බයිසිකල් ජරමර හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත.....


මාධව ගොඩක්ම කැමති විනෝදාංශය තමයි බයිසිකලේ පදින එක.
පදිනවා කියන්නේ නිකම් මිදුලට වෙලා අටක් ගහන එක නෙමෙයි( බයිසිකලේ ගත්ත මුල් කාලේ නම් ඒකම විතරයි කලේ). දාඩිය හලාගෙන කදු පල්ලම්, පිට්ටනි වල බයිසිකලෙන් යන එක තමයි මාධව ගොඩක්ම ප්‍රිය කරන්නේ. ඇත්තටම මාධව බයිසිකල් ගමන් වලට ගොඩක් ආසයි. මාධව ගාව තියන බයිසිකලයත් හොදට කඩා බිදගෙන යන්න පුලුවන් එකක්! ඒකෙන් අදහස් කලේ මාධවගේ බයිසිකලේ ගොඩක් වේගවත් විදියටත් යන්න පුලුවන්. ඉතිං ඔය බයිසිකල් ගමන් වලින් මාධවටත් හොද හොද වැඩ වෙලා තියනවා. මේ පෝස්ට් එකෙන් මේ කියන්න යන්නේ මාධවගේ බයිසිකල් චාරිකාවලදි මාධවටම වෙච්ච සිදුවීම් ටිකක් තමයි. බයිසිකල් ගැන ලියන්න ඕනි කියලා මාධවට එක පාරටම හිතුනේ මාධව ඕං මේ දවස් ටිකෙත් ආපහු බයිසිකලේ හදලා පාරට දාලා පදින්න පටන් අරන්! පුලු පුලුවන් දවස් වලට! ඒ කියන්නේ හවසට වැස්ස නැති, විශේෂ වැඩත් නැති විවේක දවස් වලට.....

ඉතිං මේ කතාව පුලුවන් තරම් පරණම තැනිං පටන් ගමු. මුල අමතක කරන්න හොද නෑනේ!

ඉතිහාසයේ දවසක මාධව ඉස්-ඉස්සෙල්ලම බයිසිකලයක් පැද්දේ දහය ශ්‍රේණියේ ඉන්නකොට. ඒක සුධීරගේ ඩබල් සොකට් මවුන්ටන් එකක්! ඒක ගොඩක් උසයි. ඉතිං වැටි වැටී පැද්දා. පළවෙනි දවසේ කිසිම ප්‍රගතියක් නෑ. මොකද අඩියක් යන්න බෑ ඩඩොං! සමබර නෑ! ඒත් අමිලයා, සුධීරයා එහෙම මාධවට ගොඩක් උදව් කලා බයිසිකල් පදින්න පුරුදු වෙන්න. ඒ වගේම මාධවගේ සහෝදර කොකාගෙ මාමා කෙනෙක්ගේ මවුන්ටන් එකත් එක දවසක්, දෙකක් මාධවට උදව් කලා බයිසිකල් පදින්න පුරුදු වෙන්න. ඔය කොහොම උනත් මාධවට හොදටම බයිසිකල් පදින්න පුලුවන් උනේ මාධව ඒ-ලෙවල් කරලා ගෙදර ඉන්නකොට මාධවටම කියලා රු 6000ට ගත්ත අලුත්ම හන්ටර් මවුන්ටන් එකෙන් තමයි. ඇයි මාධව ඒ ලෙවල් කරනකම්ම හිටියේ බයිසිකලයක් ගන්න? ඒකට හේතුව තමයි මාධවගේ තාත්තා කැමති උනේ නෑ මාධවට බයිසිකලයක් අරන් දෙන්න. ඒකට හේතුව මාධව දන්නවා උනත් ඒක දැං මෙතන කියන්නෙ නෑ. ඉතිං පොඩි කාලේ මාධවට චොපර් එකක් (රෝද තුනේ එකක් නම් තිබ්බා) වත් තිබ්බේ නෑ.චොපර් එකක් වත් පැදල නෑ 10දි සුධීරයගෙ එක පදින්න කලින්! ඒත් අමිලයගෙයි, සුධීරයගෙයි බයිසිකල් පැදලා පැදලා ආසාව හිතේ තියන නිසාම මාධව ගොඩක් ආයාචනා කරලා කරලා කරලා කරලා වැදලා වැදලා බටර් ගාලා ගාලා එකක් ගත්තා. ඒ ගත්තට පස්සේ නම්, ගන්න කලින් වගේ ගෙදර කට්ටිය මාධවට එච්චර අවුලක් කිව්වේ නෑ.



