක මාධවගේ මාමා ය! හෙතෙමද දක්ෂ වැඩකරුවෙක්ය! මාධවගේ, කොකා කුරුල්ලාගේ, බුදු අයියා හෙවත් දසකැලුමාගේ (පසු කලෙක දස කැලුමා සිය සරුංගල් නිර්මාණය තෙමේම කර ගත්තේය!) සරුංගල් නිර්මාණයට හෙතෙම කැප වී සිටියේය. දැනුදු පොඩි උංට තෙමේ පෙර සේම සරුංගල් තනා දෙන්නේය!! සෙව්වන්දියගේ මල්ලියාටද (සෙව්වන්දිගේ සහෝදරයා හරි! නැත්තං කෙල්ලොන්ට වෙන මොන මල්ලිලාද?? ) එකක් තනා දුන් බව මාධවට ආරංචි විය! හෙතෙම හැදූ සරුංගල් ද ඉතා සුපිරි ලෙස අහස් කුස සිසාරා ලෙල දුන්නේය!

තෙවැනියා නාලකගේ මිතුරු ඉන්දිකයාය! හෙතෙමෙද නාලකට පෙර නාලකයා ගිය මගම තෝරාගෙන මෙලොවින් චුත විය! පොරගේ සරුංගල් මාධවලාගේ ඒවා මෙන් නොව අති විශාලය. නමුත් අහස් කුස බබලවා සිටියේය!

හතරවැනියා දසකැලුමාය! තෙමේද වයසින් වැඩී එද්දී සිය සරුංගල් සියතින්ම නිමවා ගත්තේය! මාලුවා හැඩය තැනීමට හෙතෙම දක්ෂයාය!!

මාධව හැකිවූයේ සරුංගල් යැවීම පමණි! නිර්මාණය කිරීම අරහංය!

සරුංගල් නිමවීම කලාවක් බව යලිදු කියන්නේ හේතු ගණනක් නිසාය!!

අංක එක වනුයේ සමබරතාව රැකෙන සේ සරුංගලය නිම කිරීමය! එසේ  නිමවීමට බැරි වුවහොත් සරුංගලය අහස් කුස සිසාරා යනු වෙනුවට එකතැන කූරියා(මඳක් ඉහල නැග වටේට කැරකි කැරකි තිබීම) ගසනු ඇත!

අංක දෙක සැහැල්ලුව ආරක්ෂා කල යුතුය! නැත්තං ගමේ හුළගට සරුංගල් වානාය! කුමක් නිසාද යත් කඳු වලින් වටවූ ගමේ සුළග ගෝල‍්ෆේස් සුළග මෙන් සියලු දේ උස්සා උඩ යවන්නේ නැති නිසාය!

අංක තුන වනුයේ වර්ණ සංයෝජනය කිරීමය! සව් කඩදාසි වලින් විවිධ වර්ණ රටා මැවීමට එකල මාධවලා තරඟයට මෙන් උත්සහ කලෝය! එසේ හෙයින් ඉතා වර්ණවත් සරුංගල් අහස් තලයේ පා කල බැව් මාධවලාට මතකය!

මාධවලා එකල විවිධ හැඩ ඇති සරුංගල් යැව්වෝය! ප්‍රධාන එක “නයා“ ය! එය නයි පෙනය හැඩේට සැකිල්ලක් ඉරටු කෝටු වලින් තනා නයි වලිගය නිරූපණය වීමට ටිෂූ කොල අලවා ලස්සන වන්නේය! දෙවැන්න වවුලාය!! එය රොම්බසයක් වැනිය!  තෙවැන්න මාලුවාය! දසකැලුමා මාලුවා තැනීමට දක්ෂයාය! මේ ආකාරයේ සැහැල්ලු නිර්මාණාත්මක සරුංගල් යැවීමට මාධවලාට එකල වරම් තිබුනේය!




