විට්ටාගෙ බස් එකේ කතා...............

මාධවට කීමට ඇති කතා බොහෝය.



 ගිය සතියේ ඉරිදා පංති ගොස් ආපසු ඒමේදී පැමිණියේ විට්ටාගේ බසයේ නිසා යලි පරණ මතක සටහන් කීපයක් අලුත් විය. වෙනදාට එන්නේ ක්ලැසික් ලේලන්ඩ් එකේය. මෙදින කලින් ක්ලාස් නිම වීම නිසා පැමිණියේ විට්ටා රියදුරු පදවිය උසුලන සීටීබී බස් එකේය. ඉතිං විට්ටාගේ බසය හා සබැඳුනු ඒ කතා ගැන අපි කුමක් කරමුද? එහෙයින් මෙවර මාධවගේ කතා තුලින් විට්ටාගේ බස් එකේ කතා කියන්නෙමු.

මේ බසය රජයට අයත් එකකි. පට්ට සෙටප් එකක් ඇත. පෙන් එකක් ගැහීමටද පුලුවන් එකකි. සවුන්ඩ් සුපිරිය. සිංදුත් උපරිමේට තිබේ. බසය ටාටා කට්ටකි. හොඳවයින් වාර්ථා ගොඩක් මේ බසය සතුව ඇත. ඒ ගැනයි මේ අද කතා කරන්නට හදන්නේ! නිතර දඩ කන්නේය. මාධව මේ බසයේ හා හා පුරා කියා යාමට පටන් ගත්තේ එක්තරා දුරකථන සමාගමක රැකියා කරන කාලයේය. ඒ දුරකථන සමාගම දැන් රටේ ලොකුම කොම්ටලයක් වී ඇත! දන්නෝ දනිති! ඉතිං මේ කියන කාලේදී මේ බසයේ හැමදාම සිටියේ එකම රියදුරුය! ඌ “විට්ටා“ ය! මේ රියදුරුට විට්ටා කියන්නේ ඇයි දැයි මාධවලා නොදනී. එහෙත් සැවොම විට්ටා යැයි කී සැනින් විට්ටා නොදනිතත් බසය ගැන දනී.

මේ කියන රියදුරු මහතාට විට්ටා යනුවෙන් පවසන්නේ ඇයි දැයි ලෝක ගැටලුවකි. විට්ටච්චි විට්ටා වූවාදැයි සමහරු සැක පළ කරති. කුකුළා නම් කීවේ මේකා කන විට කන්දරාවට මේ නම වැටී ඇති බවයි. ඒ සම්බන්ධ කතා එමට තිබේ!

හැමදාම යන්නෝ රැසක් සිටිති. ඒ නිර්භීත පිරිසකි. පළමු වර යන්නා නිර්භිත නොවේ නම් නැවත ඒ බසයට ගොඩ නොවේ. විට්ටාට ටාටා එකක් ලබා දී ඇත්තේ මගියන්ගේ පෙර පිනට විය යුතුය. කඳු වල හුච හුච ගාමින් ගාටන ටාටා කට්ට වෙනුවට රක්ත වර්ණ ලේලන්ඩ් රාජයෙක් ලැබුනා නම් විට්ටා මාධවලාගේ ටවුමේ සිට නුවරට යන්නේ මිනිත්තු හතලිස් පහෙන් හෝ ඊට නොඅඩු කාලයකින් බවට නොපරදින ඔට්ටු දැමිය හැකිය. දැනට ඒ ගමන උදේට යන්නේ කන්තලේ බස් එක පමණි.

මේ බසය උදෑසන එන්නේ කරවනැල්ලේ සිටය. කරවනැල්ලේ සිට මහනුවර බලා යන බසය මාධවලාගේ ටවුම හරහාද යන්නේ ඇර දමාගෙනය.  කිසිදු පාසල් ළමයෙක් මඟ නොදා ආවත් විට්ටා කරවනැල්ලේ සිට පැය එකයි කාලෙන් මාධවලාගේ ටවුමේය! ඉන්පසු උදේට පැය එක හමාරෙන් නුවරට ඇරලා යන්නේය! ඇතැම් විට වෙනත් බස් රථ වලටද තියාගෙනම ඇරලා යන්නේය!

මෙම බස් රථයේ සැටි දන්නා මගියෝ අසුන් ගැනිමට පැකිලෙන්නෝය. වම් පස අසුන් ගන්නා මගියා නුවරට ලඟා වෙද්දි දකුණු පස අසුනෙන් නැඟිටීම සාමාන්‍ය දසුනකි. වංගු ගන්නා විට බසයේ සිටගෙන සිටින සියලු මගියෝ ශුන්‍ය ගුරුත්වය මේ යැයි පසක් කර ගන්නෝය. අසුනේ සිටින මගියෝ වංගුවත් සමගට බිමට ඇද වැටීමේ අවස්ථා එමටය. මසකට වරක් බසයට අලුත් දුනු දමන බවත් එයට විට්ටාගේ පති පතින් කීයක්දෝ කපා ගන්නා බවත් මාධවට කීවේ ඩිපෝවේ කසුනා විසිනි.එය අමුම අමු ඇත්තකි!