ඒ මොන වාහනේ ගත්තත් මාධවගේ ගමට වාහනයකින් යන්න පාරක් නෑ. බයිසිකලයක් අරන් දෙන්න බෑ කියන්න ඒකත් හේතුවක් එක උනා. පාරක් නැතුව ඔලුව උඩ පදින්නයැ?පාරක් නැති නිසා මාධවලා හැම දේම කර පිටින් තමයි ගමට අදින්නේ! නූල් කෑල්ලේ ඉදලා සිමෙන්ති කොට්ටය, ගෑස් සිලින්ඩරේ, හාල්,පොල් මලු මාධවගේ කරට හොදට පුරුදුයි. මාධව ඉස්සෙල්ලම ගත්ත කම්පියුටරය ගමට ගෙනියන්නත් හතර දෙනෙක් එකතු ඕනි උනේ මේ පාරක් නැති කම තමයි! මාධවලගෙ ගමේ ලෙඩෙක් ඉස්කෝලෙ ගාව පාරට ගෙනියන්නෙ මැස්සක් බැදලා තියාන. නැත්තම් පුටුවක තියලා උස්සගෙන. මේක ඇත්තම ඇත්ත! ඒක මාධවගේ යාලුවෝ ගොඩ දෙනෙක් දන්න ඇත්ත කතාවක්. කිසිම ආණ්ඩුවකින් මාධවලගේ ගමට කිසිම විදියක පාරක් දීලා නෑ. ඉතිං ඔහොම ඉදලා ඉදලා අවුරුදු ගාණකට පස්සේ ගමේ මිනිස්සුම දර දිය ඇදලා ගමට පාරක් කපා ගත්තට මොකද තාම පාරට තාර නෑ. ඉතිං කපපු පාර වැස්සට හෝදං යනවා. ඔන්න පාරක වැඩක්. ඉතිං දැන් පාර හේදිලා මඩ වෙලා නිසා ඒ පාරේ වාහන තියා මනුස්සයෙක් යන්නෙත් අමාරුවෙන්! ඔන්න ඔහොම වාහනයකට යන්න පුලුවන් විදියෙ පාරකුත් නැති මාධවගේ ගමට ඉස්සෙල්ලම හා හා පුරා කියලා මවුන්ටන් වර්ගයේ බයිසිකලයක් අරන් ගමට ආවේ මාධව තමයි. මාධව ඒකත් කරේ තියාන පාර දිගේ ඇවිදන්, ගල් පඩිපෙල බැහැගෙන තේ වතු මැදින් උස්සගෙන එනවා. වෙලාවට මාධවලගේ ගෙදර ටිකක් ලොකු මිදුලක් තියන නිසා හොදයි. ඉතිං මාධව සති දෙක තුනක් යනකල් අර කලිං කිව්වා වගේ මිදුලේ අට ගගහා හිටියා. ඒත් හැමදාටම ඕක හරි යන්නේ නෑනේ. ඒ නිසා මාධව තීරණය කලා බයිසිකලය පාරට ටිකක් හරි කිට්ටුවෙන් ඉන්න එයාගේ මාමගේ නිවසේ බෝඩිං කරන්න. ඉතිං එහෙම කරාට පස්සේ මාධවට ටිකක් හරි අමාරුවෙන් බයිසිකලය පාරට උස්සං ගිහිං හති ඇරලා අහවර වෙලා ගමන් ආරම්භ කරන්න පුලුවන් උනා. මාධවලගේ පැත්ත තනිකරම කදු පල්ලම් විතරයි. තැනිතලා පාරක් ඇත්තෙම නෑ. නෑ නෙමෙයි ගොඩක් අඩුයි. සමහර තැන් වල බෑවුම අංශක 45ටත් වැඩියි. ඒත් මාධවට හා මාධවගේ බයිසිකලෙට දැන් ඔය කිසිම කන්දක්, කන්දක් නෙමෙයි. ඕන කන්දක යන්න මේ දෙන්නට දැන් පුලුවන්! ඉතිං මාධව දැන් කන්දක් දැක්කට ලේසියකට බයිසිකලේ තල්ලු කරන්නේ නෑ. කන්ද පාමුල ඉදන් එක දිගටම උඩටම පාගලා තමයි නවතින්නේ! බයිසිකලෙත් මාධවව පටවගෙන ඕන කන්දක යන්න තරම් දැන් හැඩ ගැහිලා ඉවරයි. ඉතිං මේ විදියට මාධවගේ බයිසිකල් සවාරි පටන් අරන්, ඒ වගේම මාධවගේ ආදරණීය බයිසිකලෙටත් අවුරුදු 3කට කිට්ටු වෙලා.  ඔන්න ඔය විදියට අවුරුදු තුනක කාලයක් තුල මාධව මේ බයිසිකලෙන් ගොඩක් ගමන් ගිහින් තියනවා. ඒ වගේම ගොඩක් අත්දැකීම් ලබාගෙනත් තියනවා. ඉතිං මේ කතාවෙන් මාත් එක්ක එකතු වෙන්න මාධවගේ බයිසිකල් දින පොතේ කතා කියවන්න!


