ලොලීටා................ 06 - බස් නැවතුමේ සොදුරී





ඔන්න මිතුරනි ඇත්ත ආදර කතාවේ තවත් කොටසක් අකුරු කරන්නයි මේ ඉඩ කඩ මං අර ගන්නේ.
මේ කතාව පුරාවටම තියෙන්නේ නිකංම නිකං ඇසට හසුවුන සිද්ධි ටිකක් කියලා හිතන්න එපා. මේක ඇත්තම ආදරයක කතාව. කිසිම ආදරයක් බලාපොරොත්තු නොවන ආදරවන්තයෙක් ලියන ඇත්ත ආදර කතාව. ඇත්තටම මේක පුරාවටම තිබුනේ අහඹු ඇස් ගැටීම් විතරයි තමයි කොල්ලනේ. ඒත් ඒ අහඹු ඇස් ගැටීම් එකක් මට ලෝකයක් වටිනවා කියලා තේරුන් ගනිල්ලා! ඒක තමයි කොල්ලනේ ආදරය. කිසි දිනක සුන්දර සෙව්වන්දිය තේරුන් නොගන්නා හදවතක ආදරය. ඉතිං කියවපල්ලා ආයෙත්. තවත් කොටසක් මේ පුංචි ආදර කතාවේ.....

බස් නැවතුමේ මං ඇය දුටුවා. මං ඒ පිළිබද උඹලට කිව්වා නේද? මං ඇය ගැන හැම පුංචි දෙයක්ම මේ බ්ලොග් එකේ මේ කතාවේ කියන්නට ඕනි කියලා හිතෙන්නේ ඇයි දන්නෙ නෑ. ඒත් මං කියනවා. මට හිතෙන හැම දෙයක්ම. මගේ පුංචි සෙව්වන්දිය ගැන මගේ ලොලීටා ගැන මං වින්ද හැම දෙයක්ම. ඒ මොනවා කිව්වත් මං තාම කිව්වේ නෑ උඹලට මගේ හා ඇයගේ පළමු හමුවීමේ කතාව. මං ඒක කියන්න ඕනිද? එය කියන්නට මට හිත දෙන්නේ නෑ. හේතු රහිතව. ඒ නිසා මං තව දුරටත් ඒ ගැන සිතන්නට ඕනි. ඒ නිසා එය කීමට කල් දෙන්න. මාධවට ආද‍රය දැනුනු පළමු දිනයේ කතාව කීමට. ටිකක් කල්! සමහර විට මං ඒක උඹලට කියන එකක් නෑ, කවදාවත්ම!! නොකීවොත් මට සමාව දීපල්ලා. එය ඔබට නොකීම ගැන ප්‍රිය මිතුර!!!



බස් නැවතුමේ ඇයව දැකීම හා ඇයගේ දීප්තිමත් දෑස් වලින් මා දුටු හැගීම මාව ප්‍රීතිමත් කලා. ආහා! මාධව කලකට පසු ප්‍රීතියෙන්. සෙව්වන්දිය මාධවගේ සිතට සතුටක් වෙලා. ඉතිං මාධවට ඕනෑ උනා ඇයව ආයෙත් දකින්න. ඒ ඇස් වලින් ඒ හැගීමම ආයෙත් දකින්න. එහෙත් ඊට පසු බසයේ එල්ලී සිටින විට මාධවට ඇය ඇස ගැටුනේ නෑ. කිසිම දිනක....

එහෙත් මාධවගේ බලාපොරොත්තු බිදී නෑ. ඇය තත්පරයක කාලයක් තුල මාධවගේ සිතට දුන් බලාපොරොත්තුව, ඇත්තටම ඇගේ මුහුනේ හැගීම දුටු තත්පරයක කාලයක් තුල මාධව විසින්ම ඇති කර ගත්තා වූ බලාපොරොත්තුව මාධවට සැනසීමක්, තාවකාලික සහනයක් දුන්නා. එහෙත් මාධව සිහිනයක් තුල ජීවත් වෙන්නට ගියේ නෑ. ඒ බලාපොරොත්තුවට, ඒ තාවකාලික සහනයට වැඩි ආයුෂ නෑ. මාධව එය දැන සිටියා. ඒත් මාධවට ඈව යලිත් දකින්න ඕනි. යලිත් වතාවක්!


ගොඩක් කල් ගෙවී ගියා. ගොඩක් කල්! මාධව යලිත් වතාවක් එම බස් නැවතුමේම ඉන්නවා. මාධව ඔහුගේ කටයුත්තකට ගොස් ආපසු එන්න බස් නැවතුමේ. මෙහි අද මා ලොලීටා සිටීද? මං බලාපොරොත්තුවක් දල්වා ගත්තා. එය පුස්සක් උනේ නෑ. ඒත් මං බලාපොරොත්තු උන දේ ඒ ආකාරයට නොවුනත්, ඇය එදින දැකගන්නට මං වාසනාවන්ත උනා. ඇය ලස්සනයි. තාමත්!