උදේ නුවරට ගොස් ආපසු දවල්  12ට නුවරින් එන්නේය. පේරාදෙණියට එනකල් කොටන්නේය. පේරදෙණියේ ටවුමේ සිට සරසවියේ අක්බාර් හෝල් ළගට එන තෙක් 30 ට එන්නේය. අක්බාර් බැරියර පැන්න ගමන් 120ටම අරින්නේය. ඉන් පසු මාධවලා දකින දකින අත වමනේ කරන ස්ත්‍රී පුරුවැසියෝය. කුඩා ළමුන්ය. සියලු වමනේ ධාරා වේගයෙන් පිටුපසට ඇදී යන්නේය. ඇතැම් විට කවුලු කරා යා ගත නොහැකි වූ පුරවැසි කාන්තාවෝ බසයෙ තුලම වමනේ කරන්නේය. ඒ අතර බසයේ ඇතුලේ තවදුරටත් සිටින්නේ එල්ලී සිටින මගියෝය. මේ බසයේදී ජැක් ගැහීම අමුතුවෙන් කල යුතු නැත. විට්ටාගේ නල්ල මලේ ඇරිල්ලට සියලු අංගෝපාංග එකට කැලතී සමීප වී යන්නේය. වංගුවක් වංගුවක් පාසාම සියලු වල් නාකියෝ සහ ජැක් කොල්ලෝ විට්ටාට පිං දෙන්නෝය. පීඩිත පංතියේ කෙල්ලෝ විට්ටාගේ සහ ජැක් සීයලාගේ පතුරු අරින්නීය.
ලක්මාලි සහ දීපිකා දෙකටම ඇරගෙනම නුවරට යෑමට ඇතැම් විට විට්ටා කැමැතිය. මේ දෙදෙනාම විට්ටාට පෙර එන දෙකක්ය. දීපිකා නුවර යන්නේ නැත. යන්නේ මඟ ටවුමකටය.  මේ දෙකම බස්ය. විට්ටා මේ දෙකටම හිටු කියලා ඇරලා නුවරට යන්නේය. “ඕකට වෙලාවක් නෑනේ මල්ලි “ යැයි මාධවට කීවේ ලක්මාලියේ කොන්දාය. ඒ දිනක් මාධව ලක්මාලියේ සැපට හාන්සි වී නුවර බලා ඇදෙද්දී විට්ටා කෙලගෙන ඇවිත් ලක්මාලිය ඕව ටේක් කරගෙන වාෂ්ප වූ විටය. කතාවට කියන්නෝ කියන්නේ විට්ටාට ටයිම් දී ඇත්තේ අනික් ඒවාගේ වේලාවට වඩා අඩුවෙන් බවය.

තව දිනක විට්ටා ඕෆ් රෝඩ් චාරිකාවක් ගියේය. එදා මාධව සමඟ කුකුලාද සිටියේය. කසුනාද සිටියේය. අනුරාධා අක්කාද හිටියේය. සුභාෂිණී ස්වීට් ද සිටියේය. තව උං හිටියේය.රේස් එකට හේතු දෙකකි. එදා හවස ඩිපෝවෙන් විට්ටාගේ දවසේ අවසාන නැවතුම වන කරවනැල්ලේ නොව එතනින් එහා කොළඹටම ඇද දැම්මේය.  එය එක හේතුවකි. කරුමෙටම ඒ සී එකකුත් ඒ වෙලාවටම පාරට දැම්මේය. ඒ අනෙක් හේතුවයි. දැන් රේස් එකක්ය. විට්ටා පාර දෙපස කානු පියන් උඩින් පවා දමමින් ඒ සී එකත් එක්ක රේස් එකේය. එදා විට්ටාට පාරේ සුදු ඉරි නොපෙනේය. කහ ඉරි නොපෙනේය.  පාර අයිනේ වතු වල ගැහැනු කටවල් ඇරගෙන බලා සිටන මොහොතේ කඳුකරය පුරාම විට්ටාගේ බසයේ සැර බ්රේක් හඬවල් නින්නාද වන්නේය. තේ වතු වලින් ලස්සන වී ඇති කඳුකරයේ වංගු සියල්ලම එදා විට්ටාගේ අනුහසින් කෙලින් වන්නට ඇත.අර දුරකථන සමාගම තිබූ ටවුමේ සිට විනාඩි පහෙන්  මූ මාධවලාගේ ටවුමේය. අර පෙර කී සුරූපී සුභාෂිණී අක්කා එදා පෙර සේ මාධවලා දිහා බැලුවේ නැත. ඒකිට ආසාවන් අතැරී වන්නට ඇත. මාධව කුකුලා ඇතුලු පිරිස අවසාන අසුනේ සිට සිය අවසානය මේ දැන් මේ දැන් යැයි ගැන ගැන සිටියේය. කොන්දා පමණක් කිසි ගින්නක් නැතුව ටිකට් ගණන් සදන්නේය. සිටි ගමන් වැනි වැනී ඉදිරියට ගොස් විට්ටාට යමක් කොඳුරන්නේය. ආයෙත් ඇවිත් පොල්ලට හේත්තු වී ගණන් සදන්නේය. කණට කෙඳිරූ වදන් දෙක තුනෙන් පසු විට්ටා තවත් අරින්නේය.  අවසානයේ එදින මාධවලාව ටවුමේ බස්සවා කොළඹට පියෑඹූ  විට්ටා ජය ගත් බව මාධවලාට ලක්මා කිව්වේය. ලක්මා යනු මෙහි ඉහත කී කොන්දොස්තර තැනය. එල කොල්ලාය. ඌත් විට්ටාටම හරි යන කොන්දාය. ඌ හය මාසෙකට හිරේ ගියේද මේ විට්ටාගේ බසයේදී මගියෙකුට අල්ලාගෙන තඩි බෑම නිසාය!