මෙන්න මේ කියන සිද්ධිය මාධව බයිසිකලේ ගත්ත අලුතම වෙච්ච දෙයක්! මාධවට ඒ කාලේ තිබ්බ මේ බයිසිකල් උණ නිසාම වැස්සක් නැත්තන් ඕනම වෙලාවක කොච්චර අමාරු උනත් බයිසිකලෙන් තමයි කඩේට, ටවුමට ගියේ. ටවුමට යන්න නම් මාධවලගේ මාමාගේ ගෙදර ළග පාරේ ඉදන් එක දිගට කන්දෙ කි.මී  3/4ක් විතර පාගන්න තියනවා. ඒත් ආසාවටම කට්ට කාගෙන දාඩිය පෙරාගෙන මාධව මේ කන්ද නගිනකොට පයින් යන කස්ටිය ඊට වඩා හයියෙන් ඇවිදන් ගිය වෙලාවල් තිබුනා. ඒත් යන්තම් හරි පල්ලමක් සෙට් උනොත් මාධව මෝටර් බයික් වලටත්, ලොකු අශෝක් ලේලන්ඩ් බස් වලටත් ඕවර් ටේක් කරන්න දෙපාරක් හිතන්නේ නෑ. කොට කොට හරි  2 ස්ට්‍රෝක් ත්‍රී රෝද රථ වලටත් අදින්න බැරි කදු තමයි මේ මාධව හා මාධවගේ සයිකලේ එකතු වෙලා තරණය කරන්නේ.............!!


ඉතිං දවසක් ඔහොම ටවුමට ගිහින් එන වෙලාවක මාධව දිගාගෙ බෑග් කඩේට සෙට් වෙලා කොල්ලෝ ටිකත් එක්ක ටිකක් කදේ දාගෙන හිටියා. එහෙම ඉදලා ආපහු ගෙදර එන්න කලින් මාධව ආයෙත් පොඩ්ඩක් ටවුම පැත්තට ගිහිං ගෙදර යන්න පිටත් උනා. ආපු පාරෙම. ඉතිං මාධව දැන් මද බෑවුමක තියන මාධවලගේ ඉස්කෝලෙට උඩහින් තාර පාරේ (මේ මං දන්න අයට කියන්නේ, මාදු කඩේ ඉස්සරහ පාර) ඇරලා එනවා. වේගය වැඩ් කමට ඇස් වල කදුලුත් පිරිලා. වැහැලා නැවතිලා තිබ්බ නිසාම වතුරට පාරත් ටිකක් ලිස්සනවා. මෙන්න යකෝ දිගාගෙ කඩේ ඉස්සරහදිම මාධවගේ බයිසිකලෙට සේනානායකයගෙ බල්ලා පැනපි. අල්ලපු කඩේ එකේ නට්ට නැති බල්ලා. මාධව බයිසිකලේ ගත්තු අලුත නිසාම ඒ දවස් වල එච්චර හුරුවක් නෑ මේ බල්ලො පැනිලි වගේ කේස් වලට. ඇත්තටම මේ තමයි මාධවගේ බයිසිකලෙට බල්ලෙක් පැනපු මංගල අවස්ථාව. ඉතිං මාධව දන්න සෙල්ලම් දාලා යන්තම් තිරිංග අල්ලගෙන වේගය අඩු කර ගත්තට වැඩක් උනේ නෑ. මොකද මාධවට රථයේ පාලනය ගිලිහී ගිය නිසා. බයිසිකලය කෙලින්ම ගියේ පාරේ ගිය අක්ක කෙනෙක්ගේ පශ්චාත් භාගයේ සමමිතික අක්ෂය වෙතට! දඩ බඩං! ඉවරයි. (බයිසිකලෙට නම් මොකුත් උනේ නෑ) මාධව ආපහු පාලනය අතට ගන්නකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි. අර අක්කා (හැප්පුනාට ඒ අක්කා වැටුනේ නෑ. ටිකක් ඉස්සරහට විසි උනා!) මාධවගේ මූන දිහා කන්න වගේ බලං ඉන්නවා. ඒ මූනේ කේන්තිය පිරිලා. ඒ අක්කට ඇඩෙන්නත් එනවා වැදුන තැන වේදනාවටම. ඒ අතරේ මාධවත් තමංට කන් කොත්තුවක් හම්බෙයි කියලා බලන් ඉන්නවා. ඒ අක්ක හොද වැඩියි. ඒ නිසා කොත්තු නෑ. ඇත්තටම මේක විහිලුවක් නෙමෙයි. මේක විහිලුවක් විදියට ලිව්වට බැරි වෙලාවක් ඒ අක්කගේ කොන්දට  හෝ අනිකුත් තැන් වලට මොකක් හරි හානියක් උනා නම්.... ටිකක් හෙමීට වැදුන නිසාම හොදට ගියා.