මාධවලා සරුංගල් යැවීමට තෝරාගෙන තිබුනේ “කුරුඳුගොල්ල“ නම් වූ මාධවලාගේ අල්ලපු ගමේ පිහිටි පීල්ල අසල තේවත්තක්ය. පුංචි කදු ගැටයක් වූ තේවත්ත මුදුනේ අති සුවිසාල මාර ගස් රාජයෙක් සිටියේය! අමතරව එහි පුංචි ගල් තලාවක් විය! මාර ගස පිටුපසින් තේ වත්ත පිටුපස කෙලවර කැලෑ කුට්ටිය දිස් විය! ඊටත් පිටුපසින් ඈත නිල්වන් කදු පන්තිය ලෙල දුන්නේය! සුවිසල් වෟක්ෂ තෙමේ මාධවලාට ලබාදෙන සුළගින් මාධවලා ඇති පදම් සරුංගල් යැව්වෝය! සුළග එන විටම ඔසවා අහසට විසි කරන්නා වූ සරුංගලය මඳක් ඉහල නැගුනු පසු නූල් දිදී සරුංගලය ඈතට යැවීම ඇත්තෙන්ම ප්‍රීතිය උපදවන්නකි! අනෙකාගේ සරුංගලය පරදවා ඉහල නැගීමට මාධවලාට තිබු උද්යෝගයම සරුංගලයටත් එකල තිබෙන්නට ඇත. ගෝල්ෆේස් එකේ තැනිතලා‍වේ යවන සරුංගලයට වඩා ගමේ ගස් ගල් උඩින් දුව පනිමින් විනෝදෙන් හිරු බසින සන්ධ්‍යාවේ සරුංගල් යැවීම අතිශයින් ප්‍රීතිජනකය! ගාලු පාරේ ඇහෙන හෝන් ශබ්දය සහ වෙරලේ බැසයන චන්ඩ හිරුගේ රැස් වෙනුවට ගමේ තිබුනේ සන්ධ්‍යා නිවෙස් බලා ඇදෙන කුරුලු රංචු අහසේ මැවූ රටාවන්ය! රන්වන් වලාකුලු ය! සෞම්‍ය හිරු කිරණක්ය! මද සුළගක්ය! මියුරු කුරුලු ගී නාදයක්ය! එය එලෙසම විඳගන්නට ලැබීම මාධවට අදත් ආඩම්බරයෙන් මතක් කරන්න පුලුවන් දෙයක්ය!

ඉතිං මාධවලාගේ මුලු මහත් දෙසැම්බර් මාසයම වැය වනුයේ මේ ආකාරයට සරුංගල් යැවීමටය! නිවාඩුව පටන් ගැනීමට පෙරම සරුංගල් තනා නිම කරන්නා වූ මාධවලා සරුංගල් යැවීමේදී වඩාත්ම දුක් වන්නේ නූල කඩාගෙන යෑම නිසා සරුංගලය අහිමි වී යාමය!! සිය සරුංගලයට සබැඳි වූ නූල් පට සුළගේ වේගයට දරාගත නොහී කැඩී යාම නිසා මාධවට සරුංගල් 10කට අධික ප්‍රමාණයක් අහිමි වී ඇත! එලෙස ආරම්භ වූ සරුංගල් යැවීම නිමා වන්නේ පාසල් සමය යලි ආරම්භ වූ පසුය! ඇතැම් දිනවල පාසල් නිම වී නිවෙස් බලා එන මාධවලා දහවල කෑවා නොකෑවායින් ලහි ලහියේ ලක ලෑස්ති වී මාමාද කැටුව සරුංගල් අරින්න යන්නෝය! පාසල් කාලයේ කෙසේ නමුත් දෙසැම්බර් නිවාඩු කාලයේ සෑම දිනකම නම් මාධවලා සවස 2ට පමණ පටන් ගෙන සවස 5 පමණ වන තෙක් සරුංගල් යැවීම එකල ගමේ සුපුරුදු දසුනකි!

එලෙස ගතවූ කාලය ක්‍රමයෙන් මාධවලාව ළමා කාලයෙන් චණ්ඩ වූ යොවුන් වියට ඇද දැම්මේය! දැන් මාධවලා නාකි මිනිස්සුය! (24 යි හොදේ!) . ගමේ හුළගේ දැවටෙමින් එකිනේකා සමග මිතුදම් බෙදාගනිමින්, සතුටු වෙමින් රණ්ඩු වෙමින් වාද වෙමින් සරුංගල් යැවූ ළමාකාලයේ සිදුවීම් එහෙමම අවසන් විය! එකල කිසි බරක් පතලක් නොදැන සැහැල්ලුවෙන් ගෙවූ ජීවිතය නිම වී ඇත! දැන් ජීවිතයේ අරක්ගෙන ඇත්තේ ජීවිතයේ කටුක බව පමණක්ය! එහෙත් සරුංගල් අත්දැකීම් සහා ළමා විය පිළිබඳ මතකය මියෙනතෙක්ම මාධවගේ සිත්හි රැඳී පවතිනු ඇත. ඒ අසිරිමත් ළමා කාලය දැන් ආයෙමත් එන්නේ නැත! ඒ වගේම දැන් ඉන්න උංට කොහොමත් එහෙම කාලයක් නැත! ඉතිං මේ කියන්නට යන්නේ ඒ අනික් කතාන්දර ටිකය! දැන් උංට නැති කතාන්දර ටිකය! කෙටියෙන්ය!