එ ආකාරයේම තවත් දිනක සවස සිය දිනයේ අවසන් ගමන් වාරය වන කරවනැල්ල බලා ආපසු ගමනේදී විට්ටා නුවර සිට එන කෝප් ලේලන්ඩ් එකේ මූනටම අනින්න ගියේය. කෝප් එකේ පොඩි අයියාගේ වැඩ කිඩ හොඳ නිසා එදා මහ අනතුරක් වැළැක්වී ගියේය. නැත්තන් බස් දෙකම ප්‍රපාතයේය. එසේ වූවා නං මේ ලියන මාධවත් නැත. මේ පෝස්ට් එකත් නැත. එසේම තවද මෑතකදී විට්ටා පාසල් ළමයෙක් බසයෙන් වැට්ටූ බව ආරංචි විය. එහෙත් විට්ටා පෙරදා සේම ගුරුවරියන් පා පුවරුවේ නංවාගෙන මාධවලාගේ ටවුමට අරන් එන්නේය. තව පිස්සු වැඩ එමටය.

මේ ආකාරයට විට්ටාගේ බසයේ කතා ටිකක් මාධවට මතක් විය. ඉතිං  මතක ටික කොටා දැම්මේය. තව කතා මතක් උනහොත් මෙහි කොටා දමන බවට සහතික වන්නේය. දැනට මාධව නවතින්නේය.

7 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මතකයි මතකයි විට්ටාට පිං අත්වෙන්න ඉක්මනින් ගෙදර ගිය බවත් අතරමගදී දැක්ක අනතුර ගැනත් එස්.එම්.එස් එවල තිබ්බ විදිහ.

    ReplyDelete
  2. හම්! ඒකනේ බං! උඹ අපිව බයිට් කරලා තියාගෙන අපිට කලේ හොඳක්! ස්තූතියි කෝසල මචං

    ReplyDelete
  3. ඒකනේ බං මන් නරකක් කලේ නැනේ........

    ReplyDelete
  4. ගිය ඉරිදා පේරාදෙණියේ හිටියනම් දැක්ක තමයි . . . කතාව හොදයි.. සිංහලෙන්ම ලියල නිසා කියවගන්න ටිකක් විතර අමාරු වුණා . . .
    ;-)

    ReplyDelete
  5. @ සුපුන් කෝසල නොහොත් උපාසක - උඹ නම් චා උනා නේ?? පව් සුපුනා! ආයේ එසේ නොකරමි!

    සන්තානය - ස්තූතියි නංගා කමෙන්ටුවට! සන්තානය නිහඩ වීඹ ගැන අපිට දුකයි හරිද!

    ReplyDelete
  6. නුවර සංගෙදි බොගේ බ්ලොගෙන් කියවිමට ලැබීම ප්‍රිතිය උපදවන්නේය තවතව රසදැ ගෙන එමට බොට ශක්තිය ලැබෙන්ටම ඔනෑය පොස්ටුට පස්ටය ජය..

    ReplyDelete
  7. ඉක්මනට යන්න වේගෙ හොඳා උනත් ඉතින් අවදානම්.. මොනා හරි උනා ට පස්සෙ වැඩක් නෑනෙ ඉතින්..

    ReplyDelete
Previous Post Next Post

Contact Form