ඉතිං මාධව කිව්වා  "සොරි අක්කෙ. අර කඩේ බල්ලා පැන්නනේ"  කියලා..

අක්කා බැලුවා මේ මූ කියන බල්ලා කෝ කියලා. එයා බල්ලව දැකලා තිබ්බෙ නෑ...

 ඉතිං කෝ මේ (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)  බල්ලා?

අර (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)  සේනානායක (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *) ඒ ඩිංගට (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)  බල්ලව හංගලා. ඉතිං අර අක්කට පෙන්නන්න (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)  බල්ලෙක් එතන නෑනේ! දැං මාධවට අක්කට කියන්න උත්තරත් නෑ. " අර බල්ලා අර බල්ලා " කිව්වට වැඩක් නෑ. (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)   සේනානායකයා (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)   බල්ලව හංගලානේ! දැන් ඒ අක්ක හිතුවේ මේ මාධවගේ කෙබර කියලා. ඒ මදිවට ඒ අක්කගෙ පශ්චාත් භාගයේ වේදනාව මූනෙනුත් පේනවා. දැන් මාධවට ගොඩක් අප්සට් උනා. හිතලා කරපු දේකුත් නෙමෙයි. අර අක්ක මාධවට බැන්න නම් ඔච්චර හිතේ අමාරුවක් මාධවට නැති වේවි. ඉතිං ඒ අක්කි මාධවට කියලා දෙන්න හොදවයින් වචන දෙක තුනක් තෝරලා ගන්නකොටම දිගාගෙ කඩේ ඉදපු බුද්ධික අයියා, දිගා ඇතුලු කොල්ලෝ ටිකයි, රොද්‍රිගු අංකලුයි මේ වලියට බැහැලා (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)  බල්ලාගෙ කතාව ඇත්ත එකක් බව කියලා ඒ අක්කිට තේරුං කරලා දීලා යන්තං වලිය ෂේප් කර ගත්තා. නැත්තං එදා මාධව ඇතුලේ තමයි. ඒ කිව්වේ පශ්චාත් බාගයකට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් කූරු ගනින්න තිබුනා.

ඒ මදිවට එදාම මාධව ආපහු ගෙදර එන්න කලිංම මේ (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)  සේනානායක (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *) මාධවගේ මාමා කෙනෙක්ට නිවුස් එක දීලා. ඉතිං නෝ කතා නෝ සිනා! ඒත් වෙලාවට මාධවගේ ගෙදරින් එච්චර අවුලක් ගියේ නෑ ඒ කේස් එකට. හැබැයි එදා දිගාගෙ කඩේ හිටිය කොල්ලෝ ටික නම් මාධවව නම් සෑහෙන කාලයක් නෝන්ඩි කලා මේ සිද්ධිය මතක් කර කර!