ලදරම් බසයක්, කසි කබල් එකක්! හොදටම අබලන් වෙලා. ඒවගේ නගින්නෙ ඇයි ලස්සන කෙල්ල! ඔයා යන්න ඕනි ඔය වගේ තහඩු ගොඩවල් වල නෙමෙයි. ඇයට එය තරම් නෑ. තහඩු ගොඩ නැවතුමට ලගා වුනා. මං ක්ෂණික බැල්මක් හෙලුවා තහඩු ගොඩ වෙතට. ආහ්! මං ඇයව දුටුවා. ඇය මාව දකින්න නෑ. ඇය හිරවෙලා. ඇය බසයේ සෙනග  මැද හිර වී. අපොයි කෙල්ලේ, ඔය මොකද? ඇයගේ ලස්සන මුහුණ රත් පැහැ ගෙන තිබ්බා. ඇයට වෙහෙසයි. මං ඒ බව තේරුන් ගත්තා. පුංචි කෙල්ලට බසයෙන් බහින්න විනාඩියක් පමණ ගතවෙන්න ඇති. මට ඇය ලගට යන්න ඕනි උනත් මගේ හිත මාව වැලැක්වුවා! ඒ ඇයි... ? මං ඇය ලගට යන්න හොදටම අවස්ථාව තිබුනද මං ගියේ නෑ!!



මං බලන් සිටියා. සෙව්වන්දිය ලස්සනයි. ඇය අමතර පන්තියට යාමට ඇවිල්ලා. ඇය තුරුල් කරන් හිටිය පොත් මිටිය ඒ වග මට කියා දුන්නා. ඇය එදත් ඇද සිටියේ මා පෙර කී කහ බ්ලවුසයමයි. පෙර කී ඇදුමමයි. ඇය එයට ලස්සනයි. ඇයි ඔයා තනි කරලක්ම වෙන්න කොන්ඩෙ ගොතන්නෙ කෙල්ල? මට අහන්නට හිතුනා. ඇය ලස්සන වෙලා. මා ඇයව නොදුටු කාලයට ඇය එන්න එන්නම ලස්සන වෙනවා. ඇගේ කෙස් රැල්ලක් නලලට වැටී ලස්සනට තිවුනා. සුළග විසින් ඒ කෙස් රොද සෙමෙන් චලනය කලා. මට ඇය ලග ඉන්න තිබ්බනම්! මං මගේ ඇගිලි තුඩින් ඒ කෙස් රොද ඉවත් කරනවා. දහවල් අව් රස්නයට ඇගේ කම්මුල් රෝස පැහැයට හැරී තිබුනා. ඇය කඩිනම් පියවර තබා බස් නැවතුම හරහා නොපෙනී ගියා. මට ඇය යන දෙස බලාගන්න අමතක උනා. මාධව හැමදාම වගේ එදත් පපුවේ ඩිග් ඩිග් හඩ සමග මහ සෙනග මැද ගල් ගැසිලා!



මාධව ක්ෂණිකව පියවි ලොවට ආවා. ඔහුට තාමත් කල් ඇති ඇය පසුපස යන්න. ටික දුරක් හරි. ඇයට නොතේරෙන්න. මාධව එහෙමයි සිතුවේ. මාධව මෙතෙක් කල් කෙල්ලක පසු පස හඹා ගියේ නම් ඒ එකම මෙහොත මෙය වන්නට කිබුනා. ඒත් ඒ මහ සෙනග මැද ඇය අතුරුදහන් වී නොපෙනී ගිහින්. මට දුක හිතුනා. මට මං ගැනම. ඒක තාවකාලික දුකක්! මාධව බැලුවා. ඒ පැත්ත, මේ පැත්ත! මුලු නැවතුම වටේම බැලුවා. ඇය දුර ගොසින්! ලස්සන ලොලීටා ඇගේ පුංචි පියවර තබමින් ගොඩක් දුර ගිහින්! මාධව ආයෙත් තනි උනා. ඇය ගිය ඉසව්ව ගැන මාධවට නිනව්වක් නෑ. මාධව ආයෙත් මතක එක්ක තනි උනා. ඉතින් දුර යන බසයට නැගුන මාධව නොබිදුන බලාපොරොත්තුවක් එක්ක ආපහු ආවා..


ඉතිං මිතුර,මෙන්න තවත් අහඹු සිද්දියක අවසානය. විනාඩි ගනනක ආදරයේ තවත් ඇත්ත සිදුවීමක් එහෙම අහවර උනා. ඉතිං මේ කතාව තව ඉවර නෑ. අවසානය තව ගොඩක් විය හැකියි. නැත්තම් මේ අවසානය විය හැකියි. ඒත් බලාපොරොත්තුවක් තියාගන්න. මාධව වගේම. ඈ ආයෙත් හමුවේවි. ඒ වගේම මේ කතාව තවත් දිගට ලියවේවි! ඈ හමුවන තුරාම. ඇය හමුවන හැම වාරයක් ගැනම..ඉතිං කියවන්න තවත්! ඇත්ත ආදරයේ ඇත්තම කතාව...ලොලීටා.....




-----------------------------------------------------------------------------------
ලොලීටා....................... 01        ලොලීටා....................... 02
ලොලීටා....................... 03        ලොලීටා....................... 04

ලොලීටා....................... 05

----------------------------------------------------------------------------------


5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මාධව- මචන් .. මුල ඉදන් කතාව කියෙව්වා... නියමයි..... මගේ බ්ලොග් ලිස්ට් එකට අඩවිය ඇතුලත් කලා.. ජය...

    ReplyDelete
  2. මාධව- මචන් .. මුල ඉදන් කතාව කියෙව්වා... නියමයි..... මගේ බ්ලොග් ලිස්ට් එකට අඩවිය ඇතුලත් කලා.. ජය...

    ReplyDelete
  3. ස්තූතියි ගයාන් සහෝ! ස්තූතියි! දිගටම කියවන්න! දිගටම මේ පැත්තේ එන්න!

    ReplyDelete
  4. ස්තූතියි මොල්ලි! දිගටම මේ පැත්තේ වරෙන්!

    ReplyDelete
Previous Post Next Post

Contact Form