මාධව පසුගිය දිනෙක නාන්න ගියේය! මාධව ගෙදර බාත්රූම් එකෙන් නාන්නේ වැස්ස දවසට පමණක්ය! අනික් සැමදාම කුරුඳුගොල්ල පීල්ලෙන්ය! ඉතිං හිටි හැටියේ එදා එහිදී  මාධවට සිය අතීතයේ කෙලි මතක් විය! එදා මාධවලාට සෙවන දුන් මහා මාර වෘක්ෂ රාජයා දැන් නැත! ඔවුන් ඔහුව නිර්දය ලෙස කෑලි කෑලි කර දැම්මේය! සරුංගල් යැවූ පුංචි කැලෑ කුට්ටියක්ව තිව්නු තේ කෑල්ලේ පහල කෙලවර වසා ගත් ගස් කීපය දැන් නැත! මාධවලා එකල සරුංගල් යවා විනෝද වූ ස්ථානයේ අද නිවාස කීපයක් ඉදි වී ඇත! තවදුරටත් එතන තේ කෑල්ල පමණක්මය! එදා මාධවලාගේ ජීවිතයේ නොමැකෙන මතක සටහන් තිබුනු එහි දැන් ජීවයක් නැති සේය!

ඉතිං ......................... තවත් මොන සරුංගල්දැයි මාධවට හිතුනේය!




එකල සරුංගල් යැවූ ස්ථානය අද! ඈතින් පේන කඳු වලින් එහා දුර ඈත කොළඹ නං වූ නගරය පිහිටා ඇත!


 කලින් කතාවක කියූ “මල්කොල්ලාද“ එදා මාධව සමඟ සිටියේය! මාධව උගෙන් පැනයක් ඇසුවේය!}

“සරුංගල් ඇරලා තියනවද?“

උගෙන් උත්තරයක් ලැබුනේය!

“නෑ!“,

ඉතින් මාධව ඌට දිග කතාන්දරයක් කිව්වේය! මාධවලා සරුංගල් සැදූ සැටි, සරුංගල් යැවූ සැටි, ඒ ජීවිතය උඹලාට(වර්තමාන පොඩි උංට) නැතිවූයේ ඇයි?? හැම දෙයක්ම! ඌ එක සිතින් පිළිගත්තේය! උංගේ ළමාකාලය කාබාසිනියා වී ඇත!

මාධව කලින් කොළඹ ගැන ලියූ ලිපියේ මෙහෙම කිව්වේය!

“නගරයේ සිසුවාට ජීවිතයේ ලස්සන විදින්න ගොඩක් ඉඩ නැතිවේවි! ගමෙන් උඩට ගිය එකාට තරම්!“

ඒත් මාධව දැන් ඒක වෙනස් කරනු ඇත!! ඒ මෙන්න මෙහෙමය!

“නගරයේ සිසුවාට ජීවිතයේ ලස්සන විදින්න ගොඩක් ඉඩ නැතිවේවි! ගමේ ඉන්න එකාටත් ඉක්මණටම ඒකම වේවි! “

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. වැඩක් නැ කියලා සහෝ. කතාව කියවනකොට මමත් ආයේ පොඩි කාලෙට ගියා. මට සරුංගල් හදන්න පුළුවන් උනාට යවන්න ඕන කරන ඉවසීම කවදාවත් තිබුනේ නෑ. දැන් පොඩි උන්ගේ ළමා කාලේ කන්නේ දෙමවුපියෝයි සමාජයයි දෙකම. මගේ පොඩි එකාට අවුරුදු දෙකයි උට මඩ වලවල් වතුර වලවල් පෙන්න බැ පැනලා නටනවා. හැබැයි අපේ ගෙදර උන්දැයි නන්දම්මයි හැම වෙලාවේම ඌ ගේ ඇතුලේ දාගෙන වහගෙන ඉන්නේ හේතුව විසබීජ. මම ගෙදර හිටියොත් විතරක් උට කැමති දෙයක් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හම්! අද ළමයින්ට නිදහස නෑ සහෝ! තරඝයට අහු වෙලා! අන්තිමට ඉතිරි වෙන්නෙ ළමා කාළය නිකං නාස්ති උන රොඩු ගොඩක් වෙච්ච හැඟීම් නැති තරුණයෙක්!

      Delete
  2. සරුංගල් නං අනන්තවත් යවන්න හදන්න ඇති. අපේ පැත්තෙත් එකෙක් හිටිය අංශක 90ට කිට්ටුව සරුංගල් හදන. දැන් ඉන්න ළමය්න්ට සරුංගල් යවන්න තියා කෑමවේල කන්න වෙලාවක් නෑ.

    ReplyDelete
Previous Post Next Post

Contact Form