ඉතිං ආයේ දවසක් මාධව ඔය දිගාගෙ කඩේ ඉන්නකොට (එදා නම් බයිසිකලේ තිබ්බේ නෑ) අර අක්කි යනවා මාධවලගෙ ටවුමේ ලොකු ප්‍රභූ වරයෙක්ගේ කාර් එකේ නැගලා. බලද්දි ඒ ප්‍රභූවරයගේ නෝනගෙ තමයි ඒ හප්පපු පස්ස පැත්ත. ඉතිං මාධව හෙමීට කඩේ ඇතුලට රිංගන් පැය භාගයක් විතර හැංගිලා හිටියා. මාධව යලිත් වරක් මේ ලිපියෙන් ඒ අක්කගෙන් සමාව ඉල්ලනවා. ඇත්තටම මාධව හිතලා  ඒ දේ කලේ නෑ. මාධවට ඒ දේ උනේ අර (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)  සේනානායක (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *) ගේ (* බළධාරියා විසින් කුණුහරුප ටික කපා දමන ලදී *)  බල්ලා නිසයි. අක්කේ මේ මාධවට සමා වෙන්න!


මේක උනේ මාධව අර කලින් කිව්ව කොකා එක්ක බයිසිකලෙන් ටුවර් එකක් දාන්න ගිය වෙලාවක. සිද්ධිය මේකයි. මාධවගේ අම්මගේ පොඩිම මල්ලි, ඒ කියන්නේ මාධවගේ පොඩි මාමා වයරීන් වැඩ කරනවා. ඔයාලගෙත් එහෙම වයරීන් වැඩක් තියනවනම් මාධවට කියන්න. අඩුවට වැඩේ සෙට් කරලා දෙන්නම්. ඉතිං පොරට සෙට් උනා ටවුමේ පල්ලියෙත් වයරීන් එකක් කරන්න. ඉතිං දවසක් පොර මාධවට කිව්වා පොඩි උදව් වගයක් කරන්න හවස පල්ලියට එන්න කියලා. ඉතිං මාධව සිය ඥාති සහෝදර කොකත් අඩ ගහගෙන ගියා මේ ගමනට. එදා නියම දවස! අව්ව වැටිලා. හවස 3ට විතර ඇති අපි යන්න පිටත් වෙද්දි. වැඩිය රස්නෙත් නෑ. ඉතිං දෙන්නම කල්පනා කලා බයිසිකල් වලින් යන්න! ඒත් කෝ දෙකක්! එක බයිසිකලයයිනේ තියෙන්නේ. මාධවලගේ පැත්තේ ඩබල් දැමිලි නෑ. ඩබල් දාන්නත් බෑ. ඩබල් දාන්නෙත් නෑ. මොකද පල්ලම් වල ඩබල් දාන්න තරම් තිරිංග බයිසිකල් වලට නෑ. ඩබල් දාලා පත කදු අදින්න පුලුවන්යෑ! මාධව තනියම යන්නෙත් අමාරුවෙන් ඔය කිව්වට. ඊට පස්සේ දෙන්නම තීරණය කලා ඉස්කෝලෙ ළගම ඉන්න සුධීරයගේ ඩබල් සොකට් මවුන්ටන් එකත් ඉල්ල ගන්න. ඉතිං මාධවලගේ ඉස්කෝලෙ ලග ඉන්න සුධිරයගේ ගෙදරට ගිහින් ඒකත් අරන්, හරි දැන් දෙන්නා ගමනට පිටත් උනා.

ඉතිං දෙන්නම පල්ලියට ගිහින් (පල්ලිය ඇතුලට වාහන දෙක ගන්න කාපු කට්ට ගැන වෙන වෙලාවක කියන්නම්) වැඩේ ඉවර කරලා දෙන්නම අපහු එන්න පිටත් උනා. දැන් මාධවලගෙ ක්ලාස් එකේ ඉන්න කුෂාන්ලගෙ ගෙවල් පැත්තෙන් දාලා බල්ලො ඉන්න ගෙවල් එහෙම මග ඇර ඇර දෙන්නත් එක්ක කෙලගෙන එනවා. ඔහොම ටිකක් දුර යද්දි දෙන්නටම නොදැනි වේගයන් වැඩි වෙලා අන්තිමට මේක රේස් එකක් උනා. දෙන්නම ඇරලා යනවා. මාර වේගයක්! දෙන්නටම පුදුමයි. ඒත් එකෙක් වත් දෙවැනි වෙන්න අකමැති නිසාම ඇරලා යනවා. ඒක කොන්ක්‍රීට් කරපු පාරක් නිසා හරියට බ්රේක් වදින්නෙත් නෑ. බ්රාස් බ්රාස් සද්දේ! අමු අමුවේ ලිස්සනවා. ඉතිං කොහොම හරි කොකා, පල්ලමකදි  (මාධවට පල්ලම් පටන් ගන්න තැන් වලදි ටිකක් අවුල් - තාමත්) මාධව ටිකක් ස්ලෝ වෙච්ච වෙලාවක මාධවට ඉස්සර කරලා ඇරලා යනවා. ඔහොම දෙන්නම ලොකු කැලයක් මැදින් එහෙම ඇවිත් අර ගෑනු කෙනාව හැප්පිච්ච පාරට වැටුනා. එතනින් ටවුම පැත්තට යන පාරේම ගියාම කොළඹට යන පාරට යතෑකි. ඉතිං දෙන්නම රේස් එක යන ගමන්ම තීරණය කලා කොළඹ පාරේ දාලා ඉස්පිරි තාලේ ඇතුලෙන් යන පාරේ ගිහින් ඉස්පිරිතාලේ ඇතුලෙදි හරවගෙන ආයේ කොළඹ පාරෙම උඩට ඇවිත් ඉස්කෝලෙ පාරෙන්ම (අර අක්කව හැප්පුන පාරෙම) ගෙවල් බලා යමු කියලා. ඉතිං මාධව කොළඹ පාරට හැරෙන හන්දියේදි කාපට් එකට දාද්දිම ආයෙමත් කොකාට ඉස්සර කරලා ෆස්ට් වෙලා කඩාගෙන යනවා. මාධව දැන් ටොප් ස්පීඩ් එකේ යන්නේ! ඉස්සරහ තුන්වැනි ගියර් එකටම දාලා. ඒ කියන්නේ ඉතිං කතා කරලා වැඩක් නෑ, පවන වගේ තමයි! කොකා පදින අනික් එකේ ඉස්සරහ ගියර් වැඩ නෑ. ඒත් කොහොම හරි කොකා ඒකේ ඉස්සරහ ගියර් එකක් දාගෙන තිබ්බා. ඉතිං දෙන්නම දැන් පැයට කි.මී  බර ගානකින් යන්න ඇති. මාධව ඉස්සරහින්, කොකා පිටිපස්සෙන්! ඔහොම ගිහින් තැපැල් කන්තෝරුව පහු කරලා, ඉස්පිරිතාලෙට උඩින් තියන ටයර් ප්‍රේමෙ සීයගේ කඩේ ළගට එද්දිම කොකා පියාඹන්න ගියා. හැබැයි වැරදි පැත්තෙන්. ඒ කියන්නෙ ඕවර් ටේක් කලේ වැරදි පැත්තෙන්. මාධව ප්‍රේමෙ සීයගේ කඩේ ඉස්සරහ වංගුව ගන්නකොටම කොකා වැරදි පැත්තෙන් කෙලින්ම ඇවිත් මාධවගේ බයිසිකලේ හරි මැදින් හැප්පුනා. ඒ කියන්නේ මාධවගේ බයිසිකලෙට ලම්භකව කියලා කිව්වත් හරි.....!






ඉතිං සියල්ල වියවුල් උනා. කොකා පියෑඹුවා මාධවගේ සයිකලේට උඩින්! මාධව සයිකල් දෙක හැප්පෙනකොටම තද කරලා බ්රේක් ඇල්ලුව නිසා පොරව විසි උනේ නෑ. එතනම ඇල වෙලා වැටුනා. එච්චරයි. මාධවගේ වම් අතේ වැලමිට ලග පතුරු ගැහුනා. කොකා උඩින් විසිවෙලා ගිහින් කොළඹ පාරේ මැද වැටුනා. කෙලින්ම ඔලුව ඩිග් ඩිග් ගාලා බිම වැදෙන හඩ හොදට ඇහුනා. වටේ තිබ්බ කඩවල් වල කට්ටිය දුවං ඇවිත් අපිව නැගිට්ටුවා. ස්තූතියි එයාලට. ගොඩක්! ඉතිං මේ අතර කොකා නැගිටලා හිනා වෙවී වට පිට බලනවා. ඌට මඤ්ඤං වගේ! කණ්නාඩි දෙකත් ගැලවිලා. කට්ටියම මූව කඩේට අරන් ගිහින් ක්‍රීම් සෝඩා එකක් පෙව්වට පස්සේ තමයි ඌට පියවි ලෝකය මතක් උනේ! කඩේ කස්ටියම මේ දෙන්නව හොදට ටෙස්ට් කලා. මාධවගේ වැලමිට, අත් වල ඇගිලි දෙක තුනක් හා අත් දෙකේම අල්ල තුවාල වෙලා. බ්රේක් හැඩල් අල්ලපු පාරට තමයි මාධවගේ අත් වල අල්ල තුවාල වෙලා තියෙන්නේ!! කොකාගේ කකුලේ මාපට ඇගිල්ලක නියපොත්තට බඩු! වෙන තුවාල නෑ. ඔලුව වැදුන එකට තමයි ටිකක් බය තිබ්බේ.







කොකා එතන වැටෙන වෙලාවෙ කොකාගෙ වෙලාවට තමයි අනික් පැත්තෙන් වාහනයක් ආවේ නැත්තේ! මාධව නම් පාර අයිනෙම සුදු ඉරෙනුත් එළියෙ වැටුන නිසා හොදයි. අනික් පැත්තෙන් මොකක් හරි ආවනම් කොකාගේ තට්ටක්වත් හොයන්න නෑ එහෙනම්. මොකද එතන දිග වංගුව. එක පාරට පේන්නෙ නෑ! අනික ඔය මාධවලගෙ කොළඹ පාරේ බස් වල ස්පීඩ් එක මාධවලගෙ නුවර යන ඒවට හපන්! ඉතිං අපි බැලුවා බයිසිකල් වල තත්වය. මාධවගේ හන්ටර් එක ටිකක් හීරිලා. එච්චරයි. ඒක පැදන් යන්න පුලුවන්! ඒත් සුධීරයගේ එකට නම් ටිකක් කේස්( ඒක ගෙදර අරන් ඇවිත් හදලා පහුවදා තමයි ගිහින් දුන්නේ)!!  ඉතිං  දෙන්නම රේස් එක සස්පෙන්ඩ් කරලා බයිසිකල් තල්ලු කරන් (කොකා උගේ එක තල්ලු කරං එද්දි මාධව හෙමීට කොකා ළගින්ම මාධවගේ හන්ටර් එක පැදගෙන ආවා. කොකා කලන්තයක් වත් දැම්මොත් එහෙම!) පෝස්ට් ඔෆිස් එක පැත්තෙ පාරෙන් ගෙදර ආවා. බයිසිකල් දෙකම මාධවලගෙ මාමගෙ ගෙදර දාලා එහෙම දෙන්නා එක්ක ගෙදරට එනකොට දෙන්නගෙ වැඩ කිඩ ආරංචි වෙලා ඉවරයි. ඒ කොහොමද? මේ සිද්ධි අතරේ මාධවගෙ නෑදෑ කෙනෙක් වන කරුණා ආච්චි මෙන්න මේ කඩේ හිටියා. ( අපෝයි. අපිත් මෙතනම වැටුනනෙ! දෙන්නට පස්සෙ එහෙම හිතුනා) ඉතිං මේ කරුණාච්චි, කොකාට ක්‍රීම් සෝඩා එහෙම පොවලා සත්කාර ප්‍රතිකාර කරලා ගෙදර එන්න පිටත් කලාට පස්සේ දුරකතන පහසුකම් ඔස්සේ නිවසට දැනුම් දීලා! මාධව ගෙදර ඇවිත් නාලා කරලා අත් දිග කමිසයක් එහෙම ඇදන් හිටියට මොකද, වැඩක් උනේ නෑ. එදා නම් පලු යන්න බැනුම් හම්බුනා මාධවට. ගෙවල් දෙ‍කෙන්ම. අරූව එක්කන් ගියාටත් බැනුම්! මාධව වැටුනටත් බැනුම්! ඒත් අරූගෙ වැරැද්දෙන් තමයි මේ සේරම කියලා කවුරුත් දන්නෙ නෑ. ඉතිං එදා ඉදං මාධව කොකා එක්ක බයිසිකල් වල ගමන් යනවනම් කොකාව ඉස්සරහින් යවලා මාධව පස්සෙන් විදිනවා. මොකද ඒක දෙන්නටම ගුණ නිසා!

ඉතිං අද පෝස්ට් එක ගොඩක් දිගයි! ඒත් තව ලියන්න බයිසිකල් කතා ගොඩක් තියනවා! හෆොයි ලියලම මහන්සියි දැන්නම්! අනික කියවන කෙනාටත් එපා උනොත් අවුලක්නේ. ඉතිං තවත් පෝස්ට් එකකින් තවත් බයිසිකල් කතා හෙවත් මාධවගේ බයිසිකල් දිනපොත එක්ක ඉදිරියෙදි හම්බෙමු! හැමෝටම සුභ දවසක්!

9 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හික් හික්!! නියමෙට ලියලා තියෙනවා මචෝ. මම මුලින් හිතුවෙ අර උඩම පින්තූරෙ ඉන්නෙ බයිසිකල් පදින හොල්මනක් කියලා :)

    ReplyDelete
  2. කතාව එක හුස්මට ගොඩාක් ආසාවෙන් කියවගෙන ගියේ... ගොඩාක් අය හන්ගන දේවල් ගොඩාක් ලස්සනට මල්ලි (මම හිතනවා මල්ලි කියලා) ගලාගෙන යන විදිහට ලියලා තියනවා.. බයික් කේස් වලදි නම් මාත් දවස් 3ක් හොස්පිටල් එකෙත් උන්නා හැබැයි ඒ නම් පලැටිනා එකෙන් ඇක්සිඩන්ට් වෙලා තමයි..

    කතාව ෆුල් සිරියස් උනත් මට මෙතනදිනම් හිනා ගියා මැන් කොහොම ඉන්න ඇතිද කියලා
    " ඉතිං මේ අතර කොකා නැගිටලා හිනා වෙවී වට පිට බලනවා. ඌට මඤ්ඤං වගේ!" ජය වේවා.. අනිත් ඒවත් ලියන්න අපි එනවා අනිවා බලන්න

    ReplyDelete
  3. ලස්සනට සිදුවීම් ටික ගොනු කරල තියෙනවා.. මැවිල පෙනෙනවා අර අක්කගෙ පස්සෙ හැප්පිච්ච මාධව මූන සොරි කරගෙන ඉන්න හැටි.. එතනටත් චිත්‍රයක් ඇඳල දමන්නකො..

    ReplyDelete
  4. බ්ලොග් ගඩොල් - පුරු පුරු
    දේවා
    වෙනී

    මචංලා තුන්දෙනාටම ගොඩක් ස්තූතියි කමෙන්ට් වලට!...

    බ්ලොග් ගඩොල් - පුරු පුරු - ඒ ඉන්නේ හොල්මනක් වගේ එකෙක් තමයි! මාධව!

    දේවා - බයිසිකල් කියන්නේ මහා භයානක වාහනේ! අපි ගිහින් හැප්පුනත් වැටෙන්නෙ අපිමයි! ඒ වගේම වෙන එකෙක් අපිව යැප්පුවත් වැටෙන්නෙ අපිමයි! බයික් පරිස්සමින් සහෝදරයා!


    වෙනී - මගේ වෙලාව හොදයි. නැත්තන් බඩුම තමයි!

    ReplyDelete
  5. ඈ බන් කොකාට බයිසිකල් පදින්න පුලුවන්ද......

    ReplyDelete
  6. ඈ බන් කොකාට බයිසිකල් පදින්න පුලුවන්ද......

    ReplyDelete
  7. @ සුපුන් ඉසංක-පුලුවන් බං! පොර උන්ගේ අක්ක කෙනෙක්ගේ මවුන්ටන් එකක් ඉල්ලගෙන පුරුදු උනා කාලයක්!

    ReplyDelete
  8. ela ela :-)
    niyama kathaawa

    ReplyDelete
  9. thankX dappi! thawa hoda hoda katha thiyanawa! issarahata dannamkoo! :)

    Digatama mee paththe enna!

    ReplyDelete
Previous Post Next Post

Contact Form